අපේ රටේ ඩෙංගු පිළිබඳ සැබෑ තත්ත්වය හා ජය ගත යුතු අභියෝග
ඩෙංගු රෝගය මේ වන විට මුළු මහත් රටේම අවධානය දිනාගෙන ඇති ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම දෛනිකව ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය වැඩිවෙමින් පැවතීමත්, ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජයේ රෝහල් තුළ ඇති පහසුකම් ප්‍රමාණවත් නොවීමත් හේතුවෙන් මෙම තත්ත්වය රටක් වශයෙන් මුහුණ දීමට සිදුවී ඇති අභියෝගයක් ලෙස විවිධ බලපෑම් ඇතිකරමින් තිබේ.
මෙම තත්ත්වය මෑතකාලීන ඉතිහාසය තුළ මෙරටට මුහුණ පෑමට සිදුවූ බරපතළම සෞඛ්‍ය ගැටලුව වශයෙන්ද පෙන්වාදිය හැකි බැවින්, මේ එම ඩෙංගු රෝගයේ වර්තමාන තත්ත්වයද ඇතුළුව ඒ සම්බන්ධ ප්‍රවේශ ගණනාවක් ඇසුරින් තබන සටහනකි.
ඩෙංගු රෝගය පිළිබඳව මෙරට තුළ පළමු වරට විද්‍යාත්මකව තහවුරු වන්නේ 1962 වසරේදීය. එවිට එනම් 1960 දශකය මුල් භාගයේදී ඩෙංගු රෝගය වාර්තා වූ රටවල් ගණන 9ක් වූ අතර, එහිදී වාර්ෂිකව රෝගීන් 15,000ක පමණ ප්‍රමාණයක් වාර්තා විය.
එහෙත් අද වන විට ලෝකයේ රටවල් 128ක් පුරා පුද්ගලයන් බිලියන 3.9කගේ ජීවිත ඩෙංගු වැලඳීමේ අවදානමට ලක්වී ඇත. සංඛ්‍යාත්මකව සැලකීමේදී එම ප්‍රමාණය බිලියන 7.5ක් වන ලෝක ජනගහනයෙන් අඩකටත් වඩා වැඩි ප්රමාණයකි. එබැවින් මෙම ඩෙංගු රෝගය ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයකට බලපෑමක් වෙමින් පවතින බව පැවසිය යුතුය.
මෙම වසරේ ජූලි මාසය වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් යැයි සැක කරන රෝගීන් ප්‍රමාණය 93,322ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මෙම වසරේ ගතවූ මාස හත තුළ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ජූනි මාසයේදී වන අතර, එම ප්‍රමාණය 22601කි.
වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් වැඩිම ප්‍රමාණය බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, එය ප්‍රතිශතයක් වශයෙන් 42.02%කි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ දිස්ත්‍රික්කය කොළඹ වන අතර, එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 20,472 කි.
කෙසේ වුවත් සංඛ්‍යාත්මකව මෙතරම් ප්‍රමාණයක් ඩෙංගු රෝගීන් වාර්තා වුවද එයට සාපේක්ෂව වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව අවම අගයක් ගනී. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන පරිදි මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 269 ක් වේ. එයින් 136 ක් බස්නාහිර පළාතෙන්ද, 29 ක් දකුණු පළාතෙන්ද, 27 ක් සබරගමුව පළාතෙන්ද, 24 ක් නැගෙනහිර පළාතෙන් හා 20 ක් මධ්‍යම පළාතෙන්ද වාර්තා වී තිබේ.
ඩෙංගු රෝගය පිළිබඳව ජනතාව කොතෙක් දැනුවත් කළද ඔවුන් ඒ සඳහා දක්වන උනන්දුව ප්‍රමාණවත් නොවන බව ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා සක්‍රීයව දායකත්වය සපයන රාජ්‍ය නිලධාරීන් වෙතින් චෝදනාවක්ද එල්ල වේ.
