රටේ එකම ප්රශ්නය 2020 ජනාධිපතිවරණය පමණද
ජනවාරි 08 දින ලද ජනතා ජයග්‍රහණය රැකගැනීම වෙනුවෙන් සිවිල් සංවිධාන සමූහය වෙනුවෙන් මාදුළුවේ සෝභිත හිමියෝ රනිල් වික්‍රමසිංහ සමග 2015 ජූලි 28 දින කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී කරුණු 14 කින් යුත් ගිවිසුමකට අත්සන් කළහ. එහි පළමු කොන්දේසිය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය.
නව වසර ලබත්ම 2017 ආණ්ඩුව පෙරළනවා යැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අනතුරු ඇඟවීමක් කළේය. “ආණ්ඩුව පෙරළන්න කිසිම ඉඩක් දෙන්නේ නැහැ. ජනාධිපති සහ කතානායක සිටිනතුරු අගමැතිවරයා වෙනස්කර නව ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකියි” යනුවෙන් ජනාධිපතිවරයා එයට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය. “ජනපති බෑ කිව්වට අගමැති වෙනස්කර නව ආණ්ඩුවක් බිහිකරන්න පුළුවන්” යනුවෙන් පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් ජනමාධ්‍ය අමතා පැහැදිලි කළේය.
ශ්රීලංනිපයේ අපේක්ෂක මෛත්‍රීමයි යනුවෙන් එස්.බීද ජනමාධ්‍ය හමුවේ පැවසුවේ ගතවූ සතියේදීය. “යහපාලනය බිඳදැමීමට අදූරදර්ශී නොමනා බලවේග රැසක් ක්‍රියාත්මකයි” රනිල් සියල්ල අසා සිට අලුත් අවුරුද්දේ සිය මතය පළ කළේය. එයින් සමහරවිට යහපාලනය මෙන්ම ආණ්ඩුවද පෙරළීමේ උත්සාහය ඔහු දකින්නට ඇතැයි ජනතාව පවසති.
“යහපාලනය යටතේ පිනට ඇමතිකම් ගත් අය යහපාලනය ආපස්සට හැරවීමේ උත්සාහය” දමිළ ප්රගතිශීලී සන්ධානය වෙනුවෙන් අමාත්‍ය මනෝ ගනේෂන් දෙසැ 28 දා මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේය.
“අපි පිං ඇමතිලා නෙවෙයි -පව් ඇමතිලා-බොරු චූන් දාලා අපේ තියෙන ආදරය බිඳවන්න එපා යැයි මහින්ද මහත්තයාගෙන් ඉල්ලනවා” යැයි ඩිලාන් අකුරැස්ස ශ්‍රීලංනිප බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවේදී පැවසුවේ මෛත්‍රී වෙනුවෙන් පෙනී සිටිමින් එජාපයට එරෙහිව ඇඟිල්ල දිගු කළ විටය. මැතිවරණ ක්රමයේ වෙනස මාදුළුවාවේ සෝභිත හිමි සහ රනිල් එකඟතා ගිවිසුමේ පළමු වගන්තියේ සඳහන් කරුණකි. එසේ තිබියදී 2020 ජනාධිපතිවරයා ලෙස මෛත්‍රී පත්කරවීම හෝ 2017 ආණ්ඩු පෙරළියෙන් පසු රනිල් ඉවත්කර අගමැති තනතුරට මහින්ද පත්කිරීමේ උත්සාහය රටේ ප්‍රධාන ප්රශ්නය ලෙස මෛත්‍රීගේ ශ්රීලංනිපය දකින්නේ නම් ජනතාව ජනවාරි 8දා කළ වෙනසට සිදුව ඇත්තේ කුමක්ද යන්න අපේක්ෂා දල්වා ගත් ජනතාවටද පැනයකි.
“මම පිටුපසින් පැමිණ පිහියෙන් අනින්නේ නැහැ. මට ඕනෑම අවස්ථාවක රාජ්‍ය බලයට පැමිණිය හැකියි” මහින්ද ජනවාරි 04දා බත්තරමුල්ල කාර්යාලයේදී නව වසරේ වැඩ අරඹමින් අනාවරණය කළේ අනතුරු ඇඟවීමකි.'ප්රභාකරන්ගේ තියරිය අනුව කටයුතු කළ මහින්ද හැමදාම කළේ පිටිපස්සෙන් යමින් පිහියෙන් අනින එකයි' 06දා දූනගහ පක්ෂ කාර්යාලයේදී රංජන් රාමනායක මාධ්‍ය හමුවක් තබා පැවසුවේය.
