Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
මේ අනුව ආසන්න වශයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ලක්ෂ හැත්තෑපන්දහසකට ටැබ් පරිගණක ලබාදීම සඳහා 2016 වසරේදී ඉදිරිපත් කරන ලද අයවැය තුළින් රුපියල් මිලියන පන්දහසක මුදලක් වෙන් කිරීමට කටයුතු කර තිබිණි. එහෙත් ඇතැම් අවස්ථාවල ප්‍රකාශ වූයේ එම මුදල රුපියල් මිලියන හාරදහසක් ලෙසය.
පාසල් සිසුන්ට අමතරව ගුරුවරුන් විසිඅටදහසකටද ටැබ් පරිගණක ලබාදීමට ආණ්ඩුව සිහින දැකීය. මීට අමතරව ස්මාර්ට් පන්ති කාමර සකස් කිරීම සඳහා රුපියල් මිලියන හයදහස්පන්සියක් වෙන් කළ බවටද එවකට ප්‍රකාශ විය.
පාසල් වයසේ සිට තාක්ෂණය හඳුන්වා දීම ඉතා හොඳ කටයුත්තකි. එහෙත් ජනප්‍රිය වීමට ගන්නා බොහෝ දේශපාලන තීන්දු තීරණ ඉටු නොවන ආකාරයටම පාසල් දරුවන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමේ මෙම පොරොන්දුවද ඉටු නොවීය.
මෙම පොරොන්දුව ඉටු වූයේ නම්, මෙරට උසස් පෙළ ඉගෙනුම ලබන දරුදැරියන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණකයක් ලැබෙනුයේ පසුගිය වසරේදීය. එහෙත් අද වන විට ටැබ් පරිගණක ලබාදීමට ආණ්ඩුව ගත් තීරණය ආණ්ඩුව විසින්ම අවලංගු කර දමා තිබේ.
ටැබ් පරිගණක ලබාදීමට ගත් තීරණය පිළිබඳ හොඳ මෙන් නරක කියන පිරිස්ද වෙති. පොදුවේ පාසල් පද්ධතිය පිළිබඳ සලකා බැලුවොත් රට තුළ තිබෙන පාසල් ප්‍රමාණය දසදහස් එකසියවිසිතුනකි. එහෙත් සමහර අවස්ථාවල සමස්ත පාසල් ප්‍රමාණය දසදහස් දෙසියවිසිදෙකක් බවටද ප්‍රකාශ කරන අවස්ථා තිබේ.
මෙම පාසල් තුළ ආසන්න වශයෙන් දරුවන් ලක්ෂ හතළිස් තුනකට අධික ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරන බව වාර්තා වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රට තුළ සිටින ගුරුවරුන් ප්‍රමාණය දෙලක්ෂ විසිඅටදහස ඉක්මවයි.
පොදුවේ ශිෂ්‍යයන් විසිදෙනෙකුට එක් ගුරුවරයෙකු සිටින බව ඇතැම් දේශපාලඥයන් බොහෝ අවස්ථාවල සිදුකරන කතාබහ තුළින් හෙළි වෙයි. එහෙත් නිවැරදි ලෙස සලකා බැලුවහොත් මෙරට අතිජනප්‍රිය හා ජනප්‍රිය ජාතික පාසල් තුළ කිසිදු රාජකාරියක් නොමැතිව ගුරුවරුන් විශාල පිරිසක් රැඳී සිටින බව ගුරු වෘත්තීය සමිති පෙන්වා දෙන කාරණයකි. මීට අමතරව වතුකරය ඇතුළු කොළඹ සිට කිලෝමීටර් සියයක්, දෙසීයක් දුරින් තිබෙන පාසල්වල විශාල ගුරු හිඟයක් පවතින බවටත් වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. දෙමවුපියන් විසින් පාසලකට දරුවන් ඇතුළත් කරන්නේ ගුරුවරුන් හරහා දරුවන්ගේ දැනුම ඔපමට්ටම් කර ගැනීමටය. එහෙත් දරුවන් ඇතුළත් කරන පාසලේ ගුරු හිඟයක් පවතී නම්, දෙමවුපියන්ගේ අරමුණ ඉටුවන්නේ නැත.
