ඩෙංගු රෝගය ජනතාව බිලි ගනිද්දී දේශපාලඥයන් මර නින්දේ
නියපොත්තෙන් කැඩීමට තිබෙන දේ පොරොවෙන් කපන තත්ත්වයකට පත්වන තෙක් නොසිටිය යුතු බවට කියමනක් තිබේ. මෙය පවුල් ඒකකයක් තුළ ඇති වන ප්‍රශ්නයකදීත්, ජාතික වශයෙන් රට තුළ ඇති වන ප්‍රශ්නයකදීත් එකසේ සිදුවිය යුතු කාරණයකි.
එහෙත් මෑත කාලීනව රට පාලනය කළ පිරිස් රටේ ජනතාවට බලපාන ආකාරයේ ගැටලුවක් පැමිණි විට එය මුලදීම විසඳා ගැනීමට නොයෑම හේතුවෙන් බොහෝ විට ප්රශ්නය අවසන් වන්නේ පොරොවෙන් කපාකොටා නොව කියතකින් කපා දැමීමටත් නොහැකි තත්ත්වයකිනි.
අද වනවිට රට අත්විඳිමින් තිබෙන ඩෙංගු උවදුරද මේ ආකාරයේ ප්රශ්නයකි. ඩෙංගු උවදුර වර්තමාන ආණ්ඩුවේ වරදින් සිදුවූවක් නොවුණද මෙවැනි ව්‍යවසනයකදී එය පාලනය කර රටින් එය තුරන් කිරීම පවතින රජයකට හිමිවන සුවිශේෂී වගකීමකි.
එහෙත් මේ වනවිට රට තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු උවදුර තුරන් කිරීම සඳහා වර්තමාන ආණ්ඩුව යටතේ තවමත් විධිමත් වැඩපිළිවෙළක් සකසා නොමැත. මේ හේතුවෙන් මෙම වසරේ ගෙවී ගිය කාලය තුළදී මේ රටේ මිනිසුන් 310කට ආසන්න පිරිසකට ජීවිතය හැරදමා යෑමට සිදුවිය.
ලක්ෂ ගණනකට රෝගීන් වන්නට සිදුවිය. රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වසරේ ගෙවී ගිය කාලය තුළදී රෝගීන් 107,015ක ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගෙන තිබේ. මේ අනුව පෞද්ගලික අංශයෙන් හා වෙනත් ප්‍රතිකාර ක්‍රම මගින් තවත් මෙවැනිම ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගෙන තිබෙන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙයි.
මේ ආකාරයට රටේ ජනතාව මරණයට පත්කරමින් හා රෝගීන් බවට පත්කරමින් යන ඩෙංගු වසංගතය පාලනය කිරීමට රජයට වුවමනාවක් තිබෙන ආකාරයක් දක්නට නොමැත. එවැනි උවමනාවක් තිබුණේ නම්, මේ වනවිටත් ඩෙංගු මර්දනය කිරීම සඳහා රට තුළ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුව තිබිණි.
රටේ ජනතාවට මේ ආකාරයට අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇත්තේ එක්තරා කාලයකදී සෞඛ්‍ය අමාත්‍යධුරය දැරූ පුද්ගලයෙකු ජනාධිපතිවරයාව සිටියදීය. මීට අමතරව වෛද්‍යවරයෙකු රටේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන කාලයේදීය.
සෞඛ්‍ය අමාත්‍යවරයෙකු රටේ ජනාධිපති වීම හේතුවෙන් මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය හොඳ වනු ඇතැයි බොහෝ දෙනෙකුගේ අදහස විය. වෛද්‍යවරයෙකු සෞඛ්‍ය ඇමතිවරයා වීම හේතුවෙන් නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත වී ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ යනු ඇතැයි බොහෝ දෙනාගේ බලාපොරොත්තුව විය.
එහෙත් අද දවස වනවිට මෙම බලාපොරොත්තු සියල්ලම බිඳ වැටෙමින් තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන කාලයේ රටේ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සඳහා බොහෝ දේ කිරීමට උත්සාහ කළේය.
