Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ලෝකයේ ප්‍රධාන මහද්වීපයන් හා සංසන්දනය කෙරෙන විට දියවැඩියාව ඉතා සීග්‍රයෙන් පැතිරුණු කලාපය ආසියාවයි. ආසියාවේ ප්‍රධාන වශයෙන්ම ඉන්දියාව, චීනය මෙම ව්‍යවසනයට තදින්ම ගොදුරු වී ඇති අතර, ශ්‍රී ලංකාවේ ප්‍රමාණාත්මක වර්ධනයක් ගත වූ වසර 25 ඇතුළත දත්ත පරීක්ෂා කර බැලූ විට පෙනෙයි. ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය ඇති වීමට මූලිකම හේතු ලෙස පහත සාධක සාරාංශ කළ හැකිය.
මීට දශක 03 - 04 පමණ ඉහතදී ලංකාවේ බාල පරම්පරාවේ සීග්‍ර වර්ධනයක් පැවැති අතර, අද ඔවුහු ක්‍රමයෙන් වයෝවෘද්ධ තත්ත්වයට ළඟා වෙමින් සිටිති. යුද්ධය නිසා සැලකිය යුතු තරුණ පිරිසක් අප හට අහිමි වුණ ද අද දවසේ මැදි වයස ඉක්මවූ පිරිසේ වර්ධනයට මූලිකම හේතුව 60, 70 දශකවල පවුලක සිටි දරුවන් ප්‍රමාණය ඉහළ යාමයි. %පුංචි පවුල රත්තරං^ සංකල්පයත් සමග 80, 90 දශක වනවිට මෙම තත්ත්වය මඳක් පාලනය වුණද සමාජ විද්‍යාඥයන් පවසන්නේ 60, 70 දශකවල ලංකාවේ පැවැති ආර්ථික, සාමාජීය හා දේශපාලන තත්ත්ව මත ඔවුන්ට 100% නිසි අධ්‍යාපනය, පෝෂණය ආදිය නොලැබුණු අතර, අද සිටින මැදි වයස ඉක්මවූවන්ගේ රෝගාබාධ පිළිබඳ දැනුම සම්බන්ධයෙන් සාපේක්ෂව සතුටු විය නොහැකි බවයි.
දියවැඩියාව ප්‍රවේණිගත විය හැකි රෝගයකි. විශේෂයෙන්ම මව, පියා, සීයා, ආච්චි වැනි ළඟ නෑදෑ පරම්පරාව දියවැඩියාවෙන් පෙළුණි නම් ඊළඟ පරම්පරාව වෙත මෙය ඉතා පහසුවෙන් ළඟා වීමේ වැඩි ප්‍රවණතාවක් ඇත. නමුත් මෙමගින් 100෴ රෝගය අනිවාර්යයෙන් සෑදෙනවා යැයි පැවසිය නොහැකිය. පවුල් ඉතිහාසයේ දියවැඩියාව පැවතුණි නම් ඊළඟ පරම්පරාවල පුද්ගලයන් රෝගය පිළිබඳව දැනුවත් වී ඊට මනා පාලනයකින් මුහුණදිය යුතු වුවත් එසේ නොවීම නිසා ප්‍රවේණිකව දියවැඩියා පරම්පරාගත වීම ඉතා හොඳින් ලංකාවේ දැකගත හැකිය.
ශ්‍රී ලංකාවේ අධි බර සහ ස්ථුලතාවෙන් පෙළෙන ජනගහන අනුපාතය සීග්‍රයෙන් වැඩි වෙමින් පවතී. විශේෂයෙන්ම පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් අතර මෙය සුලබය. උසට සාපේක්ෂව බර හෙවත් BMI අගය 23 ට අඩුවෙන් පවත්වාගැනීම නීරෝගී බවේ ලක්ෂණයයි. නමුත් ලංකාවේ වැඩි ප්‍රමාණයක් එම අගය ඉක්මවා ඇති අතර ඔවුන් අධි බර ශ්‍රේණියට ඇතුළත්ය.
මෙම කාණ්ඩයේ පුද්ගලයන් අතර දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝගයන්ගේ සීග්‍ර වර්ධනයක් දැකිය හැකි අතර, පූර්ව දියවැඩියාව බහුලය. එසේම BMI අගය 30 ඉක්මවූ විට ස්ථූලතා කාණ්ඩයට ඇතුළත් වන අපගේ ස්ථුලතාවය යනු වෛද්‍ය විද්‍යාව අනුව රෝගී තත්ත්වයකි. BMI අගය 35, 40 ඉක්ම වූ විට ස්ථිර ස්ථුලතාවන්හි පිහිටන අගය ඔවුන්ට සාමාන්‍ය ක්‍රමවේදයන් අනුගමනය කර නැවතත් බර අඩු කරගත නොහැකිය. එහෙයින් මෙම දෙකොට්ඨාසය අතරම දියවැඩියාව බහුල අතර, ඔබ ඉහත දැක්වූ පවුල් ඉතිහාසයේ දියවැඩියාව සහිත අධිබර ශ්‍රේණියේ පෙළෙන්නෙකු නම් දියවැඩියා අවස්ථාව වැඩිය.
එසේම කුඩා ළමුන් අතර දියවැඩියාව සීග්‍රයෙන් වර්ධනය වීමට මූලික හේතුවක් ලෙස දේහයේ බර වැඩිවීම හැඳින්විය හැකිය.
පෙර මුතුන්මිත්තන් ලංකාවේ දේශීය ආරකට කෘෂිකර්මාන්තයත් සමග තම දෛනික ජීවන වටපිටාව සකස් කරගත් අතර ලංකාවට විවෘත ආර්ථිකය පැමිණීමත් සමග මේ සියලූ දේ උඩු යටිකුරු විණි.
තමාට අවශ්‍ය දෑ තමාම නිෂ්පාදනය කරගන්නවා වෙනුවට පිටරටින් ලබාගැනීමක් ක්ෂණික යාන්ත්‍රණ, ආනයන ක්‍රමවේදයන් නිසා මිනිසුන්ට වැඩ කිරීමට ඇති හැකියාව යටපත් විණි. එසේම ජනතාව ඉන් අලස වූ අතර රෝගාබාධයන්ට ගොදුරු වේ යැයි බිය නිසාම පමණක් කය වෙහෙසා වැඩක නිරත වීම හෝ ව්‍යායාමයක් කිරීම අද වනවිට දක්නට ලැබේ. මේ තත්ත්වය ලංකාවේ දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝගාබාධ මෙතරම් වැඩිවීමට බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස වෛද්‍යවරු විශ්වාස කරති.
ලංකාවේ දියවැඩියාව මෙතරම් තර්ජනයක් වීමට බලපාන ප්‍රබලම සාධකය මෙයයි. දියවැඩියාව වැලඳීමට බලපාන කිසිදු කරුණක් පුද්ගලයෙකු සතු නොවූවත් පුද්ගලයෙකු අනිසි ලෙස කළමනාකරණයකින් තොරව ආහාර ලබාගන්නේ නම් එයම දියවැඩියාව වැලඳීමට ප්‍රමාණවත් වෙයි.
දියවැඩියාවෙන් තොර ජීවිතයකට පුද්ගලයෙකුට අවශ්‍යම දෑ වන්නේ රුධිරයේ හෝ ග්ලූකෝස්, කොලෙස්ටරෝල් වැනි දෑ ප්රශස්ත මට්ටමක පවත්වා ගැනීමත්, උසට සාපේක්ෂව බර නියමිත මට්ටමේ රඳවා ගැනීමත්ය. ඔවුන් අධික ආහාර භාවිතය නිසා ඉහත සියල්ල අසමතුලිත වේ. විශේෂයෙන්ම ක්ෂණික ආහාරවල අඩංගු අධික තෙල්, සීනි, පිටි නිසා ග්ලූකෝස්, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන අතරම මෙම අධි කැලරි ශරීරයේ තැන්පත් වීමෙන් දේහයේ බර වැඩි වේ. මෙය දියවැඩියාව සෑදීමට ප්‍රබල සාධකයන්ය. එසේම සමතුලිත ආහාර වේල අප කෙරෙන් මඟහැරී ඇත. ප්‍රධාන ආහාර වේල් අතර මනා කැලරි සමතුලිතතාවක් පැවතිය යුතු අතර, අධික කාර්යබහුල බව නිසා දැන් දැන් මෙම ආහාර වේල් අතර පරතර, කැලරි බෙදී යාම ව්‍යාකූල වී ඇත.