නිදහස් අධ්‍යාපනය මෙරටට දායාද කළ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා ඇතුළු පිරිස එදා බලාපොරොත්තු වූ අරමුණ ඉටු වන්නේද නැත. නිදහස් අධ්‍යාපනයේ ප්රතිලාභ දරුවන්ට ලබාදීමට නම්, මුලින්ම සිදුකළ යුත්තේ පාසල්වලට අවශ්‍ය ගුරුවරුන් ලබාදීමය. එහෙත් ජනප්‍රිය මාතෘකා යටතේ වැඩසටහන් දියත් කරන හිටපු පාලකයන්ට මෙන්ම වර්තමාන පාලකයන්ටද එම ගැටලුවට විසඳුමක් ලබාදීමට වැඩපිළිවෙළක් නැත.
අතිරික්ත ගුරුවරුන් ගුරු හිඟයක් පවතින පාසල්වලට අනුයුක්ත කරන බවට පසුගිය කාලයේදී වර්තමාන ආණ්ඩුව පැවසුවද, එය සන්දර්ශනයක් පමණක් විය. මීට අමතරව පවතින පුරප්පාඩුවලට බඳවා ගැනීම් සිදුකරන බවටද පසුගිය කාලය පුරා මාධ්‍ය සන්දර්ශන පැවැත්විණි.
එහෙත් ගුරු වෘත්තීය සමිති ප්‍රකාශ කරන ආකාරයට ගුරු හිඟයට තවමත් පිළිතුරු ලැබී නොමැත. ප්‍රමාණවත් ගොඩනැගිලි නොමැති වීම හේතුවෙන් තාවකාලික මඩුවල පන්ති කාමර පවත්වන ආකාරය හා ඉටිකොළවලින් ආවරණය කළ ස්ථානවල පන්ති පවත්වන ආකාරය පිළිබඳ පසුගිය කාලය පුරා මාධ්‍ය මගින් පෙන්වා දෙනු ලැබීය.
ස්මාර්ට් පන්ති කාමර පිළිබඳ පාලකයන් සිහින දැක්කද, රටේ ඇතැම් පාසල්වල සැබෑ තත්ත්වය මෙයයි. එමෙන්ම එකදු වැසිකිළියක් හෝ නොමැති පාසල් පන්සියයකට වැඩි ප්‍රමාණයක් තිබෙන බවටද වාර්තා වේ. මිනිසුන්ගේ ප්‍රධානම අවශ්‍යතාවක් වන පිරිසුදු පානීය ජලය නොමැති පාසල් දෙදහසකට වැඩි ප්‍රමාණයක් තිබෙන බවටද දේශපාලඥයන් විසින්ම පසුගිය කාලයේදී හෙළි කරනු ලැබීය. වැසිකිළි පහසුකම් නොමැති බැවින් පාසල් ළමුන් පාසල් කාලය තුළදී වතුර පානය කිරීම සීමා කරන අතර, පානීය ජලය නොමැති පාසල් දරුවන්ට කිලෝ හතඅටක් බරැති පාසල් බෑගයකට අමතරව වතුර බෝතලයක් රැගෙන යෑමටද සිදුව තිබේ.
මෙරට නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වන බවට සඳහන් වන බැවින් මෙම සිද්ධි දෙකම සිදුවිය නොහැකිය. යටිතල පහසුකම් හා ගුරුවරුන්ට අමතරව අධ්‍යාපනය හැදෑරීමට පෙළපොත් අත්‍යවශ්‍යය. එහෙත් මේ වසරට අදාළව පෙළපොත් ලබාදීමේදී නිවැරදි ලෙස පෙළපොත් ලබා නොදීම හේතුවෙන් යම් යම් ගැටලු ඇති වූ බව ගුරු - විදුහල්පති සංගම් පසුගිය කාලයේදී පෙන්වා දුනි. එමෙන්ම අමතර දැනුම ලබා ගැනීමට පුස්තකාල පහසුකම් නොමැති පාසල් බොහෝ ප්‍රමාණයක් මෙරට පවතී.