එහෙත් එවකට පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එම උත්සාහයන් විනාශ දර දැමූ බවට එකල වාර්තා විය. රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා පමණක් වීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වැඩපිළිවෙළවල් කඩාකප්පල් වී ගියා යැයි එදවස අපට සිතිය හැකිවිය.
එහෙත් අද මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනාධිපතිවරයාය. සාමාන්‍ය ජනාධිපතිවරයෙකු නොව විධායක ජනාධිපතිවරයෙකි. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන්නේද ඔහුය. මේ හේතුවෙන් රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් ඔහුට තනි තීන්දු ගත හැකිය.
ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් තනි පෑන් ඉරකින් බොහෝ දේ කිරීමට ඔහුට බලය තිබේ. සෞඛ්‍ය අමාත්‍යවරයා තම වගකීම් කොටස ඉටුකිරීමට කටයුතු නොකරනවා නම් ඔහු ඉවත් කර වෙනත් සුදුසු පුද්ගලයෙකු එම තනතුරට පත් කිරීමටද ජනාධිපතිවරයා සතුව සුවිශේෂී බලයක් ඇත.
එහෙත් රටේ නායකයා ලෙස අදටත් ඔහු එම තීන්දු තීරණවලට යන්නේ නැත. පොදුවේ ගතහොත් රටේ ජනාධිපතිවරයාට තිබෙන ප්‍රධානම ගැටලුව රටේ ජනතාවගේ ප්‍රශ්න නොවේ. ඔහුම අද මුහුණදීමට සිදුව තිබෙන ප්‍රධානම ගැටලුව වන්නේ තමන්ගේ බලය සුරක්ෂිත කරගැනීම සඳහා පක්ෂය ශක්තිමත් කරගැනීමය.
මේ සඳහා කාලය වෙන්කිරීම නිසා රටේ ප්‍රශ්නයක් විසඳීමට ඔහුට කාලයක් නැත. මීට අමතරව රටේ ජනාධිපතිවරයා බොහෝ ප්‍රශ්න දකින්නේ පුවත්පත් තුළිනි. එසේත් නොමැතිනම්, රූපවාහිනියෙනි. මේ නිසා රටේ බරපතළ ගැටලු පිළිබඳ රටේ ජනාධිපතිවරයාට නිවැරදි අදහසක් එන්නේ නැත. රාජපක්ෂ ආණ්ඩුවට කුමන ආකාරයේ චෝදනා එල්ල වුවද ඔවුන් මේ රට තුළ තිබූ 30 අවුරුදු යුද්ධය නවතා දැමීමට කටයුතු කළේය.
මේ සඳහා මහින්ද රාජපක්ෂ මහතාට බලපෑම් කළ එක් කාරණාවක් වී තිබුණේ කැබිතිගොල්ලෑවේදී සිදුවූ බස් බෝම්බයයි. රටේ නායකයා ලෙස එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන්ගේ තර්ජන, ගර්ජන මැද තිස් අවුරුදු යුද්ධයේ සිදුවීම සියසින් දැක බලාගැනීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේය.
මාවිල්ලාරු සොරොව්ව වසාදැමීම හේතුවෙන් ගොවි ජනතාව හා සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වූ ආකාරය ඔහු සියැසින්ම දුටුවේය. මේ නිසා තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට හැකිවිය. එහෙත් රට තුළ ශීඝ්‍ර‘යෙන් පැතිර යන ඩෙංගු රෝගය හේතුවෙන් ජීවිත අහිමි වන පුද්ගලයන් හා රෝගී ජනතාව රෝගය සුවකර ගැනීමට ගන්නා උත්සාහයන් පිළිබඳව වර්තමාන ආණ්ඩුව දකිනවා දැයි සැක සහිතය.
ජනාධිපතිවරයා හැරුණු කොට රටේ ජනතාවගේ සෞඛ්‍යයට වගකිව යුතු අනෙක් පුද්ගලයා වන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාය. බොහෝ අමාත්‍යාංශවලට අදාළ විෂය පිළිබඳව කිසිවක් නොදන්නා පුද්ගලයන් අමාත්‍යවරුන් ලෙස පත්වෙද්දී සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වූයේ සෞඛ්‍ය පිළිබඳව දැනුමක් ඇති වෛද්‍යවරයෙකි.
