මීට දින 10කට පෙර දකුණු අත්ලාන්තික් සාගරයේදී අතුරුදන් වූ ආර්ජන්ටිනාවට අයත් ඒආර්ඒ සැන් ජුවාන් සබ්මැරීනය දියත් කිරීමට පෙර එහි සියලු ක්රියාකාරීත්වයන් හොඳ මට්ටමේ පැවති බව එරට නාවික හමුදාව පවසයි.
වසර 34ක් පැරණි මෙම සබ්මැරීනය නිසි නඩත්තුවකින් තොරව පැවති බවට එහි ගමන් කළ නාවිකයන් 44 දෙනාගේ ඥාතීන්ගෙන් එල්ලවන චෝදනාවන්ට පිළිතුරු ලෙස නාවික හමුදාව මෙම ප්‍රකාශය සිදුකර තිබේ.
සබ්මැරීනය ගොඩබිම නාවික අණදෙන මැදිරිය සමග අවසන් වරට පණිවුඩ හුවමාරු සිදුකරගෙන තිබුණේ පසුගිය නොවැම්බර් 15 වැනිදාය.
ජාත්‍යන්තරයේද සහාය ඇතිව ආර්ජන්ටිනාව මෙම සබ්මැරීනය සොයා දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කරමින් තිබුණද, ඒ පිළිබඳ වූ බලාපොරොත්තු දිනෙන් දින දියාරු වෙමින් පවතින බ විදෙස් වාර්තා පවසයි.
මෙම සබ්මැරීනය සිය අවසන් ගමන ඇරඹීමට දින දෙකකට පෙර එහි සියලු පද්ධතීන් සම්පූර්ණ පරීක්ෂාවකට ලක්කළ බව නාවික හමුදාව පවසයි. එහිදී, යම් දෝෂයක් පැවතුණේ නම් හෝ එවැනි යම් සලකුණක් පෙන්වී නම් කිසිදු ආකාරයකින් සබ්මැරීනය දියත් නොකරන බවද නාවික හමුදාව පවසා තිබේ.
කෙසේ වෙතත්, මීට වසර කිහිපයකට පෙර ඉන්දීය සාගරයේදී අතුරුදන් වූ එම්.එච්370 ගුවන් යානය සොයා සිදුකළ සෝදිසි මෙහෙයුමද ඵල රහිත වූ ආකාරයෙන්ම, මෙම සම්බැරීනයද මුහුදේ වැළලී යන තවත් අභිරහසක් වනු ඇති බව ඇතැම් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.