පාසල් නිල ඇඳුම් පැලඳීමේදී සපත්තු දෙකක් පැලඳීම සාමාන්‍ය පිළිවෙත වුවද, ඇතැම් පාසල් දරුවන්ට දෙපයට පැලඳීමට පාවහන් දෙකක්වත් නොමැත. පාසලෙන් ලබාදෙන නිල ඇඳුම් රෙදි කැබැල්ල හේතුවෙන් දෛනිකව ඇඳීමට හෝ නිල ඇඳුමක් තිබේ.
එහෙත් වර්තමානය වන විට නිල ඇඳුම ලබාදීමේ ක්රමයද වෙනස්ව තිබෙන බැවින් රජයෙන් ලබාදෙන නිල ඇඳුම සකස් කිරීමට දෙමවුපියන්ගෙන් මුදල් වැය වන බවට වාර්තා වේ. මීට අමතරව නිල ඇඳුම් වවුචරයක් ලබාදීම නිසා පාසලට ගොස් වවුචරය ලබා ගැනීම හා වවුචරයට අනුව රෙදි ලබා ගැනීමට දෙමවුපියන්ට දින ගණනාවක් රස්තියාදු වීමට සිදුව තිබේ.
මේ හේතුවෙන් ටැබ් පරිගණක ලබාදීමට සිහින දැකීමට පෙර පාසල් දරුවන් වෙනුවෙන් සිදු කළ යුතු බොහෝ දේ තිබෙන බවට දේශපාලඥයන් තේරුම්ගත යුතුය. එහෙත් ජාතියේ අවාසනාවට ගමේ පාසලෙන් ඉගෙන ගත් දේශපාලඥයන් සහ තීන්දු තීරණ ගන්නා නිලධාරීන් සෑම විටම තීන්දු තීරණ ගන්නේ අගනුවර පිහිටි ප්‍රධාන පෙළේ පාසල් ඉලක්ක කර ගනිමින්ය. එසේ නොමැතිව සමස්ත පාසල් පද්ධතිය පිළිබඳ සිතා බලා තීරණ ගන්නේ නම්, ටැබ් පරිගණක සංකල්පය සහ ස්මාර්ට් පන්ති කාමර සංකල්පයට පෙර සිදුකළ යුතුව තිබුණේ පොදුවේ පාසල් පද්ධතිය තුළ පවතින මානව සම්පත් හිඟයට හා භෞතික සම්පත් හිඟයට පිළියම් යෙදීමය. අගනුවර පිහිටි ප්‍රධාන පෙළේ පාසල් දියුණුවෙන් දියුණුවට පත්ව ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හපන්කම් නිසා බවට අපි නොපවසන්නෙමු.
යමක්කමක් ඇති පවුල්වල දරුවන් අගනුවර ප්‍රධාන පෙළේ පාසල්වලට ඇතුළු වී සිටීම හේතුවෙන් සහ ආදි ශිෂ්‍ය සංගම් බලහත්කාරයෙන් දෙමවුපියන්ගෙන් මුදල් අයකර ගෙන වැඩසටහන් දියත් කිරීම හේතුවෙන් එම ප්‍රධාන පෙළේ පාසල්වලට පිහිනුම් ක්‍රීඩාවට අවශ්‍ය පිහිනුම් තටාකද සමග සංවර්ධනයක් ද ලැබී තිබේ. එහෙත් දුෂ්කර ප්‍ර‘දේශයේ පාසල්වල දරුවන්ට එල්ලේ ක්‍රීඩා කිරීමට උණබම්බුවක්වත් නොමැත.
ක්‍රිකට් ක්‍රීඩාව ලංකාව තුළ ජනප්‍රිය ක්‍රීඩාවක් වුවද, ඇතැම් පාසල්වල දරුවන් ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරනුයේ පොල්පිති බැට්වලින්ය. විකට් කූරු වෙනුවට කැඩීගිය පුටුවක් තබාගෙන ක්‍රීඩා කරන අවස්ථාද තිබේ. පාසල් දරුවන්ගේ මනස දියුණු කිරීමට විවිධ ක්ෂණික ආහාර ද්‍රව්‍ය ගත යුතු බවට විශාල ප්‍රචාරයක් රට තුළ දියත් කළද, උදෑසන ආහාරය ලබාගත නොහැකිව වතුර උගුරක් පමණක් පානය කර පාසලට එන පාසල් දරුවෝ බොහෝ වෙති.