සෞඛ්‍ය අමාත්‍යාංශයට වෛද්‍යවරයෙකු පත්වීම විශාල ජයග්‍රහණයක් ලෙස සැලකූ පිරිස්ද ජනතාව අතර විය.
එහෙත් අවාසනාවන්ත කරුණ වී ඇත්තේ වෛද්‍යවරයෙකු රටේ සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වී සිටියදීත් දින 14ක්, 15ක් ජීවත්වන මදුරුවෙකු මිනිස් ජීවිත එකදෙක බිලි ගනිමින් තිබීමය. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වර්තමානය වනවිට ඔහුට තිබෙන බරපතළම ප්රශ්නය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ සිහිනය සහ පවතින වෛද්‍ය විද්‍යාල නීතිගත කිරීම පිළිබඳ ගැටලුවය.
රටේ සෞඛ්‍යයට කුමක් සිදුවුවද සෞඛ්‍ය අමාත්‍යවරයා මේ දිනවල සිය දිවි දෙවැනි කොට පෙනී සිටින්නේ සයිටම් ප්රශ්නය වෙනුවෙනි. මේ හේතුවෙන් රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින සෞඛ්‍ය අමාත්‍යවරයෙකු රටට නැති තරම්ය.
ඩෙංගුවලින්, එච්1-එන්1වලින් කෙතරම් රෝගී ජීවිත බිලිගත්තද ජනතාව කොතරම් රෝගීන් වුවද ඔහුට වගේවගක් නොමැත.
වසංගතයක් ලෙස පැතිර යන ඩෙංගු රෝගය මර්දනය කිරීමේ ප්‍රධාන වගකීම හා රෝහල් ගතවන රෝගීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වගකීමකි. එහෙත් රටේ අවාසනාවට මහජන මුදලින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු රොත්ත බුරුත්තම නඩත්තු කළද, ඩෙංගු රෝගය පරීක්ෂා කිරීමට අවශ්‍ය එකදු යන්ත්රයක්වත් මෙරට කිසිදු රෝහලක නොමැත.
ඩෙංගු රෝගය හඳුනා ගැනීමට පහසුකම් ලබානොදීම යනු ඩෙංගුවලින් ජනතාව බේරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇති උත්සාහයයේ පෙන්නුම් කිරීමකි. මේ නිසා තමන්ට ඩෙංගු රෝගය වැලඳී තිබේද යන්න සොයා ගැනීමට ජනතාවට තම පෞද්ගලික මුදලින් මුදල් වියදම් කිරීමට සිදුව තිබේ. මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා ලැජ්ජාවට පත්විය යුතුය.
ඕනෑදේටත්, එපාදේටත් කෑමොර දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය කාලයේදීම කෑමොර දුන්නේ සියලුම වෛද්‍ය පරීක්ෂණ රෝහල් තුළින් සිදුකරන බවටය. එසේ පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා ඩෙංගු රෝගීන්ගේ පහසුව සඳහා බවට පවසමින් පෞද්ගලික අංශයෙන් සිදුකරන ලේ පරීක්ෂණ කටයුතුවලට උපරිම මිලක් නියම කළේය. උපරිම මිලක් නියම කළද එහි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් දහසකි. එම මුදල වතු කම්කරුවෙකුගේ දින දෙකක වැටුපකි. එය රටේ කම්කරුවෙකුගේ දෛනික වැටුපය.