විශේෂයෙන්ම ග්‍රාමසේවා වසම් මට්ටමෙන් ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා සහභාගී වන නිලධාරීන් කිහිපදෙනකුගෙන් මේ පිළිබඳ විමසා සිටීමේදී ඔවුන් පැවසුවේ බොහෝ පිරිසක් තවමත් ඩෙංගු මර්දනය සඳහා දක්වන දායකත්වය ප්‍රමාණවත් නොවන බවයි.
එම නිසා රාජ්‍ය නිලධාරීන් කෙතරම් දායකත්වය ලබාදුන්නද ජනතාව එම උපදෙස් පිළිපදින්නේ නොමැති නම් ඩෙංගු මර්දනය කිරීම අසීරු බවද එම නිලධාරීන් ප්‍රකාශ කර සිටියි.
තවද ඩෙංගු මර්දන වැඩසටහන්වලදී හෙළිදරව් වූ කරුණු අනුව ජනතාව ඩෙංගු රෝගයෙන් මුදවාගැනීම සඳහා කටයුතු කරන නිලධාරීන්ගේ නොසැලකිලිමත්කමද ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම සඳහා බලපෑ හේතු අතර වේ.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ එක් ප්‍රධාන දිස්ත්‍රික් රෝහලක් තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වී තිබුණේ රෝහලේ වැසිකිළියක් තුළ ජලය රැස්කර තබාගන්නා වැසිකිළි ටැංකියේ බෝවූ මදුරු කීටයන්ගෙනි.
ඒ පිළිබඳව එම රෝහලේ කිසිවෙකුගේ අවධානය යොමු නොවී තිබූණි. එලෙස භාවිතයට නොගන්නා වැසිකිළි ටැංකි තුළ ජලය එක්රැස් වීම රෝහල් වලට මෙන්ම නිවෙස් වලටද පොදු කාරණයකි.
එසේම ඇතැම් වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කමද මෙම රෝගයේ ව්‍යාප්තියට බලපා ඇතැයි අනාවරණය කරගෙන තිබුණි. එක් වෛද්‍යවරයෙක් විසින් මිලදී ගෙන තිබූ ඉඩමක් පාළුවට යෑමට ඉඩහැර තිබීම හේතුවෙන් එම ඉඩම මදුරු කීටයන්ගේ රජදහනක් බවට පත්ව තිබුණි.
එම නොසැලකිලිමත්කම එම වෛද්‍යවරයාට පමණක් ආදාළ නොවන අතර, ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු පැතිරීම වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීමේ වගකීමක් පවතී.
තවද මහජනතාව විසින් උනන්දුවක් දක්වා නොමැති ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම සඳහා හේතු වී ඇති අවස්ථා කිහිපයක් පිළිබඳවද සඳහන් කිරීම වැදගත්ය.
එනම් ශීතකරණයේ පසුපස ජලය එක්රැස් වීම සඳහා ඇති කොටස, වැහි පිහිලි, රම්පේ පඳුරු සහ අලංකරණය සඳහා සිටුවා ඇති ගස් වර්ග මෙන්ම නිවසින් පිටත භාවිතයට නොගන්නා වැසිකිළි තුළද මදුරු කීටයන් බෝවීම සඳහා අවශ්‍ය පහසුකම් නිර්මාණය වීමට ඉඩ තිබේ. එවැනි ස්ථාන ගණනාවකින් ඩෙංගු මර්දන වැඩසටහන් තුළදී මදුරු කීටයන් සොයාගෙන තිබුණි.
එවැනි ඩෙංගු තොටිලි විනාශ කිරීමට මෙන්ම උගුල් ඇටවීම නමින් හඳුන්වන ක්‍රමවේදයක් අනුගමනය කිරීමටද ඩෙංගු මර්දන වැඩසටහන් තුළදී උපදෙස් දෙනු ලැබේ. විශේෂයෙන්ම මෙම උගුල් ඇටවීම නැමති ක්‍රමය තුළදී මදුරුවන්ට කීටයන් බිහිකිරීම සඳහා ඉඩකඩ සලසා දී දින තුනකට පසු එම කීටයන් විනාශ කිරීමට කටයුතු කළයුතු වේ.
