වෙසක් පෝදා සිටවත් සුසිල්වත් දිවිපෙවෙතක් කරා යන මාවතට යොමුවන්න
'සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධාන ශාසනං'
'සියලු පව් දුරු කළ යුතුය. සියලු පින් රැස් කළ යුතුය.' සියලු සම්බුදු හිමිවරුන් විසින් දේශිත මේ උතුම් බණ දහම අද ජන සමාජය තුළ හීන වෙමින් ජීවිතයට අහිතකර ස්වභාවධර්මයේ අශුභවාදී නපුරු බලවේග මානව සමාජය තුළ සක්‍රීය වෙමින් පවතී.
'දේවෝ වස්සතු කාලේන
සස්ස සම්පත්ති සිද්ධියා
පීතෝ භවතු ලෝකෝච
රාජා භවතු ධම්මිකෝ'
මෙයින් ප්‍රාර්ථනය කෙරෙන ජන ජීවිතයට හිතකර ශුභවාදී පැති නිහඬ වෙමින් පවතී. දැඩි උණුසුමකින් මුළු පරිසරයම ගිනියම් වී ඇත. අනුරපුර වැනි සම්බුද්ධ ධර්මය මගින් සජීවී ලෙස ආශීර්වාද ලබන ප්‍රදේශවල පවා ස්වභාවධර්මයේ නපුරු බලවේග මගින් පරිසරය මිනිසාට අහිතකර ලෙස දූෂණය කරමින් පවතී. වැහි පොදක් නැත. පොළව කර්කෂ ලෙස වියළී ඇත. සූර්යයා චණ්ඩ වී පවතී.
සිසිල් සුළං පොදක් නැත. වැව් සිඳී ගොස් පතුල් පුපුරා ඇත. තුන් කන්නක්ම ගොවිතැන්බත් පාළු වී ඇත. ගහකොළ මැරී පරිසරය වේළී ඇත. බීමට දිය පොදක් නොමැතිව සතා සීපාවා වැව්තාවුලුවල මැරී වැටෙති. මිනිසාට ආහාරපාන හිඟ වෙමින් පවතී. මහපොළව තැනින් තැන පුපුරා ඉරි තලා ඇත. ගෙයින් එළියට බැසීමට බැරි තරමට හිරු රැස් ගිනියම් වී ඇත. මිනිසාට හිතකරව ස්වභාවධර්මයේ ආශිර්වාද ලත් පරිසරය මේ තරමට ජන ජීවිතයට අහිතකර ලෙස විෂ වී ඇත්තේ ඇයි?
'සබ්බ පාපස්ස අකරණං' යැයි සම්බුදු හිමිවරුන් පෙන්වා දී ඇති පරිදි ජන ජීවිත සිල්වත් කර නොගැනීම, මේ අන්දමට ස්වභාව ධර්මය නපුරු වී මිනිසාට ජීවත් වීමට අහිතකර පරිසරයක් නිර්මාණය කිරීමට හේතු වී තිබේ.
අද අපේ රටේ ජන ජීවිතයේ දෛනික සැබෑ කැඩපත පුවත්පතය. ජාතික යැයි සැලකෙන පුවත්පත්වල පිටුවෙන් පිටුව පෙරළා බලන විට අපට දකින්ට - කියවන්නට ලැබෙන්නේ මොනවාද?
ඇතැම් දරුවන් විසින් මව්පියන් අනාථකර දැමීමේ පාපතර ඛේදවාචකයන් දිගින් දිගටම අසන්නට, කියවන්නට ලැබේ. අසරණ, මහලු මව්පියන් අනාථ කිරීම, බලු කූඩුවල දැමීම, මහමග දමා යාම, අනාථ නිවාස වලට ඇද දැමීම, සමහර විට මරා දැමීම, තමන් රස බොජුන් වලඳමින් මහලු මව්පියන්ට බෙලෙක් තැටියක ඉඳුල් ලබාදීම මෙබඳු පාපතර සිද්ධි, වර්තමානයේ සාමාන්‍යකරණයට පත්වෙමින් පවතී.
ජාතියක නිර්මාතෘවරිය අම්මාය.
තොටිල්ල පදවන අත ලොවක් පාලනය කරන්නේ යැයි පැරැන්නන් කීවේ ඒ නිසාය. අද තොටිල්ලක් පැදවූ දෑතක් නැත. මේ නිසා ඇතැම් දරුවෝ මංමුලා වෙමින්, වල්මත් වී ගිය මිනිසුන් වෙමින් පාතාලයට පියනගා යහපත් මිනිසුන්ගේ මරුවන් බවට පත්වෙමින් සිටිති. ඉහළ සිට පහළට ගංඟාවක් ගලන්නාක් මෙන් වංචාව, බොරුව, කපටිකම, සමාජ සූරාකෑම, ස්ත්‍රී දූෂණ, බාල අපචාර, හොරකම, මංකොල්ලකෑම එක ඉත්තේ පොල් මෙන් මානව සමාජය තුළට කඩා වැටෙමින් පවතී. ඉහළ සිට පහළටම යුක්තිය, සාධාරණය, සත්‍යය, වල් වැදී ඇත.
මුළු මහත් මානව සමාජයෙන් සුසිරිත පලවා හැර දුසිරිත රිංගා ඇත. පෙරදා මේ බෞද්ධ සමාජයේ ඉදිරි ගමන් මග වැටී තිබුණේ සම්බුද්ධාගම හරහාය. අද මේ ගමන මග වැටී ඇත්තේ 'මුදල්' හරහාය. මොනයම් හෝ සාපරාධී, දුෂ්චරිතවාදී ක්‍රියාවකින් හෝ සිය සාක්කුව මුදලින් පුරවා ගැනීම බහුතරයක් දෙනාගේ ගමන් මග වී තිබේ.
ධර්මය හරහා වැටී තිබූ මිනිසාගේ ගමන් මග අද 'මුදල' හරහා වැටී තිබේ. මේ සාපරාධී චර්යා රටාව නිසා මුළු මහත් සමාජය 'කලි' නම් වූ යක්ෂයා විසින් අත්පත් කරගෙන 'කලියුගයක්' ආරම්භ කර තිබේ. ප්රත්යශතකයේ පෙන්වාදී ඇති පරිදි 'කලි' යක්ෂයා සක්‍රීය වීමෙන් අයුක්තිය, අවනීතිය, අසාධාරණය, අවිනය, අශීලාචාරය, අපචාරය, අපරාධය, දුරාචාරය හරහා මානව ඔළුගෙඩි විපරීත තත්ත්වයට පත්කරමින් ඇත.
පෙරදා ධර්මවාදී වූ මිනිසා මොනතරම් දැහැමි ලෙස ජීවත් වූයේදැයි අනුරපුර පිංපුරයට පය තැබූ ගමන් කොයි කාටත් ප්රත්යක්ෂ වේ. ගමින් ගමට වෙහෙර විහාර, පන්සල් ඉදිකරමින් ආගමට දහමට කැපවෙමින් සිල්වත් දිවි පෙවෙතක් තුළ කාලයාත්රාකාර කර ඇති බව අදටත් අනුරපුර පුරාවට විසිරී ඇති බෞද්ධ සංකේත වලින් සනාථ වෙයි.
ඔවුන්ගේ ජීවිත ගත කර ඇත්තේ මත්පැන්, මත්කුඩු, හොර මැර, වංචා, කාම මිත්‍යාචාර, සඳහා නොවේ. ඔවුහු කළුගල් සමග පොර බඳිමින් අනාගතයට පවතින්නට වෙහෙර විහාර ඉදි කළහ. අද අප වැඳ පුදා ගන්නේ ඔවුන් කරන ලද පිංකම්ය. ඔවුන්ගේ යහ දිවි පෙවෙත නිසාම මුළු මහත් සමාජය සරුසාර විය. ස්වභාවධර්මය ඔවුන්ට ආශිර්වාද කරමින් ශක්තිය හා ධෛර්යය ලබාදුන්හ.
මුළු මහත් රටටත්, රටේ ජන ජීවිතයටත් ආශිර්වාද කළ සම්බුද්ධ ශාසනය රැක බලා ගනිමින් පෝෂණය කළේ සිංහල බෞද්ධ ජනතාවය. එසේ වුවද මෑතක සිට 'පුංචි පවුල රත්තරං' මන්තරයෙන් සිංහල බෞද්ධ ජනතාව වඳ කර දැමීමේ යටිකූට්ටු වැඩ කරගෙන යන හෙයින් සම්‍යයක් දෙවිවරු උදහස් වී 'කලි' නම් වූ යක්ෂයා මානව සමාජය තුළට රිංගවා ඇත. අපරාධ, දූෂණ, හොර මැරකම් සමාජය තුළ වැපිරී යන්නේ මේ නිසාය.
දැන් අප කළ යුත්තේ කුමක්ද? නිවී යමින් පවත්නා බෞද්ධ පහන්වැට යළි දැල්වීමය. ඒ උතුම් ජාතික ආගමික පිංකමට උතුම්ම දවස වන්නේ වෙසක් පුන් පෝදාය. පෙරදා මෙන්ම අදත් සිල්වත් බෞද්ධ ජනතාව පිළිගැනීමට අනුරපුර පිංපුරය සූදානම් වී සිටී.
සම්බුදු හිමියන් බඳු සිරිමා බෝසමිඳු, අපමණ සම්බුද්ධ ධාතු වලින් පිරී පවත්නා ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් ඇතුළු අනුරපුර අටමස්ථානය වෙත පැමිණ පුද පූජා, බාරහාර වී මින් ඉදිරියට අපචාරී දිවිපෙවෙත් වලින් මිදී සැබෑ බෞද්ධයන් ලෙස සුසිල්වත් සුදන දිවි පෙවෙතෙකට පත්වන බවට සම්බුදු හිමියන් උපන් දා, බුද්ධත්වයට පත් වූ දා, නිර්වාණයට වැඩිය දා එනම් වෙසක් පුන් පෝදා හිතට එකඟව යහ දිවි පෙවෙතකට පත්වන්නට හිත හදාගන්න.
එවිට අනුරපුර පිංපුරය පුරාවට පැතිරී ඇති බොදු සුවඳ සමග යහගුණ පිරි බෞද්ධ ජීවිත රට පුරා පැතිරී යනු ඇත.
උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අනුරපුර ලංකාරාමාධිකාරී රළපනාවේ ධම්මජෝති හිමි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

