හෙළ සිනමාවේ අකීකරු තාරුණ්‍යය කලං එළි දකී
අමරසිරි කලංසූරිය ඔහුගේ නමයි. හැත්තෑව සහ අසූව දශකයේ හෙළ සිනමාවේ තාරුණ්‍යයේ සංකේතය ලෙස බුහුටි ලෙස නළුකමේ තරු ලකුණක් වූ ඔහු අද වියෙන් හැත්තෑ තුන් හැවිරිදිය. කලං යන ආදරණීය නාමයෙන් ජනප්‍රියත්වයට පත් මේ අව්‍යාජ නළුවාගේ ජීවිත කතාව ඇතුළත් ග්‍රන්ථය සුජිත් ලක්මාල් වීරසේකර විසින් සංස්කරණය කොට, කලංගේ මිතුරන් විසින් රචිත ලිපි සරණියක්ද සමගින් අද ( 20දා) සවස 6.00 ට ජාත්‍යන්තර පොත් සල්පිල පැවැත්වෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී එළිදැක්වීමට දැන් සියලු කටයුතු සූදානම්.
හංසිකා සූරියබණ්ඩාර සහ එරන්දි ඒකනායක ඥාති දියණියන් දෙදෙනාගේ සංවිධාන මූලිකත්වයෙන් සම්පාදනය වන මෙම උලෙළට නිමිත්ත වන පොත කලංගේ ආදරණීය බිරිඳ අජන්තා කලංසූරියගේ ප්රකාශනයක් ලෙස එළිදකිනු ලැබෙයි. ඔවුන් දෙදෙනාගේ දරුවන් වන දුමින්ද පුතා, මධුමතී හා වින්ද්‍යා දියණියන්ද, ජානකී ලේලිය හා වෛද්‍ය ධම්මික සේදර බෑණනුවන්ද මේ සංවිධාන කටයුතු පසුබිමේ සිටී.
තම නළු දිවියේ ආරම්භය පිළිබඳව අදහස් දක්වමින් අද සමග සංවාදයට එක්වන දයාබර කලං.....
"මහනුවර මල්ලිකා ස්ටූඩියෝවේ මම වැඩ කරන කාලේ කාලය ඉකුත් වූ කළු සුදු දළ සේයාපට කෑන්ස් වගයක් කුණු ගොඩට විසි කරන්න කියලා ස්ටුඩියෝවේ මුදලාලි මට බාර දුන්නා. ඒ කාලේ රංජිත් පෙරේරා හා බර්ටි ගුණසේකර වගේ ඡායාරූප ශිල්පීන් මේ ස්ටූඩියෝවට එනවා. රංජිත් පෙරේරාට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ උණක් තිබුණා. මම රංජිත් පෙරේරාට දුන්න ඒ දළ සේයාපට වලින් හදපු චිත්‍රපටයේ රංජිත් මටත් සුළු චරිතයක් දුන්නා. බර්ටි ගුණසේකර තිර නාටකය ලිව්වා. මේකෙ රඟපෑමට ඉතාම ලස්සන යොවුන් නිළියක් ආවා.
අධ්‍යක්ෂක රංජිත් පෙරේරා මට රඟපෑමට දුන්නේ තනියම කල්පනා කරමින් ඉන්න දර්ශනවැලක්. චිත්‍රපටයේ ඒ මම හිතන දර්ශනයේ රාමු හැටියට ඒ සුන්දර ගෑනු ළමයා වෙනම රූපගත කරලා තිබුණා. මට ඒ යුවතිය හමුවීමට දුන්නෙම නැහැ. චිත්‍රපටයෙන් පස්සෙ රංජිත් පෙරේරා ඒ යුවතිය එක්ක විවාහ වුණා. ඇය අනෝමා වත්තලදෙණිය. රැයත් දවාලත් චිත්‍රපටය රූගත කරන්න පටන් ගන්නකොටම රංජිත් පෙරේරාගේ ඔළුවෙ ඇය ගැන අදහසක් තිබිලා තියෙනවා. එය ප්‍රදර්ශනය වුණේ 1969 අවුරුද්දේ.
පසුව මම සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාවට සම්බන්ධ වුණා. වසර හතරහමාරක යුද හමුදා සොල්දාදුවෙක් ලෙස ගත කළ දිවියත්, ඊට පෙර විවිධ හැලහැප්පීම් මත මා ගෙවූ දිවියත් දැක්ක ධර්මසේන පතිරාජ 1974 හැදූ අහස් ගව්වෙන් තමයි මගේ නළුකම ජනතාව අතරට ප්රබලව රැගෙන ගියේ. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතගේ අක්කර පහ, රංජිත් ලාල්ගේ නිම්වළල්ල, විමල් වෛද්‍යසේකරගේ තරංගා චිත්‍රපටවලින් පස්සෙ 1978 අවුරුද්දේ ධර්මසේන පතිරාජ මහතා අධ්‍යක්ෂණය කළ බඹරු ඇවිත් හා එච්.ඩී. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ අපේක්ෂා චිත්‍රපටවල චරිත රංගනයෙන් මම ගොඩක් ජනප්‍රිය වුණා කියල හිතනවා."
එච්.ඩී. ප්‍රේමරත්නගේ පරිත්‍යාගය (1980), ගාමිණී ෆොන්සේකාගේ සාගරයක් මැද (1981), ඔහුගේම සක්විති සුවය (1982), ධර්මසිරි ගමගේ අධ්‍යක්ෂණය කළ යස ඉසුරු (1982) මෙන්ම ඔහුම අධ්‍යක්ෂණය කළ පූජා (1986) චිත්‍රපටයේ අළුගෝසුවාගේ පුතා ලෙස කළ රංගනයෙන් අමරසිරි කලංසූරියගේ නළු දිවිය ප්‍රභාමත් වුණා.
ප්‍රථම ටෙලිවිෂන් නාටක මාලාව වූ සී.බී. නිහාල්සිංහ මහතාගේ දිමුතු මුතු ටෙලි නාට්‍යයේ රංගනයෙන් රටේ ජනප්‍රියම ටෙලි නළුවා වීමත්, ඒ කාලයේ සිදුවූ ඔහුගේ හිතාදර මිතුරා වූ ජනප්‍රිය නළු විජය කුමාරතුංගයන්ගේ ඝාතනයෙන් තම කලා දිවිය අතරමග හැලහැප්පීම් සහිත යුගයක් බවට පත් කළ බව කලං පවසනවා.
"එවකට භීෂණ සමයක් අපේ රටේ තිබුණේ. විජය කුමාරතුංග මහතාගේ ඝාතනයට රටේ නායකත්වය වගකියන්න ඕන බවට මම කළ ප්‍රකාශ මාධ්‍යවල පළ වීමත් සමගම මගේ ජීවිතයටත් තර්ජන එල්ල වුණා. මම ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් කියල මතයක් ජනතාව අතරේ ප්‍රචලිත කළ ඒ සමයේ අවසානයේ සිනමාව මට තහනම් අඩවියක් බවට නිතැතින්ම පත්වුණා. නායකත්වය මට එරෙහි බව දැනගන්න හැමෝම මාව නිර්මාණවලට ගැනීමෙන් වැළකුණා කියල මට හිතෙනවා.
මට දැනුත් ඉඳහිට රඟපාන්න ලැබෙනවා. මගේ භාර්යාව අජන්තා තලතා කුමාරි ඒකනායක මට ආදරේ වැඩිකමට දැන් තහංචි දාලා තියෙන්නේ. වාහන එළවන්න දෙන්නෙ නෑ. අඩුම ගානේ බයිසිකලයක්වත් පදින්න දෙන්නෙ නැහැ. මේ තහංචිවලට මගේ දරුවො, ලේලි, බෑණා ඇතුළු හැමෝම හවුල්. මම අමාරුවෙන් පටන්ගෙන ජීවිතේ යන්න ඕන ඉලක්කයට ආවා. පවුලේ අයගේ ආදරය තමයි තාමත් මගේ රැකවරණය. දරු මුණුබුරු මිණිබිරියන්ගේත් ආදරය ලබන මම දැන් සීයා කෙනෙක්. මගේ රංගනයේ ආරම්භක අවදියේ මම සම්බන්ධ වුණ හන්තානේ කතාවේ චරිතයක් කළ දයා තෙන්නකෝන් චිත්‍රපටයේදී ඔහුගේ පෙම්වතිය ලෙස රඟපෑ සමන්ති ලැනරෝල්ට මෙහෙම කියනවා. හාවියක් ඉත්තෑවෙක්ගෙන් හාද්දක් ලබාගෙන වේදනාවෙන් තොර සැපතක් නැතැයි කීහ කියලා. ඒ දෙබස අදටත් මගේ හදවතේ සොඳුරු මතකයක් වෙලා තියෙනවා. ඉරිදා සවස පොත් සල්පිලේදී මගේ රසිකයන් හමුවීමට මම බලාපොරොත්තුවෙන් ඉන්නවා."
සටහන - පද්ම කුමා පී. මෙත්තසේන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

