එදා මෙදා තුර ශ්‍රී දළදා පෙරහර හැඩ කෙරූ හීලෑ දළ ඇතුන් කිහිපදෙනෙක්
- 9 08 2017
- 09:46
- {{hitsCtrl.values.hits}} views
- . .
මහා රාජා - හොරණ කලවැල්ලාව ක්ලිෆඩ් රක්වත්තේ මහතාට අයත්ව සිටි මෙම ඇතා වර්ෂ 1920 සිට 1940 අතර කාලය තුළ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහරේ කරඬුව වැඩම කරවීම සිදු කරන ලදී. මෙම ඇතාගේ උස අඩි 13ක් පමණ වන අතර එම කාලයේ ශ්‍රී ලංකාවේ සිටි උසම හස්තියාද වෙයි.
ඉඩම්පිටියේ ඇතා - මාවනැල්ල ඉඩම්පිටිය වලව්වේ ෆ්‍රැන්සිස් අබේරත්න මහතාට අයත්ව සිටි මෙම ඇතා 1940 දශකයේ දී මහනුවර පෙරහරේ දළදා කරඬුව වැඩම කර වීම සිදු කරන ලදී. 1967 වර්ෂයේ දී මෙම ඇතා මිය ගියහ.
රාජා ඇතා- 1925 දී මඩකලපුව එරාවුල් ප්‍රදේශයෙන් අල්ලා ගන්නා ලද මේ ඇතාගේ මුල් හිමිකරු ගිරාගම වලව්වේ මාම්පිටිය දිසාවේ විසින් 1937 දී රාජා ඇතාව ශ්‍රී දළදා මාළිගාවට පූජා කරන ලදී. 1950 පසු 1988 දක්වාම දළදා පෙරහරේ කරඬුව වැඩම කරවීම සිදුකරන ලද අතර ශ්‍රී ලාංකීය හස්ති ඉතිහාසයේ ප්‍රමුඛතම හස්තියා ලෙස සැලකෙන රාජා ඇතා වර්ෂ 1988 ජූලි මස 16 වන දින අවසන් හුස්ම හෙලන ලදී.
හෙයියන්තුඩුවේ රාජා - 1945 පමණ හම්බන්තොට කට්ටකඩුවාන කැළයෙන් අල්ලා ගැනීමෙන් පසු ප්‍රසිද්ධ වෙන්දේසියේදී හෙයියන්තුඩුවේ විසූ ඩබ්ලිව්.ඊ.ආර්. ගුණසේකර මහතා මිලදී ගත්තේය. 1991 සිට 2000 වසර දක්වා ශ්‍රී දළදා මාළිගාවේ දන්ත ධාතූන් වහන්සේ වැඩම කිරීමට දායක විය. මේ ඇත් රජුගේ් දළ යුගලය අඩි 11 පමණ දිගය. වසර 78 කට ආසන්න කාලයක් ආයු වළදා 2002 දී අවසන් හුස්ම හෙලීය. මේ වනවිට ඇතාගේ අස්ථි පද්ධතිය කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.
වෑවලදෙණියේ රාජා - 1974 අගෝස්තු 27 හම්බන්තොට අඟුණකොළපැලැස්සේදී කිවුල්පනේ රන්බණ්ඩා විසින් අල්ලාගත් පසුව එවකට සිටි වනජීවී අමාත්‍ය පී.බී.ජී. කලුගල්ල මහතා විසින් ඇත් පැටවා කෑගල්ල වෑවලදෙණිය මහින්දෝදය පිරිවෙන් විහාරයට භාරදෙන ලදී. 1986 සිට මෙම ඇතා දළදා පෙරහරට සම්බන්ධ විය. සියලු පෙරහවල් සඳහා මෙම ඇතා ගමන් කරන්නේ පා ගමනින්ය. 15 වතාවක් දළදා කරඬුව වැඩම වූ මේ ඇතා 2014 පෙබරවාරි 10 වන දින අවසන් හුස්ම හෙලීය.