“විශාල බලයක් තිබූ මහින්දට පැරදෙන්න බලපෑ හේතු මොනවද කියල අපි කල්පනා කරන්න ඕනෑ” ශ්‍රීලංනිප තරුණ බල මණ්ඩලයේ සභාපති ශාන්ත බණ්ඩාර නොවැම්බර් 13 දික්ඔය නගර ශාලාවේ ජනහමුවකදී මෛත්‍රී පිළේ ජනතාවගේ අවධානයට යොමු කළේය.“යහපාලන ආණ්ඩුවට ගමේ ප්‍රතිචාරය එතරම් හොඳ නැහැ* යැයි මෛත්‍රීගේ වේදිකාව ගිනි තැබූ චෝදනා නැගුණු මුතුහෙට්ටිගම ජනවාරි 2 දින ගාල්ලේ මාධ්‍ය හමුවකදී පැවසූ වදන යහපාලන ආණ්ඩුවට එරෙහි තවත් අනාවැකියක්දැයි ජනතාව විමසිල්ලෙන් පැවසූහ.
“අවුරුද්ද ලබද්දීම එක ගඩොලක් ගැලවුණා. තව ඉස්සරහට යනකොට ආණ්ඩුවේ ගඩොල් ඔක්කොම ගැලවෙයි” මහින්ද රාජපක්ෂ අම්බලන්ගොඩ මාදම්පාගමදී ජනවාරි මාසයේ පැවති රැස්වීමකදී නි.අමාත්‍ය ප්‍රියංකර ජයරත්නගේ ඉවත්වීම සිහිපත් කරමින් අවධාරණය කළේය. 2017 මැතිවරණ තුනක් ජයගැනීමට ඒකාබද්ධ විපක්ෂය 2017 ලබත්ම සැලසුම් සකස් කරන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර පවසන විට, 'තාවකාලිකව වෙන්ව සිටියත්, ඉදිරි මැතිවරණවලදී එක්ව ජයගැනීම අපේ ඉලක්කයයි' කම්කරු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න රත්නපුර ශ්‍රීලංනිප දේශපාලන බල මණ්ඩල රැස්වීම අමතා පැවසුවේය.
“විධායක ජනාධිපති ක්‍රමය දීර්ඝ කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි” හිටපු ජනපතිනී චන්ද්‍රිකා ජනවාරි 10දා කොළඹදී පැවති රැස්වීමකදී පැවසුවාය.මෛත්‍රී පිළ විසින් එජාපය අපහසුවට පත්කරමින් මෛත්‍රීගේ ඇමතිවරුන් විසින් නිතර අපේ ආණ්ඩුවක් සඳහා මෛත්‍රිපාල සිරිසේන නැවත ජනාධිපති කරනවා යන ප්‍රකාශ නිසා ආණ්ඩුව තුළද ගැටුමක් නිර්මාණය වී ඇතැයි තවත් චෝදනාවකි. ඒ වාසිය තමන් වෙත රඳවාගැනීම වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය රට පුරා ජනතාව ඇමතීමට පියවර ගෙන ඇත. ජනතාව තුළ පවතින අර්බුද සහ අසීමිත වියදම් චෝදනා හමුවේ ජන මනස වෙනත් අතකට යොමු කිරීමේ උපක්‍රමයක් ලෙස 2020/21 ජනාධිපතිවරයෙකු පිළිබඳ සංවාදය ආණ්ඩුවේම උත්සාහයක්දැයි තවකෙකු විමසති. නැතහොත් රටේ නව දේශපාලන රැල්ලක් හරහා එජාපයේ කටයුතු අවුල්කර ලද මොහෙතක රනිල්ගේ බලය ඩැහැ ගැනීමට මෛත්‍රී පිළේ ඇමතිවරුන්ගේ උත්සාහයක් ඇතැයිද ඇතැම්හු සැක පහළ කරති.
අනෙක් අතට ජනවාරි 8 වෙනස සම්බන්ධයෙන් මූලිකත්වය ගත් සිවිල් සංවිධාන සමගත් මෛත්‍රී සහ රනිල් අතරත් ගැටුමක් නිර්මාණය කිරීමට මෙවැනි හදිසි ජනාධිපතිවරණයක කතාබහක් නිර්මාණය කරන්නේද යන ප්‍රශ්නයද යහපාලනය වෙනුවෙන් දරදිය ඇදි මිනිසුගේ තවත් තර්කයකි. විධායක බලතල අහෝසි කිරීමේ සම්මුතිය අවතක්සේරුවට ලක්කරවීම මගින් ජනතාව තුළ රනිල් කෙරෙහි ඇති විශ්වාසය බිඳවීමට මෙය අවස්ථාවක් කරගන්නේ යැයිද තවත් පිරිසක් චෝදනා කරති.
