රජය යටතේ තිබෙන ශික්ෂණ රෝහලක් බවට නෙවිල් ප්‍රනාන්දු රෝහල පත්වෙයි
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෙවත් 'සයිටම්' වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධිත නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීම ඊයේ (17දා) සිදුකෙරිණි.
රුපියල් මිලියන 3,500ක මුදලක් ආයෝජනය කරමින් ඉදිකර ඇති මෙම පෞද්ගලික රෝහල අගෝස්තු මාසයේ සිට රජයේ ශික්ෂණ රෝහලක් ලෙස පවත්වා ගෙන යෑමට නියමිතය.
අගෝස්තු මාසයේ සිට වසරක අන්තර් කාලයක් තුළ මෙම රෝහලේ සියලුම ගැටලු නිරාකරණය කිරීමට නියමිතය. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර, එහිදී ප්‍රකාශ වූ අදහස් පහතින් දැක්වේ.
2018 අවසාන වනවිට මේ රටේ සෑම සරසවි සිසුවෙකුටම නේවාසිකාර පහසුකම ලබාදෙනවා
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න,
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට බාරදෙන්නේ නෙවිල් ප්‍රනාන්දු මහත්මාගේ කැමැත්තෙන්මයි. එම රෝහල සඳහා ලබාගත් ණය ගෙවීමටත් ඔහු පොරොන්දු වී තිබෙනවා.
අගෝස්තු මාසයේ පළමු වැනිදා පටන් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයේ ව්‍යාපෘතියක් විදිහට ඉදිරියට ගෙනියනවා. අපේ රටේ තිබෙන ශික්ෂණ රෝහල් අතරින් මෙවැනි රෝහලක් රජයට පරිත්‍යාග කළේ ජයවර්ධනපුර රෝහල. ඒ ජපන් රජයේ පරිත්‍යාගයක් විදිහට.
ජයවර්ධනපුර රෝහලේ ඇඳන් 1001යි. මීටත් වඩා ඇඳන් සංඛ්‍යාවක් තිබෙන මේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අපට ලැබෙන්නේ විදේශයකින් නොවෙයි, ස්වදේශික ආයෝජකයෙකුගෙන්. ඒකයි මෙතැන තිබෙන වැදගත්කම. ස්වදේශීය ව්‍යාපාරයක් අද අපි රජයට ගන්නෙ.
අපි මේ රෝහල රජයට පවරා ගන්නෙ මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ උනන්තිය සඳහා. නෙවිල් ප්‍රනාන්දු රෝහල නවීන පහසුකම්වලින් සමන්විතව සකසා තිබුණත් එහි රෝගීන් ප්‍රමාණය අඩුයි. මේ අඩු රෝගීන් ප්‍රමාණය සයිටම් ශිෂ්‍යයන්ගේ සායන සඳහා ප්‍රමාණවත් නැහැ.
වෛද්‍ය සිසුන්ට මහජන සෞඛ්‍ය සහ අධිකරණ වෛද්‍ය විද්‍යාව ඉගැන්වීම පෞද්ගලික අංශයට සිදුකරන්න බැහැ. එය රජය යටතේ තිබෙන කාරණයක්. ඒ වෙනුවෙන් එක් වෛද්‍ය ශිෂ්‍යයෙක් සඳහා රුපියල් 50,000ක මුදලක් ගෙවන්න එකඟ වුණා.
සයිටම් වෛද්‍ය විද්‍යාලයේ පරිපානය පුළුල් කිරීමට නෙවිල් ප්‍රනාන්දු මහත්මා එකඟ වුණා. එහි මූල්‍යමය තත්ත්වය පුළුල් කිරීමටත්, පරිපාලනයට තවත් පිරිස් සහභාගි කර ගැනීමටත් ඔහු එකඟ වී තිබෙනවා.
ජනාධිපතිතුමා මේ සම්බන්ධ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර එකඟතාවකට පැමිණියා. මේ සම්බන්ධ එකඟතාවන්ගේ ලිඛිත සාක්ෂි සතියක් ඇතුළත ලබාදෙන්න අපි කටයුතු කරනවා.
වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් වෘත්තීය ප්රශ්නය, අනික දේශපාලන ප්රශ්නය. මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයට ප්‍රමිතියක් තිබුණේ නැහැ. ඒකේ වැරැද්ද සයිටම් ආයතනයේ නොවෙයි. වෛද්‍ය අධ්‍යාපනයට නීති සකස් කරලා නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තිබෙන්නෙ. ඉතා ඉක්මනින් ගැසට් කරනවා.
මේ රටේ විශ්වවිද්‍යාලවලට ඇතුළු විය යුතු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළු වෙන්නේ 17% යි. අපේ රටේ දේශපාලනය විසින් 83%ට දොර වහනවා. එයින් 08%ක් විදෙස් අධ්‍යාපනයට යොමුවෙනවා. 75%ට යනඑන මං නැතිවෙනවා. මේ 75%ට සම්පූර්ණයෙන්ම සරසවි ප්‍රවේශය ලබාදෙන්න බැහැ.
වයඹ, සබරගමුව, මොරටුව වෛද්‍ය පීඨ අලුතින් ආරම්භ කර ඒ සඳහා අවශ්‍ය ඉඩපහසුකම් ලබාදීමට උත්සාහ කරනවා. 2018 අවසාන වනවිට මේ රටේ සෑම සරසවි සිසුවෙකුටම නේවාසිකාර පහසුකම ලබාදෙනවා.
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තමයි මේ සියලු දේවල් සිදුකරන්නෙ. 2019 අවසන් වනවිට සියලුම සෞඛ්‍ය සේවකයන්ට නේවාසික පහසුකම් ලබාදෙනවා. රෝහලකට ගිය විට පැනඩෝල් පෙත්තේ සිට ශල්‍යකර්මයක් දක්වා සියලුම පහසුකම් නොමිලේ ලබාදීමට මේ රජය කටයුතු කරනවා.
මේ රටේ නිදහස් සෞඛ්‍ය පවත්වා ගෙන යන්න වෛද්‍යවරුන්, හෙදියන්, සමසෞඛ්‍ය, පරිපූරක වෛද්‍යවරුන්ගේ කොපමණ හිඟයක් තිබෙනවාද? මේ හිඟය පුරවන්න කොහෙන් හෝ මේ පිරිස බිහිකරනවා නම්, නිදහස් සෞඛ්‍ය ගෙනියන්න පුළුවන් එතැන ඉඳන්.
ලංකාවේ ජනතාව ලක්ෂයකට වෛද්‍යවරුන් ඉන්නේ 65යි. නමුත් දියුණු සෞඛ්‍ය සේවයක් ගොඩ නගන්න නම්, ජනතාව ලක්ෂයකට වෛද්‍යවරුන් 200ක් අවශ්‍යයි. ලංකාවේ දැනට සිටිනවා මෙන් තුන්ගුණයක වෛද්‍යවරුන් රටට අවශ්‍යයි. රට තුළ හොඳම වෛද්‍ය සේවයක් සැපයීමට නම් මෙවැනි වෛද්‍ය විද්‍යාල විශාල ගණනක් රටට අවශ්‍යයි.
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කාර්යමණ්ඩලයේ කිසිම කෙනෙකුගේ රස්සාව නැතිවෙන්නෙ නැහැ. සෑම විශේෂඥ වෛද්‍යවරයෙක්ම, වෛද්‍යවරයෙක්ම, සෑම හෙදියක් ඇතුළු සියලු සේවයන්ගේ සේවය අපි ආරක්ෂා කරනවා.
අගෝස්තු මාසයේ පළමු වැනිදා සිට රජයේ ශික්ෂණ රෝහලක් ලෙස මේ රෝහල ක්‍රියා කරනවා. එතැන් සිට වසරක අන්තර් කාලය තුළ මේ රෝහලේ සියලුම ප්‍රශ්න විසඳනවා.