එහි අවසාන ප්‍රතිඵලය මෙවැනි භයානක රෝගාබාධ තුළින් පෙන්නුම් කෙරේ. තන්තුමය ආහාර, ධාන්‍ය වර්ග එළවළු පලතුරු ආදිය ඈත් වී ඇති අතර, කේක්, පුඩිං, අයිස්ක්‍රීම් වැනි ඇස හා දිව පිනවන ක්ෂණික ආහාර ඇතැම් විට අපේ ප්‍රධාන ආහාර වේල් වෙයි. කුඩා දරුවන් හා තරුණ පිරිස් අතර දියවැඩියාව වැඩිවීමට මෙය ඉතා ප්රබලව බලපා ඇත.
ලංකාව තවමත් සාම්ප්‍රදායික රටක් ලෙස සැලකීමට කරුණු අනන්තවත් ඇත. අප අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතා, අධික කාර්යබහුලකම, තමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සිතීමට කාලයක් නොමැතිකම ආදිය නිසා ජනතාව අධික මානසික ආතතියකින් පෙළෙයි. ඇතැම්විට අනවශ්‍ය දෑ මහමෙරක් තරම් ගන්නා පිරිස් ද අප අතර බහුලය. ආර්ථික, සමාජීය, දේශපාලන බලපෑම් ලංකාවේ පිරිස් අතර මානසික ආතතිය උග්රවීමට බලපා ඇත. රැකියාවේ, පවුල් පරිසරයේ, අධ්‍යාපන අංශවල මානසික ආතතීන්ට බඳුන් වූ පිරිස් බහුලය. මොවුන් අතර දියවැඩියාව වැනි බෝ නොවන රෝග වැලඳීමේ වැඩි අවදානමක් පවතී.
දියවැඩියාව නොමැති පුද්ගලයෙකු &මට එම රෝගය වැලඳීමට ඉඩක් නැතැයි* සිතීම වැරදිය. කෙනෙකු අධික රුධිර පීඩනයෙන්, අධි කොලෙස්ටරෝල්, ඇදුම වැනි පාලනය නොවූ වෙනත් රෝගාබාධයන්ගෙන් පීඩා විඳින්නේ නම් ඔවුන්ට දියවැඩියාව වැලඳීමේ ඉඩකඩ අතිමහත්ය. රෝහල්ගත වී රෝගීන්ගේ රෝග ඉතිහාසයන් පරීක්ෂා කළ විට බොහෝ රෝගීන්ට ප්‍රථමයෙන් අධි රුධිර පීඩනය ආදී තත්ත්වයන් පැවත පසුකාලීනව දියවැඩියා තත්ත්වයද පැමිණ ඇති බව දක්නට ලැබේ.
ලංකාවේ මාධ්‍ය, සෞඛ්‍ය කෙතරම් දියුණු වුවත් ඇතැම්හු තම සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදීමට දැඩි අකමැත්තක් දක්වති. ඇතැම් ආහාර පාන වත්පිළිවෙත් පිළිබඳ තමා තුළ ඇති අධික මිත්‍යා මත සමහර පුද්ගලයන්ගේ ජීවිත වෙත දියවැඩියාව වැනි රෝගාබාධ බහුලව වැලඳීමට හේතුවක් වී ඇත.
උදාහරණ ලෙස කිතුල් හකුරු, සමහර මද්‍යසාර වර්ග, රටඉඳි වැනි දෑ ආහාරයට ගත්තාට කිසිදු වරදක් නැතැයි සිතන පිරිස් අප අතර වෙති. ව්‍යායාම කිරීම බටහිර පන්නයට යාමක් බවත්, එය අනවශ්‍ය දෙයක් ලෙස සිතන පිරිස්ද බහුලය. මෙවැනි මානසික ව්‍යාකුලතා දියවැඩියාවට අතවැනීමකි. එසේම සමහර උගතුන් පවා දියවැඩියාව වැනි රෝගයක් වැලඳුණු විට එය රහසක් සේ තබාගනියි.
දියවැඩියා රෝගය වැලඳුණු ඇතැමුන් ඊට ප්‍රතිකාර ගැනීමට මැලිකමක් දක්වන අවස්ථා කොතෙකුත් ඇත. දියවැඩියාව කිසිදා සුවකළ නොහැකි අතර, ඖෂධ මගින් එය මනාව පාලනය කර ඉතා යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගෙවීමට ඇති හැකියාව යටපත් කරමින් ඇතැමුන්ට %බෙහෙත්වලට ඇබ්බැහි වීම^ මගින් භයානක ප්‍රතිඵල පැමිණෙන බවත් විස්වාස කරති. එහෙයින් ඔවුන් ඖෂධ නොගෙන සිටීම තුළින් සංකූලතා ව්‍යාප්ත වී ඉතා කෙටි කලකින් දියවැඩියාව උත්සන්න වී ජීවිතවලින් සමුගනිති. විශේෂයෙන්ම ඉන්සියුලින් එන්නත ඉතා යෝග්‍ය ප්‍රතිකාරයක් වුවත් ජනතාව තුළ ඒ පිළිබඳ වැරදි මතයක් පවතී.
අද වනවිට ලංකාවේ ජන ජීවිතයට ආර්ථිකය යන්න ප්රබලවම බලපා ඇති කරුණකි. රෝගාබාධ පමණක් නොව ඒ කිසිවක් දක්නට නොමැති පවුල්වල ද තම දෛනික වැඩ කටයුතු කරගනිමින් පිළිවෙළකට ජීවත්වීමට ආර්ථිකය ප්රබලවම හරස් වී ඇත. එහෙයින් දියවැඩියාව වැනි රෝගයන්ගෙන් පවුලේ කෙනෙකු නැතිනම් වැඩිහිටියන් පෙළෙන්නේ නම් මාසිකව ඔවුන් වෙනුවෙන් වෛද්‍ය ගාස්තු, රෝහල්, ඖෂධ, රසායනාගාර පරීක්ෂණ ආදියට අධික මුදලක් වැය වේ. එසේම දියවැඩියාව සමග වෙනත් සංකූලතා රෝගීන්ට පවතින්නේ නම් මේ තත්ත්වය ඉතා ඛේදනීය වේ.
බොහෝ රෝගීන් තම ආර්ථික අපහසුතා මත රෝගයන්ට ප්‍රතිකාර ගැනීම නොසලකා ඇති අතර, එමගින් ඔවුන් ඉතා ඉක්මනින් සංකූලතාවන්ට බඳුන් වේ. එසේම දියවැඩියා වැලඳීමට වැඩි නැඹුරුවක් ඇති පුද්ගලයන් ඉතා ඉක්මනින් එම තත්ත්වයට ගොදුරු වේ.
මා ඉහතින් සඳහන් කරන ලද්දේ අපේ රටේ සායන, චැනල් සෙන්ටර් ආදියේදී අපට බහුලවම හමුවන දියවැඩියා රෝගීන්ට එම තත්ත්වය ඇතිවීමට මූලිකවම බලපෑ හේතු සාධකයන්ගේ සාරාංශයකි.
නමුත් ඇතැම් දියවැඩියා රෝගීන්ගේ ජීව දත්ත පරීක්ෂා කර බැලූ විට ඉන් ඔබ්බට ගිය විශේෂ අවස්ථාවන්ද හඳුනාගත හැකිය. නමුත් එම හේතු සාධක විරලය.
01. ගර්භිණී භාවයේදී ඇති වූ දියවැඩියාව පාලනය නොවීම
02. හදිසි අනතුරකින් පසු දියවැඩියාව වැලඳීම
03. අග්න්‍යාශය විෂබීජ ආසාදනයන්ට ගොදුරු වීම
04. පුරුද්දක් ලෙස රාත්‍රී කාලයේ අධික නිදි වර්ජිත පුද්ගලයන් හෝ දහවල් අධිකව නිදියන පුද්ගලයන්.
05. අඩු බර දරුවන් හෝ දරුවන් අතර පරතරය අඩු මවුවරුන්
කෙසේ වෙතත් රෝගය පිළිබඳ මනා දැනුමක්, අවබෝධයක් ලබාගැනීම දියවැඩියා මාරයා ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට ඇති ප්‍රබලම ක්රමවේදයයි. එහෙයින් සෞඛ්‍ය අංශ සමග ජනතාව අත්වැල් බැඳගෙන දිනෙන් දින වැඩිවන දියවැඩියා රෝගීන්ගේ ප්‍රමාණය යුහුසුලුව අඩු කරගැනීමේ ජාතික ප්රතිපත්තියක අවශ්‍යතාව වගකිවයුතු අංශවලට මෙම ලෝක දියවැඩියා දින සැමරුමේදී මතක් කරනු කැමැත්තෙමි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd