10000 වැනි කඩුල්ල මුවාකිරීම
ක්‍රිකට් ක්‍රීඩාව ආශ්චර්යවත් සිද්ධීන්ගෙන් හෙබි මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙස අතීතයේ පටන් ප්‍රසිද්ධියට පත්ව තිබේ. එය තවත් චිත්තාකර්ෂණීය වූයේ කෙරී පැකර් නම් ධන කුවේරයා දිවා රාත්‍රී තරග, වෛවර්ණ ඇඳුම් හා සුදු පැහැති පන්දුව හඳුන්වාදීමත් සමගිනි. එතැන් පටන් ක්‍රිකට් ක්‍රීඩාව තුළ තරගකාරීත්වය දැඩිවූ අතර, අද වනවිට රෝස පැහැති පන්දුව, දිවාරාත්‍රී ටෙස්ට් තරග මෙන්ම විනිසුරු තීරණ ක්‍රමවේදය තුළින් ක්‍රිකට් හා තාක්ෂණය නූතනත්වයට ගැළපෙන පරිදි ව්‍යූහගතව තිබීම තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ අසිරිය ලොව පුරා ක්‍රිකට්ලෝලීන්ට දැකගැනීමේ හැකියාව ලැබී තිබේ.
ඒ නිසාම ක්‍රිකට්වල දැවීයෑම්, පිතිකරණ දක්ෂතා, පන්දු යැවීමේ දක්ෂතා මෙන්ම වාර්තා පිහිටුවීමද දිනෙන් දින අලුත් වන වටපිටාවක, කඩුල්ල මුවාකිරීමේ වරද (Leg Before Wicket – LBW) සම්බන්ධයෙන් ක්‍රිකට් දැවීයාම්හි නවතම වාර්තාවක් ඉදිරිපත්ව තිබීම සුවිශේෂීය. මෙය නිකම්ම නිකම් වාර්තාවක් නොව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සංඛ්‍යාත්මකව සිදුවූ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමේ වාර්තාවකි. එනම් එදා මෙදාතුර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිදුවූ 10,000 වැනි කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවීයෑම ඊයේ (28දා) ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරගයේදී සිදුවීමයි. එහිදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවීගිය 10,000 වැනි අවාසනාවන්ත ක්‍රීඩකයා බවට පත්වීමට දකුණු අප්‍රිකානු පිතිකරු හෂීම් අම්ලාට සිදුවිය. ඔහු මේ වනවිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව සමග තරගයේදී නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ ලකුණු 48කට දැවී ගියේය.
ක්‍රිකට් ක්‍රීඩාවේ මූලබීජය ලෙස සැලකෙන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවයි. ටෙස්ට් ක්‍රිකට්වල පළමු කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවීයෑම වාර්තා වන්නේ 1877 වසරේ මාර්තු මස 15 වැනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැති එංගලන්ත - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගයේදීය. එහිදී එංගලන්ත ක්‍රීඩක හැරී ජප් ලකුණු 63ක් ලබා සිටියදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී යන්නේ, එලෙස දැවී ගිය පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වෙමිනි. ඒ මීට අවුරුදු 139කට පෙරය.
පසුව කඩුල්ල මුවාකිරීමේ වරදෙන් දැවීගිය ක්‍රීඩකයන් අතර 100 වැනි ක්‍රීඩකයා බවට පත්ව සිටිනුයේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ග්‍රෙගරිය. ඔහු 1899 වසරේ ජූලි මස 17 වැනිදා එංගලන්තයට එරෙහි තරගයකදී ලකුණු 05කට දැවීගොස් තිබේ. කඩුල්ල මුවාකිරීමේ වාර්තාවලට අනුව එහි 1000 වැනි ස්ථානය හිමිකර ගෙන සිටිනුයේ තවත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකි. ඒ ඩොන් ටැලොන්ය. ඔහු 1950 වසරේ දෙසැම්බර් මස 22 වැනිදා එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු බින්දුවකට දැවී ගොස් තිබේ.
2000 වැනි කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවීගිය ක්‍රීඩකයා ලෙස සනිටුහන් වන්නේ එංගලන්ත ක්‍රීඩක කොලින් කවුඩ්රිය. ඔහු 1965 වසරේ ජූලි මස 22 වැනිදා ඓතිහාසික ලෝඩ්ස් පිටියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 37කට දැවී ගොස් තිබේ. පාකිස්තානයේ වසීම් බාරි 1980 වසරේ ජනවාරි මස 15 වැනිදා ඉන්දියාවට එරෙහිව තරගයකදී අවාසනාවන්ත ලෙස කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී යන්නේ ලකුණු 15ක් ලබා සිටියදීය. එම දැවීයෑම සැලකෙන්නේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගිය 3,000 වැනි දැවී යෑම ලෙසිනි.
ශ්‍රී ලංකාවෙ මඅලින්ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ ක්‍රීඩකයා - දුලිප් මෙන්ඩිස්
1982 වසරේ ටෙස්ට් වරම් හිමිකර ගත් ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම ලේඛනයට පළමුවෙන්ම සිය නාමය එක්කර ගෙන ඇත්තේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන දුලිප් මෙන්ඩිස්ය. ඔහු 1982 වසරේ පෙබරවාරි මස 17 වැනිදා කොළඹ පී.සරා ක්‍රීඩාංගණයේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 17ක් රැස්කර ගෙන සිටියදී ඉයන් බොතම්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව තිබේ. ඔහු ලොව 3,262 වැනි කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවූ ක්‍රීඩකයා ලෙසද සැලකේ.
කඩුල්ල මුවා කිරිම් 10000ට හසුවූ හෂීම් අම්ලා
මෙම සටහනට අනුව 4,000 වැනි ක්‍රීඩකයා ලෙස එංගලන්තයේ ඇලන් ලෑම්බ්ද (1988 ජූනි මස 02 වැනිදා බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව) 5,000 වැනි ක්‍රීඩකයා ලෙස සිම්බාබ්වේහි බ්‍රයන් ස්ට්‍රෑන්ග් ද (1995 පෙබරවාරි මස 07 වැනිදා පාකිස්තානයට එරෙහිව) 6,000 වැනි ක්‍රීඩකයා ලෙස සිම්බාබ්වෙහි හීත් ස්ට්රීක්ද (2000 මාර්තු මස 16 වැනිදා බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව) 7,000 වැනි ක්‍රීඩකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව්හි බ්‍රයන් ලාරාද (2004 ජනවාරි මස 16 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව) 8,000 වැනි ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ හර්බජාන් සිං ද (2008 අප්‍රේල් මස 03 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව) 9,000 වැනි ක්‍රීඩකයා ලෙස දකුණු අප්‍රිකාවේ ජැක් රුඩොල්ෆ් ද (2012 අගෝස්තු මස 02 වැනිදා එංගලන්තයට එරෙහිව) කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවීගොස් තිබේ.
කඩුල්ල මුවාකිරීම් 10000 දවාගත් ශ්‍රී ලංකාවේ ණුවන් ප්‍රදීප්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