කෝට්ටේ රාජා- මියන්මාරයේ උපත ලද කෝට්ටේ රජමහා විහාරයට අයත්ව සිටි මෙම ඇතා 90 දශකයේ දී පෙරහර ආලෝකමත් කළ ඇතෙකි. මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දළදා පෙරහරේ දෑල ඇතකු ලෙස ගමන් කර ඇති අතර කෝට්ටේ ඇසළ පෙරහරේ කරඬුව වැඩම කරවීම සිදු කරන ලදී. මෙම ඇතා 1998 සැප්තැම්බර් 23 අප අතරින් සමු ගත්හ.
සමන් දේවාලයේ රාජා - සමන් දේවාලයේ රාජා නමින් සුප්‍රසිද්ධ වූ රත්නපුර මද්දුව වලව්වේ විජේදන්ත ඇතාගේ හිමිකරු වූයේ සබරගමු මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ ඇන්ටන් තෙන්නකෝන් මහතාය. ශ්‍රී දළදා මාළිගාවේ රාජා ඇතුගෙන් පසුව කරඬුව වැඩම කරවීම වසර ගණනාවක්ම සිදු කරන ලද්දේ ඉතා අලංකාර දළ යුගලක් හිමි වූ මෙම සමන් දේවාලයේ රාජා විසිනි. මෙම ඇතා 90 දශකයේ මැද භාගයේදී මිය ගියහ.
සෙල්ල රාජා - මාවනැල්ල කෙරමිණිය විහාරස්ථානයට අයත්ව සිටි මෙම ඇතා පින්නවල අලි අනාථාගාරයෙන් විහාරස්ථානයට ලබා ගන්නා ලදී. ඉතා අලංකාර දළ යුගලයකට හිමිකම් කියූ මෙම ඇතා වසර ගණනාවක් ම මහනුවර ඇතුළු පෙරහර ගණනාවකටම සහභාගි විය. මෙම ඇතා 2013 මාර්තු මස 18 වන දින මිය ගියහ.
මිල්ලන්ගොඩ රාජා - 1945 දී පමණ පුත්තලම දිස්ත්‍රික්කයේ, ආණමඩුව, නවගත්තේගම, මීවැල්ලාව වැව අසලින් අල්ලා ගන්නා ලදී. ඇතාගේ හිමිකරු වන්නේ ඇස්.ආර්. අප්පුහාමි මිල්ලන්ගොඩ මහතාය. දශක හතරකට අධික කාලයක් දළදා පෙරහරේ ගමන් කළ මේ ඇත් රජු ආසියාවේ දිගම දළ ඇතා යන නාමයෙන් හඳුන්වයි. වසර 73කට ආසන්න කාලයක් ආයු වළදා 2011 අගෝස්තු 03 වනදා අවසන් හුස්ම හෙලීය.
නැදුන්ගමුවේ රාජා - ලක්වාසී බොහෝ දෙනෙකුගේ ගෞරව බුහුමනට පාත්‍ර වූ හර්ෂ ධර්මවිජය වෙද මහතාට අයත් නැදුන්ගමුවේ රාජා මඟුලැතු ඉන්දියාවේ මහාරාජා වරයෙකු විසින් නීලම්මහර වෙද හාමුදුරුවන් හට තුටු පඬුරු ලෙස පරිත්‍යාග කළ හස්තියෙකි. වයස අවුරුදු 73 පමණ වුවත් පසුගිය වසරෙත් මහනුවර දළදා පෙරහර වෙනුවෙන් පා ගමනින්ම පැමිණෙන නැදුන්ගමුවේ රාජා ඇතු සාධාතුක කරඬුව වැඩම වීමේ භාග්‍ය හිමි දැනට ශ්‍රී ලංකාවේ විශාලම දළ යුගල හිමි ඇතාය.
