කාර්ය මණ්ඩලයේ 44 දෙනෙකු සමග අතුරුදන් වූ ආර්ජන්ටිනාවට අයත් සබ්මැරීනය සෙවීමේ කටයුතු අයහපත් කාලගුණය හේතුවෙන් අඩපණ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ.ආර්.ඒ. සැන් ජුවාන් සබ්මැරීනය සොයා දකුණු අත්ලාන්තික් සාගරය පීරමින් සෝදිසි මෙහෙයුම් සිදුකිරීමට රටවල් රැසක කණ්ඩායම් සහභාගි වී සිටියහ.
මෙම සෝදිසි මෙහෙයුම් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සිය දෙවැනි නෞකාවද පිටත්කර හැර ඇති අතර, එය ගැඹුරු මුහුද නිරීක්ෂණය කිරීමේ විශේෂ උපකරණවලින් සන්නද්ධ නෞකාවක් බව කියැවෙයි.
ආර්ජන්ටිනා වෙරළ තීරයෙන් කිලෝමීටර් 430ක් ඔබ්බෙන් සාගරයේදී මෙම සබ්මැරීනය අතුරුදන්ව තිබුණි.
මේ අතර පසුගිය සෙනසුරාදා දිනයේදී චන්ද්රිකා සංඥා කිහිපයක් නිකුත් වී තිබුණත්, එය සබ්මැරීනයෙන් පැමිණි සංඥා දැයි සොයාගැනීමට ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකළ නාසා සෝදිසි ගුවන් යානයටද නොහැකි විය.