“බලය තහවුරුකර ගැනීම හෝ බලය ඉලක්කකර වැඩ කිරීම රටට අවශ්‍ය නැහැ” යනුවෙන් මෛත්‍රී ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනවාරි 02 දින පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා එසේ පැවසුවද “අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික තීරණය අනුව 2020 ජනාධිපතිවරණයේදීත් ඔහු තරග කළයුතු යැයි” ශ්රීලංනිපයේ මෛත්‍රී පිළේ මහින්ද අමරවීර, ලක්ෂ්මන් යාපා, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකරලා පුන පුනා මාධ්‍ය හරහා පැවසූහ. සමස්ත ශ්‍රීලංනිප පාක්ෂිකයන්ගේ උත්සාහය ඉක්මනින් රනිල් පරාජයකර තම නිල් ආණ්ඩුවක් පිහිටුවීම බව ඔවුහු ප්‍රසිද්ධියේ පවසති. එහිලා රනිල් කෙරෙහි ජනතා අප්‍රසාදය වර්ධනයකර එක් පාර්ශ්වයක් ලෙස යාමට මෛත්‍රී මහින්ද එකතු කරවීමට ශ්‍රීලංනිපයට ඇති උවමනාව වෙනුවෙන් පාර්ශ්ව දෙකටම ඇති පොදු අරමුණු දෙකකි.
පළමුවැන්න ශ්‍රී ලංකා ආණඩුවක් 2020දී හෝ එයින් පෙර පිහිටුවීමේ මූලික පරමාර්ථයයි. දෙවැන්න ඒ සඳහා පොදු සතුරා ලෙස රනිල් පන්නා දැමිය යුතු බවට නොකියා කියන කතාවයි. අදටත් මෛත්‍රීගේ පෞද්ගලික බලපරාක්‍රමය මැදිහත් නොවන්නට මෛත්‍රි පිළ මේ වන විටත් රනිල්ටත්, එජාපයටත් එරෙහිව ඒ මර්ධනය දියත්කර අවසාන යැයි පාක්ෂිකයෝ පවසති. තම නොසතුට මැද්දේ අපේක්ෂකයෙකු ලෙස බලහත්කාරයෙන් අපේක්ෂකත්වය පවරා මෛත්‍රී නැමති මධ්‍යස්ථ පුද්ගලයාගේ පිළිගැනීම අනන්‍යතාව සහ විශ්වසනීයත්වය බිඳ දමමින් ඔහුත් මහින්ද රාජපක්ෂ කෙනෙකු බවට පත්කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් ඇතැයි මේ සියල්ල දෙස බලා සිටින ජනතාව චෝදනා කරති.
එදා මහින්ද වටේ සිට හැමදේටම එහෙයි පවසා ඔහු නැත්තටම නැතිකර අද මෛත්‍රී පිළේත්, රනිල් ආණ්ඩුවේත් රැඳී එයද විනාශකරන ඇතැමුන් මෛත්‍රීටත් ඒ ටික කර නැවත මහින්ද වෙතට ඇඳී යාමේ නව ප්‍රවණතාවයට පාර කපමින් හදිසි මැතිවරණ සඳහා ජනතාව කුලප්පු කරවීමේ සටනක යෙදෙන්නේ යැයි මේ විකාර දකින ජනතාව පවසන දේද පහසුවෙන් බැහැර කළ නොහැකිය.
මුහුද හත් ගව්වක් තිබියදී අමුඩය ගැසීම ගැන අපේ ගැමියන්ට අමුතු කතා අවශ්‍ය නැත. මෛත්‍රීගේ දේශපාලකයන් 2020 ජනාධිපතිවරණයක් සඳහා අමුඩය ගසන විට මහින්ද ගෝලබාලයන් සමග 2017 ආණ්ඩුව පෙරළීම සඳහා කල දුටු කළ වල ඉහ ගැනීමේ උත්සාහයක යෙදී සිටින බව දරිද්‍රතාවයත් සමාජ හිංසනය සහ දුන් පොරොන්දුත් ඉටු නොකළ යහපාලනයක් පිළිබඳ මැසිවිලි නඟන ජනතාව පිළිකුලෙන් පවසති.
“නමුත් ජනපති මෛත්‍රීගේ බලතල වෙනස් නොවිය යුතුය. මනාප ක්‍රමය අහෝසිකර සමානුපාතික ඡන්ද ක්‍රමයකට යා යුතුයි” යනුවෙන් 2016 දෙසැම්බර් 08 දින රැස්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේය. එයින් අදහස් වන්නේ එජාපය නිර්මාණය කළ විධායකයෙන් දුරස්වීමට ඔවුන්ද අකමැති කතාවකි. ඒ ඉදිරි ජනාධිපතිවරණයකින් රනිල්ගේ ජයග්‍රහණය දක්වා එය රැකගත් පසු එතැන් සිට රනිල්ටත් ඒ වරම ලැබිය යුතුය යන තීරණයක් තුළ යැයි ඇතැම් දේශපාලන නිරීක්ෂකයෝ පවසති.
ඉදිරි ජනාධිපති අපේක්ෂකයා නම්කරන මෛත්‍රී පිළට අද දක්වා පළාත් සභා සියල්ලේ මැතිවරණය 2020 ට පෙර පැවැත්විය යුතුය යන්න අමතකය. පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා සංවිධාන කටයුතු වෙනුවෙන් සූදානමක් වත් මෛත්‍රී පිළට නැතැයි පාක්ෂිකයෝ චෝදනා කරති. එහෙත් මහින්ද මේ වනවිට ගම්මාන හෝ විහාරස්ථාන සහ ප්‍රජා මට්ටමෙන් ඒ කටයුතු අවසන්කර ඕනෑම මැතිවරණයක් ප්‍රකාශයට පත්කරනතුරු බලා සිටින්නේ යැයි මහින්ද හිතවාදීහු පෙන්වා දෙති. එහෙත් මෛත්‍රී පිළට ඒ පසුබිම තව බොහෝ දුරය. ඔවුන්ගේ කුලප්පුව 2020 ජනාධිපති වීම සහ රනිල් පැරදවීම නම් මේ දේශපාලන අනාථයන්ගේ හෙට දින ඉරණම සම්බන්ධයෙන්ද එම පාක්ෂිකයන්ට ඇත්තේ කලකිරීමකි.
වසර දෙකක් ගතවීද දුන් පොරොන්දු අතරින් දෙක තුනක් සඳහා මූලික කටයුතු ආරම්භ කළද, ඒවාද තවමත් අතේ දුරෙන් යැයි මධ්‍යස්ථ ජනතාව පවසති. රට හදා ජනතාවට සහන දෙන්න පළමු අවුරුදු තුන ගතවෙනවා යැයි රජයේ ඇමතිවරුන් පැවසුවද සහන යන්න වෙනුවට තවමත් දඩ සහ බදු මුදල් පමණක් ජනතාවට සරදම් කරන්නේ යැයි පීඩිතයෝ පවසති. එනිසාම රටපුරා දිනපතා වර්ජන රැලි නිර්මාණය වෙමින් පවතී.
අඩුම තරමින් දෙවසරක් ගතවීද ඇතැම් ඇමතීන් විසින් නියෝජ්‍ය ඇමතීන්ට සිය විෂය පවරා නැතැයි හෝ කාර්යාලයක් මේසයක් පුටුවක් නැතැයි එකම පාර්ශ්වයේ ගැටුම් රැසකි. මෛත්‍රී පිළේ ලේකම් දුමින්දගේ අමාත්‍යංශ කාර්යාලයට රුපියල් බිලියන ගණනින් මාස ගණනාවක් කුලී ගෙව්වද තවමත් එතෙනට පය තැබීමටවත් නොහැකි පසුබිමක් තුළ 2020 ජනාධිපතිවරණයක් ගැන කතාකිරීම ජනතාවගේ හාස්‍යය මෙන්ම දෝෂදර්ශනයට ලක්වූ එක් සිදුවීමක් පමණි.
දුන් පොරොන්දුවත් ඉටුකර ගැනීමට නොහැකිව හෝ ජාතික යැයි ඇලවූ ලේබලයේ මැලියම් ටිකවත් තවමත් වේලී නැතිව තිබියදී 2020 ජනාධිපතිවරණයක් ගැන කතා කරන්නට තරම් මෛත්‍රී පිළට ඇති අවශ්‍යතාව වේදනාව සහ අපේක්ෂකයෙකු ලෙස නැවත බලයට එන්නේ නැතැයි පැවසු අයෙක්ම තල්ලුකර දැමීමට යාම මෛත්‍රීගේ ප්‍රතිරූපයට සිය හිතවතුන් ලෙස පෙනී සිටින අය කරන හානියක් යැයි ඡන්දදායකයෝ පවසති. මෛත්‍රීටත්, මහින්දට මෙන්ම යනඑනමං නැති කරවීමේ පාපකර්මයකට මෛත්‍රී ළංකර ගත් ඇත්තන් විසින්ම තල්ලුකර දමන්නේද යන්න ජනතාවටද පැනයකි. මැතිවරණ සමයේ ඡන්ද ගැන කතා කළ යුතුය. බලය දිනාගත් පසු ඇති කරගත් සම්මුතීන් අනුව එකාවන්ව සිව් අවුරුද්දක් රට හැදීම ගැන සංවාදයක යෙදිය යුතුය.
එසේ නොවන රටක ජනතාවට ඇත්තේ හැමදාම ඡන්දය දී හොරු තක්කඩියන් එතැනට යවා කඹුරන දේ ඔවුන්ට බෙදා දී තමන් අඹුදරුවන් සමග හාමතේ මියැදීම පමණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