ශරීරයේ කොන්ද ප්‍ර‘දේශයේ සෞඛ්‍යයට හිතකර පොත්බෑග් භාවිත කරන ලෙස කොළඹ සිට විවිධ සන්දර්ශන පැවැත්වුවද, පොලිතින් කවරයේ පොත් දමාගෙන පාසලට එන දරුවෝ විශාල පිරිසක් සිටිති. ඇති හැකි අයගේ දරුවන් පාසල් වෑන් රථයේ හෝ තම පවුලට අයත් වාහනයෙන් පැමිණෙන විට කිලෝමීටර් හතරපහ පාගමනින් ගමන් කරමින් පාසල් යන දරුවෝද විශාල පිරිසක් සිටිති.
වර්ග කිලෝමීටර් හැටපන්දහස් හයසිය දහයක කුඩා භූමියක පාසල් දසදහස ඉක්ම වූ ප්‍රමාණයක් තිබියදී, කිලෝමීටර් ගණන් දුර ගෙවාගෙන ඇතැම් දරුවන්ට පාසල් යෑමට සිදුව ඇත්තේ 'ළඟම පාසල හොඳම පාසල' නොකිරීම හේතුවෙන්ය.
'ළඟම පාසල හොඳම පාසල^ කිරීමට කටයුතු කළේ නම්, ජනප්‍රිය පාසල් හෝ ජාතික පාසල් යැයි සංකල්පයක් ඇති නොවේ. එහෙත් නගරබද පාසල්වලට එක් ආකාරයකට හා ග්‍රාමීය පාසල්වලට තවත් ආකාරයකටත් සැලකීම හේතුවෙන් නගරයේ පාසල් තුළ අධික සිසු තදබදයක්ද, ග්‍රාමීය පාසල්වල සිසු හිඟයක්ද ඇතිව තිබේ. මීට අමතරව පාසල් තුළින් නිසි අධ්‍යාපනයක් නොලැබීම නිසා නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට උපකාරක පන්තිවලට යායුතු බවටද සංකල්පයක් ඇතිව තිබේ.
මේ හේතුවෙන් ජාතික වශයෙන් පවත්වන විභාගයකදී දරුවෙකු ලබන ජයග්‍රහණයේ ගෞරවය උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් ලබාගන්නා ආකාරයක්ද මේ වන විට ඇතිවෙමින් ඇත. හතු පිපෙන ආකාරයට ඇතිවන ටියුෂන් පන්ති හෙවත් උපකාර පන්තිවල පාසල් ගුරුවරුද සැලකිය යුතු ප්‍රමාණයක් ඉගැන්වීම් කටයුතු සිදුකරති. එම ගුරුවරුන්ගෙන් පාසලේදී අධ්‍යාපනය ලබන දරුවන්ට එම ගුරුවරයාගේ උපකාරක පන්තියේදී අධ්‍යාපනය ලැබීමටද සිදුවීම අවාසනාවන්ත තත්ත්වයකි.
යම් දරුවෙකු උපකාරක පන්තියක සහාය ලබාගත යුත්තේ අදාළ විෂය ඉගැන්වීම සඳහා තම පාසලේ ගුරුවරයෙකු නොමැති නම් පමණි. එහෙත් උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා පාසල තුළදී අධ්‍යාපන හදාරන දරුවන්ට සවස 2.00 සිට රාත්‍රී 10 හෝ 11 වනතුරු උපකාරක පන්තිවලට ගොස් අධ්‍යාපනය හැදැරීමට සිදුව ඇත.
මෑතක් වනතුරු නගරයට පමණක් සීමා වී තිබූ මෙම සංස්කෘතිය ඈත දූෂ්කර ප්‍ර‘දේශවලට පවා පැතිර ගොස් තිබේ. මේ නිසා දරුවන්ට ළමා කාලයද අහිමි වී ඇත.