ඒක දන්ත ඇතා - පින්නවල අලි අනාතාගාරයේ උපත ලබා ඇති මෙම හස්තියා උපතින්ම තනි දළයක් පිහිටා තිබීම නිසා ඒක දන්ත නමින් හඳුන්වයි. වයස අවුරුදු 47ක් පමණ වු මෙම ඇතා 2017 වසරේ මුල් භාගයේ අවසන් සුසම් හෙලීය. එපමණක් නොව මෙම ඇතා මාළිගාවේ ඇත් පන්තියේ සුවිශේෂී ඇතෙකි. විමලා කන්නන්ගර මැතිණිය විසින් මහනුවර දළදා මාළිගයට පූජා කරන ලදී.
නවම් රාජා - ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ මහාරාජා කෙනෙකුගෙන් තුටු පඬුරක් ලෙස නීලම්මහර වෙද හාමුදුරුවන්ට ලැබුණු ඇත් පැටව් දෙදෙනාගෙන් එක් අයෙකි. මුල් කාලයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ කල් ගෙවූ අතර පසුව 1986 දී හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණියේය. මෙම ඇතා දංගෙය කුලයේ ඇතෙකි. දළදා පෙරහරේ කිහිප වරක් කරඬුව වැඩම කර ඇති මේ ඇතා 2011 ජූලි මාසයේ 09 වෙනිදා මෙලොවින් සමුගත්හ.
බෙල්ලන්විල රාජා - බෙල්ලන්විල රාජා ලෙසින් ප්‍රසිද්ධියට පත් චන්දා නමැති මෙම ඇතා මුල් කාලයේ දී ජාතික සත්වෝත්ද්‍යාන දෙපාර්තමේන්තුවට අයත්ව සිට පසුව බෙල්ලන්විල රජමහා විහාරය භාරයට පත්විය. බෙල්ලන්විල, කැලණිය, ගංගාරාමය, කෝට්ටේ ආදී පෙරහරවල කරඬුව වැඩම කරවීම මෙම ඇතා විසින් සිදුකර ඇත. වසර 71ක් ආයු වැළදූ මෙම ඇත් රජා 2002 නොවැම්බර් මස 6 වන දින අවසන් හුස්ම හෙලීය.
රුවන් රාජා - රුවන් රාජා හෙවත් දළ කොටා ලෙස හඳුන්වනු ලැබූ මෙම හස්තියා මුල් කාලයේ දී රුවන්වැල්ල මොරාවත්ත වලව්වට අයත් ව සිට පසුව 1996 දී කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයට ලබා දුන්හ. පසුව නවම් මහා පෙරහරේ කරඬුව වැඩම කරවීම මෙම ඇත් රාජයා විසින් සිදු කළහ. වර්ෂ 2003 දී මෙම ඇතා අප අතරින් සමුගත්හ.
ජයරාජා ඇතා - හිටපු දිය වඩන නිලමේ හීන්බණ්ඩාර උඩුරාවණ මැතිතුමාගේ කාලයේ එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ ඉන්දිරා ගාන්ධි මැතිනිය විසින් ශ්‍රී දළදා මාළිගාවට පූජා කරනු ලැබීය. වසර ගණනාවක් ඇසළ පෙරහරේ කරඬුව වැඩම කරවීම මෙම ඇතා විසින් සිදු කරන ලදී. පසුව 80 දශකයේ අග භාගයේ දී මෙම ඇතා මිය ගියහ.
ගාමිණී ඇතා - බෝතලේ වලව්වේ ගාමිණී ඇතා 1947 දී බලපත්‍රයක් මගින් ගල්ඔය ප්‍රදේශයෙන් අල්ලා ගන්නා ලද අතර මුල් හිමිකාරිත්වය මහාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාටද පසුව දේවින්ද සේනානායක මහතාටද හිමිවිය. වසර ගණනාවක්ම මහනුවර ඇසළ පෙරහර ඇතුළු පෙරහර ගණනාවක්ම ආලෝකමත් කළ මෙම ඇතා 2011 වසරේ දෙසැම්බර් මස 20 වන දින මිය ගියහ.
ස්කන්ධා ඇතා - මඩකලපුව එරාවුල් ප්‍රෙද්ශයෙන් 1925 දෙසැම්බර් මස දී අල්ලා ගන්නා ලද මේ ඇතාගේ මුල් හිමිකරු වූ ගිරාගම වලව්වේ මාම්පිටිය දිසාවේ විසින් රාජා ඇතා සමග ස්කන්ධා ඇතා 1937 දී ශ්‍රී දළදා මාළිගාවට පූජා කරන ලදී. වසර ගණනාවක්ම දළදා පෙරහරේ කරඬුව වැඩම කරවූ මෙම ඇතා 70 දශකයේ අග භාගයේ දී මිය ගියහ.
වාසනා ඇතා - සිහින් දිගු දළ යුගලකට හිමිකම් කියන වසනා ඇතු ශ්‍රී ලංකාවේ උපත ලද හස්තියෙකි. රුහුණු මහා කතරගම දේවාලයට අයත් වාසනා මහනුවර ඇසළ මහා පෙරහර සහ රුහුණු කතරගම මහා දේවාලයන්හි සධාතුක කරඬුව වැඩම වීමේ අවස්ථාව හිමිකරගත් අැතෙකි.
සිංහ රාජා - දැනට අවුරුදු 31ක් පමණ වන සිංහ රාජා යුද්ධය පැවති සමයේ සටන් භූමියක රංචුව මගහැරී අතරමංව සිටියදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුව විසින් මහනුවර දළදා මාළිගයට පූජා කරන ලදී.
ඉන්දි රාජා - ඉන්දියාවේ උපත ලද දැනට වයස අවුරුදු 40 ඉක්මවු ඉන්දි රාජා එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය හෙබවු රජීව් ගන්ධී මහතා විසින් මහනුවර දළදා මාළිගයට පූජා කරන ලදී.
මුතු රාජා - තායිලන්ත රජය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද අලුත්ගම කන්දෙවිහාරයට අයත් මුතු රාජා ආකර්ෂණීය දළ යුගලක් හිමි හීලෑ හස්තියෙකි.
කණ්ඩුල ඇතා - තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කරන ලද කැලණි රජමහා විහාරයට අයත් කැලණි ඇතා හෙවත් කණ්ඩුල ඇතා ශ්‍රී ලංකාවේ විශාලම දළ යුගලක් පිහිටි ඇතුන්ගෙන් ප්රමුඛ ස්ථානයක් ගනී.
විජය රාජා - දෙපසට විහිදී ගිය දළ යුගලයක් පිහිටි විජය රාජා තායිලන්තයේ උපත ලද හස්තියෙකි. එරට රජු විසින් මහනුවර දළදා මාළිගයට පූජා කරන ලදී.
මිගාර ඇතා - දැනට වයස අවුරුදු 22ක් පමණ වන මහනුවර දළදා මාළිගාවේ ලාබාලතම ඇතෙකු වන මිගාර ඇතා 1999 වසරේදී එවකට සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විසින් මහනුවර ඇත් අතුරු සෙවනෙන් මහනුවර දළදා මාළිගයට පූජා කරන ලදී.
බුරුම රාජා - මියන්මාරයේ උපත ලද එරට රජය විසින් දළදා මාළිගයට පූජා කරන ලදුව දැනට වයස අවුරුදු 31ක් පමණ වන බුරුම රාජා පෘෂ්ඨිමත් අලංකාර දළ යුගලයකින් යුක්ත තරුණ ඇතෙකි.
කාවේරි රාජා - වයස අවුරුදු 23ක් පමණ වන කාවේරි රාජා ඉන්දියාවේ උපත ලද හස්තියෙකි. එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරය දැරූ අතල් බිහාරි වප්පායි මහතා විසින් මහනුවර දළදා මාළිගයට පූජා කරන ලදී.
මියන් රාජා - වයස අවුරුදු 40ක් පමණ වන මියන් රාජා මියන්මාර් රජය විසින් 2007 වසරේදී මහනුවර දළදා මාළිගයට පූජා කරන ලදී.
කසුන් රණසිංහ (තොරතුරු හා ඡායාරූප - ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය ඒකකය, Voice for elephants, අන්තර්ජාලය)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