රටේ තිබුණු ලොකු ප්‍රශ්නයක් දුම්කොළ ප්රශ්නය. අවුරුද්දකට දුම් බීමෙන් පමණක් 25,000ක් පමණ මියයනවා. යුද්ධයෙන් මියගිය සංඛ්‍යාවට වඩා වැඩියි. ඒ ප්‍රමාණයෙන් 05%ක් කුඩා දරුවන්. 1250 ළදරුවෝ මිය යනවා. ඒ නිසාම දුම්කොළ සමාගමටම 90%ක් බදු දැම්මා.
ඒ විදියේ තීරණ අරගෙන තමයි අපි නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කරන්නෙ. රජය යටතේ තිබෙන හොඳ ශික්ෂණ රෝහලක් ලෙස නෙවිල් ප්‍රනාන්දු රෝහල රජය පවත්වා ගෙන යනවා.
සයිටම් වෛද්‍ය පීඨය දියුණු කරලා රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙනගන්න ඉඩනැති ශිෂ්‍යයන් 100ක් නොවෙයි 500 දක්වා දියුණු කිරීමට අවශ්‍ය සියලුම සහයෝගය ලබාදීමට රජය කටයුතු කරනවා. වෛද්‍ය අධ්‍යාපනය දියුණු කිරීම රජයේ ප්‍රතිපත්තිය.
මෙම රෝහල පවරා ගැනීමක් නොවෙයි
උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට බාරගත්තද මෙම රෝහල සැදීමට ලබාගත් ණය මුදල් ගෙවීමට නෙවිල් ප්‍රනාන්දු මහත්මා පොරොන්දු වී සිටිනවා. මෙම රෝහල පවරා ගැනීමක් නොවෙයි, මේක තෑග්ගක්.
රාජ්‍ය අධ්‍යාපනය ශක්තිමත් කරන ගමන් පෞද්ගලික අධ්‍යාපනය ශක්තිමත් කරන්න රජය ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබෙනවා. අද ලෝකයේ සෑම රටකම පෞද්ගලික අධ්‍යාපනය ශක්තිමත් වෙමින් යනවා. කොමියුනිස්ට්වාදී රටවල පවා මේ තත්ත්වය පවතිනවා. නිදහස් අධ්‍යාපනය යටතේ අධ්‍යාපනයට නිදහස තිබෙන්න අවශ්‍යයි. රජයේ වෛද්‍ය විද්‍යාල තුනක් ඉදිරි වසර 02ක තුළ ආරම්භ කරනවා.
2018 වසරේ වයඹ වෛද්‍ය විද්‍යාලයත්, 2019 වසරේ රත්නපුර සහ මොරටුව වෛද්‍ය විද්‍යාලයත් ආරම්භ කරනවා. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන අතර පෞද්ගලික අධ්‍යාපනයටද අවශ්‍ය තැන ලබාදීමට රජය කටයුතු කරනවා.
උසස් පෙළදී ඉහළ සාමාර්ථ ලබාගත් සිසුන් බොහොමයක් සයිටම් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා.
සයිටම් ආයතනයේ සහ රෝහලේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු
2005 වසර වනවිට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ළමුන් ලක්ෂයක් පමණ සුදුසුකම් ලබා තිබුණත් ඒ සඳහා අවස්ථාව හිමිවුණේ 18,000කට පමණයි.
මේ ඉතුරු පිරිසට අධ්‍යාපනය ලබාදීමේ අවස්ථා සඳහා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන ලෙස 2005 වසරේදී උසස් අධ්‍යාපන අමාත්‍ය විශ්වා වර්ණපාල මහත්මයාගේ ඉල්ලීමක් කළා. ඒ අනුව තමයි මම සයිටම් වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළේ. උසස් පෙළදී ඉහළ සාමාර්ථ ලබාගත් සිසුන් බොහොමයක් සයිටම් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා.
'එස්' සමාර්ථ තුනක් ලබාගත් ළමුන්ට රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළු වෙන්න පුළුවන්. මේ අසාධාරණය නවත්වන්න පුළුවන් සයිටම් වගේ තවත් ආයතන කිහිපයක් මේ රටේ බිහිකළොත්. සයිටම් ආයතනයේ ඉංජිනේරු පීඨය මගින් ඉංජිනේරුවන් 400ක් පමණ බිහිවී තිබෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