එහෙත් සෞඛ්‍ය අමාත්‍යවරයා සිතා සිටින්නේ රුපියල් දහසක් යනු සුළු මුදලක් ලෙසටය. එදාවේල සොයා ගැනීමට කුලී වැඩක් කරන ජනතාවට මෙය විශාල මුදලකි. එහෙත් මේ රටේ පයගසා තිබෙන දේශපාලඥයන්ට මේ පිළිබඳව තේරුම් ගැනීමට අබ ඇටයක තරම් වත් මොළයක් නොමැත.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට රෝහල්වලට අදාළ පරීක්ෂණ යන්ත්‍ර ලබාදීමට කටයුතු කරන්නේ නම්, එක් පරීක්ෂණයක් රුපියල් 400කට අඩු වියදමකින් සිදුකළ හැකිය. එහෙත් රජයේ රෝහල්වලින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකළහොත් පෞද්ගලික අංශයෙන් ලැබෙන කොමිස් මුදල සාක්කුවට නොලැබී යන හෙයින් ඒ ආකාරයේ හොඳ වැඩක් කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් වන්නේ නැත.
ඩෙංගු පරීක්ෂා කිරීමකදී එක් ලේ පරීක්ෂාවකින් රෝගය හඳුනා ගැනීමට නොහැකි වන අතර, මේ හේතුවෙන් පරීක්ෂණ වාර කිහිපයක් සිදුකර ගැනීමට සිදුව තිබේ.
ඒ හරහා ජනතාවට විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇත. මීට අමතරව රෝගී වන පුද්ගලයෙකු රෝගී තත්ත්වය සුවකර ගැනීම සඳහා ඇඳ විවේකය ලබාගැනීම අනිවාර්යය කාරණයකි.
එහෙත් රෝහල් පහසුකම් දියුණු නොකිරීම හේතුවෙන් අඩි දෙකක්, දෙකහමාරක් පළල ඇඳක් තුළ රෝගීන් දෙදෙනෙකුට, තිදෙනෙකුට ප්‍රතිකාර ගැනීමට සිදුව තිබේ.
මීට අමතරව රෝහල් කොරිඩෝවල හා පුටුවල රැඳී සිටිමින් ප්‍රතිකාර ලබා ගැනීමටද සිදුව ඇත. ඩෙංගු රෝගය වැලඳුණු පසු රෝගී තත්ත්වය සුවපත් වන තුරු පානය කරන ජලය ප්‍රමාණය හා පිටකරන මුත්‍රා ප්‍රමාණය ගණනය කළ යුතුය. මෙම කටයුතු රෝගියාට තනිවම කර ගැනීමට නොහැකි වන අතර, මේ නිසා ඔහුගේ කටයුතු සිදුකිරීමට තවත් පුද්ගලයෙකුට රෝහල්ගත වීමට සිදුව තිබේ.
මේ හරහා රටේ ආර්ථිකයටත් විශාල බලපෑම් එල්ල වී තිබේ. ඩෙංගු රෝගය අධිවසංගත තත්ත්වයක් දක්වා ගමන් කරමින් සිටින හෙයින් ඉදිරියේදී මේ රටට සංචාරකයන් පැමිණීමද අවිනිශ්චිත වී තිබේ.
මේ තරම් දරුණු තත්ත්වයක් රටට උදාවී තිබියදීත් ඩෙංගු මර්දනය කිරීමට ජාතික වැඩපිළිවෙළක් සකස් නොකර, පාසල් ශිෂ්‍යාවන්ට දිගු කලිසම් අන්දවමින් හා හෙද නිලධාරිනියන්ට දිගු කලිසම් අන්දවමින් ආණ්ඩුව %ගොන්පාට්^ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් තිබේ.
මීට අමතරව ඩෙංගු පැතිර යෑම කැළි කසළ හරහා සිදුවන බව පවසමින් අවධිමත් ලෙස කටයුතු කරන නිවෙස් හිමියන්ට ව්‍යාපාරික ස්ථානවලට දඩ පිට දඩ ගසමින් සිටියි.
ඩෙංගු පැතිර යෑමට එක් හේතුවක් ලෙස කැළි කසළ ප්රශ්නය පෙන්වා දිය හැකිය. එහෙත් පරිසරය සුද්ධ පවිත්‍ර කිරීමෙන් පමණක් ඩෙංගු උවදුර මර්දනය කළ නොහැකිය. මේ හේතුවෙන් සමස්ත පරිසරය පුරාම පැතිරී පවතින ඩෙංගු මදුරු කීටයන් මදුරුවන් විනාශ කිරීමේ විද්‍යාත්මක වැඩපිළිවෙළක්ද රට තුළ ක්‍රියාත්මක විය යුතුය.
මෙම කටයුත්ත ජනතාවට පමණක් සිදුකළ හැකි කටයුත්තක්ද නොවේ. මේ නිසා මුලින්ම රට තුළ ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුය. එසේ නොමැති නම් මැලේරියා වසංගතය තුරන් කිරීමට සකස් කළ මැලේරියා මර්දන ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම ඩෙංගු හා මැලේරියා මර්දන ව්‍යාපාරයක් බවට පත් කළ යුතුය.
එහෙත් ඩෙංගු මර්දනය ගැන රටේ ජනාධිපතිවරයාගේ සිට අගමැති, මැති ඇමතිවරුන් දක්වා සියලුම දෙනාම කයිවාරු ගැසුවද මෙවැනි වැඩපිළිවෙළක් සකස් කර ඒ සඳහා පහසුකම් ලබාදීමක් පිළිබඳ සිහිනයකින්වත් සිතන්නේ නැත.
පාලකයන්ට හා දේශපාලඥයන්ට මෙවැනි උවමනාවක් ඇති නොවන්නේ ඔවුන්ට උණක්, සෙම්ප්‍රතිශ්‍යාවක් හැදුණද පිට රටකට ගොස් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ජනතා මුදල් වෙන්වී තිබෙන බැවිනි. මීට අමතරව ඔවුන්ට ඩෙංගු උවදුරෙන් ආරක්ෂා වීමට අවශ්‍ය වැඩකටයුතු සිදුකිරීමට පවා වෙන්කර තිබෙන්නේ ජනතා මුදල්ය.
මේ නිසා රටේ මිනිසුන් ඩෙංගු රෝගය වැලඳී එකාපිට එකා මැරී වැටුනත් මේ රටේ දේශපාලඥයන්ට වගේ වගක් නැත.
දේශපාලඥයන්ගේ මේ නොසැලකිල්ල හේතුවෙන් දිස්ත්‍රික්ක හතර පහකට සීමා වී තිබූ ඩෙංගු බිය අද වනවිට සමස්ත රටේම ජනතාවට ඇති වී තිබේ.
වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ දැඩි කැපකිරීම නොවන්නට අද වනවිට ඩෙංගු රෝගය නිසා දහස් ගණනකට මියයෑමට සිදුවනවා නොඅනුමානය. දේශපාලඥයන්ට නැති ජනතා ලෙංගතුකමක් මේ රටේ බොහෝ නිලධාරීන්ට තිබෙන නිසා රෝගය මේ ආකාරයට පාලනය කර ගැනීමටත් හැකිව තිබේ. එහෙත් යහපාලනය ගැන මහ ඉහළින් කතා කරන රටේ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන බවට කෑමොර දෙන කිසිදු දේශපාලඥයෙකු ළඟ මෙම ගුණාංග නොමැත.
මේ වසරේ ජනවාරි මාසය තුළදී ඩෙංගු රෝගීන් 10927ක්, පෙබරවාරි මාසය තුළදී රෝගීන් 8722ක්, මාර්තු මාසයේදී රෝගීන් 13529ක්, අප්‍රේල් මාසයේදී රෝගීන් 12,498ක්, මැයි මාසයේදී රෝගීන් 15,831ක්, ජුනි මාසයේදී රෝගීන් 24,515ක් හා මේ මාසයේ ගෙවී ගිය දින 25ක කාලය තුළදී රෝගීන් 19071ක් වාර්තා වී තිබේ.
පසුගිය වසර තුළදීම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ 55550ක් වන අතර, 2015 වසරේදී එම ප්‍රමාණය 29777කි.
පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට ජූලි 31 වැනිදා දක්වා වාර්තා වී තිබෙන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය 34529ක් වන අතර, එම වසරේ ජූලි මාසය තුළ වාර්තා වී තිබෙන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය 10715 කි. එහෙත් මේ වසරේ ජූලි මාසයේ පළමු දින 25 තුළ ඩෙංගු රෝගීන් 19071ක් වාර්තා වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