අපේ රටේ මෙම ඩෙංගු මර්දන වැඩසටහන් වල තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී ලෝකයේ වෙනත් රටවල් ඩෙංගු උවදුර ජයගැනීම සඳහා කටයුතු කළ ආකාරය පිළිබඳවද අවධානය යොමු කිරීම වැදගත්ය. ඒ අනුව ඩෙංගු රෝගය සැලකිය යුතු මට්ටමකින් ජයගත් කියුබාව ඒ සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව මෙසේ අවධානය යොමු කළ හැකිය.
මෑත ඉතිහාසයේදී කියුබාව තුළ මුල් වරට ඩෙංගු රෝගය වාර්තා වූයේ 1977 -1978 වර්ෂවලදීය. එම වසර වලදී එරටේ එම රෝගයට ගොදුරු වූ ප්‍රමාණය 500,000 ක් පමණ විය. මෙම කාලයේදී කියුබාව සම්බාධක වලටද මුහුණ දී සිටි රටක් වුවත් ඔවුන්ගේ කැපවීම තුළ වසර කිහිපයකින් ඩෙංගු තුරන් කිරීමට ඔවුන්ට හැකි විය.
ඒ අනුව රෝහල්වලට අමතරව පාසල් පවා තාවකාලික රෝහල් බවට පත්කර රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රජය ක්‍රියා කළ අතර, රෝගීන් හඳුනාගැනීමට හා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශන සකසා ඒ අනුව කටයුතු කිරීමට පහසුකම් සැලසීය. විශේෂයෙන්ම රෝගීන් සොයා රෝහල්වලට ඇතුළත් කළ පසු ඔවුන්ව මදුරුවන්ගේ දෂ්ඨනවලට ලක් නොවන ලෙස තබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලද්දේ ඔවුන් වෙතින් මදුරුවන් මාර්ගයෙන් රෝගය වෙනත් පුද්ගලයන්ට පැතිරීම වැළැක්වීම පිණිසය.
එසේ වසංගත තත්ත්වය පාලනය කළ පසු ඩෙංගු රෝගයේ වාහකයා වන මදුරුවන් මර්දනය සඳහා කටයුතු කිරීමටද කියුබාව ක්‍රියා කළ අතර, මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට සහ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමටද කටයුතු කළේය. ඩෙංගු මර්දනය සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීම තුළින් නැවත ඩෙංගු වලට හිස එසවීමට එරෙහිව කටයුතු කරන ලදී.
එසේම නැවතත් ඩෙංගු රෝගය හිස එසවුවහොත් එම තත්ත්වය මුලින්ම හඳුනාගැනීමේ අරමුණ සහිතව සියලු උණ රෝගීන් සම්බන්ධයෙන් අවධානය යොමුකරන ආවේක්ෂණ(Surveillance) ක්‍රමවේදයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටද කටයුතු කරන ලදී.
මෙසේ කියුබාව ඩෙංගු රෝගය මැඬලීම සඳහා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් 1977 -1978 වර්ෂවල පැතිරුණු ඩෙංගු වසංගතයේ අවසාන රෝගියා වාර්තා වූයේ 1981 වසරේ ඔක්තෝබර් මාසයේදීය. තවද අඛණ්ඩ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඇමරිකානු කලාපයේ වෙනත් රටවල් 29ක් තුළ ඩෙංගු රෝගය පැතිර යමින් තිබියදී 1981 වසරේ සිට 1997 තෙක් වසර 16 ක් තුළ කියුබාවෙන් කිසිදු ඩෙංගු රෝගියෙක් වාර්තා නොවුණි.
කියුබාව මෙසේ ඩෙංගු මැඬලීම සඳහා කටයුතු කළ ආකාරය විමසීමේදී අපට අවධානය යොමු කළ හැකි කරුණු කිහිපයක් වේ. ඉන් එක් වැදගත් කරුණක් වන්නේ නිවැරදි හා ශක්තිමත් දේශපාලන නායකත්වයක් පැවතීමය. කියුබාවේ එම තත්ත්වය මැනවින් දැකිය හැකි විය.
එමෙන්ම දීර්ඝකාලීනව ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හෙවත් විශේෂයෙන්ම ඩෙංගු රෝගය නොමැති කාල වලදීත් එම වැඩසටහන් කියුබාවේ ක්‍රියාත්මක විය. ඩෙංගු රෝගය සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගැනීමට හා තීරණ ගැනීමට මෙන්ම පාලනය සඳහා එක් මධ්‍යගත මධ්‍යස්ථානයක් ඔස්සේ කටයුතු කිරීමද කියුබාවේ දක්නට ලැබුණි.
කියුබාවේ ක්‍රියාත්මක කළ මෙවැනි තත්ත්ව හා සැසඳීමේදී මෙරට තුළ දෛනිකව ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට හේතු වන තත්ත්ව පාලනය කළ හැකි ක්‍රියාමාර්ග ගණනාවක්ම ඇති බව පැවසිය හැකිය. විශේෂයෙන්ම මේ දිනවල රෝගීන් රජයේ රෝහල් තුළ අවම පහසුකම්වත් නොලබමින් එක ඇඳක අවම වශයෙන් රෝගීන් දෙදෙනෙකුවත් සිටිමින් ප්‍රතිකාර ලබයි.
ඇතැම් රෝහල් තුළ තවත් බොහෝ රෝගීන් බිම පැදුරුවල හා රෝහලේ බංකු ආදියෙහි හිඳිමින් ප්‍රතිකාර ගැනීමට කටයුතු කිරීම තුළ එක් රෝගියෙකුගෙන් රෝගය තවත් පැතිරීමට ඇති ප්‍රවණතාව ඉහළ ගොස් තිබේ. ඒ අතර රෝගීන් බිම නිදාගන්නා බැවින් හෙදියන්ගේ නිලඇඳුම වන ගවුම වෙනුවට ඒ සඳහා කලිසම් ඇඳිය යුතු බවට වන අදහසක් සම්බන්ධයෙන්ද පසුගිය දිනවල අසන්නට ලැබුණි.
ඒ අනුව ඩෙංගු රෝගය සම්බන්ධයෙන් වර්තමානයේ මෙරට තුළ උද්ගත වී ඇති තත්ත්වය තුළ ඒ සඳහා ක්‍රියාත්මක වීමේ ප්‍රමුඛතම වගකීම මහජනතාව සතු වන බව නැවතත් සිහිපත් කළ යුතුය. මහජනතාව ඩෙංගු මර්දනය සඳහා යොමු කරවීම සඳහා ග්‍රාමීය මට්ටමෙන් වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එහිදී ලබාදෙන උපදෙස් අනුව කටයුතු කළ යුතුව ඇත.
එසේම රජයක් වශයෙන් සියලුම කාර්යයන් නිසි නායකත්වයක් සහිතව මෙහෙයවීම මෙන්ම රෝහල්වල පහසුකම් වැඩි කිරීමට හා රෝහල් වල සිටින රෝගීන්ගෙන් තවදුරටත් රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සිදුකළ යුතුය.
තවද ඩෙංගු මර්දන වැඩසටහන් ඩෙංගු රෝගය උත්සන්න වූ කාල වලදී පමණක් ක්‍රියාත්මක නොකර, ඒවා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත ප්‍රතිපත්තියක් හා සැලැස්මක් සකස් කර ක්‍රියාවට නැංවීමද කළ යුතුය. එවිට ඩෙංගු රෝගය සමග සටන් කර ජයගත් රාජ්‍යයන් මෙන් මෙරටින්ද ඩෙංගු රෝගය තුරන් කිරීම අපහසු නොවනු ඇත.
සුරෝෂන ඉරංග
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