ජාතික වශයෙන් පවත්වන විභාග ඉලක්ක කර ගනිමින් දරුවන් අධ්‍යාපනය හැදෑරීම හේතුවෙන් සමාජ දැනුම හා බාහිර දැනුම සහිත දරුවන් බිහිවීමද අඩුවෙමින් තිබේ. එබැවින් විසඳුම් ලබාදිය යුත්තේ රටම වෙලාගනිමින් තිබෙන මෙම සංස්කෘතිය වෙනස් කිරීමටය.
එහෙත් පාසලකට දරුවන් ඇතුළත් කිරීමේදී වර්තමානයේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වයට විසඳුම් ලබාදීමට නොහැකි වී සිටින පාලකයන්ට මෙම ගැටලුවලට විසඳුම් ලබාදීම තියා ඒ පිළිබඳ සොයා බැලීමටවත් උනන්දුවක් තිබේ දැයි කිව නොහැකිය.
වර්තමාන පාලකයන්ට හා හිටපු පාලකයන්ට මෙම ගැටලු විසඳීමට හැකියාවක් හෝ උනන්දුවක් තිබුණේ නම්, දරුවෙකු පාසලකට ඇතුළත් කිරීමට මුදල් හෝ භාණ්ඩ අල්ලස් වශයෙන් ලබාදීමට සිදුවන්නේ නැත. පාසල් නඩත්තුවට දෙමවුපියන්ගෙන් මුදල් එකතු කිරීමට විදුහල්පතිවරුන්ට හෝ ආදි ශිෂ්‍ය සංගම්වලට අවශ්‍ය වන්නේ නැත.
එහෙත් මේ වන විට එම ගැටලුවලට විසඳුම් ලබාදීමට ආණ්ඩුවට හොඳ අවස්ථාවක් උදා වී ඇත. ඒ ටැබ් පරිගණක ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කළ රුපියල් මිලියන පන්දහසක ප්‍රමාණයක් ඉතිරිව තිබෙන බැවින්ය.
රුපියල් මිලියන පන්දහසක් යනු විශාල මුදලක් නොවිය හැකිය. එහෙත් වැසිකිළියක් නොමැති පාසලකට වැසිකිළියක් ලබාදීමට, පානීය ජලය නොමැති පාසල්වලට පානීය ජලය ලබාදීමට එසේත් නොමැති නම්, පුස්තකාල නොමැති පාසල්වලට පුස්තකාල ලබාදීමට, ගොඩනැගිලි හිඟ පාසල්වල ගොඩනැගිල්ලක් ලබාදීම සඳහා එම මුදලින් කොටසක් වෙන් කළ හැකිය.
මීට අමතරව අධ්‍යාපනය දියුණු කිරීමට පාලකයන්ට සැබෑ වුවමනාවක් තිබෙන්නේ නම්, මුලින්ම සිදුකළ යුතු වන්නේ ටැබ් පරිගණක ලබාදීම නොවේ. මන්දයත් දරුවන්ට දැනුම ලබාදීමට නිසි ලෙස කළු ලෑල්ලක්වත් නොමැති පාසල් තිබේ. මේ නිසා මුලින්ම සිදුකළ යුත්තේ පාසල් පද්ධතියේ පවතින භෞතික හා මානව සම්පත් හිඟයට විසඳුම් ලබාදීමය.
එමෙන්ම පාසල් අධ්‍යාපනය හදාරා අවසන් කරන දරු දැරියන්ට උසස් අධ්‍යාපනය ලබා ගැනීම ඇති ඉඩකඩ පුළුල් කිරීමය. උගතුන්, බුද්ධිමතුන්, වෘත්තීයවේදීන් වැඩි වැඩියෙන් බිහි වන තරමට එරට දියුණුවත් ඊට සාපේක්ෂව සිදුවේ. පාලකයන් ඇතුළුව තීන්දු තීරණ ගන්නා බලධාරීන් අද දවසේ කටයුතු කළ යුතුව ඇත්තේ මෙකී ගැටලුවලට විසඳුම් ලබාදීම වෙනුවෙන් විනා තවදුරටත් සන්දර්ශන පැවැත්වීමට නොවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd