හැමෝම මට කතා කරන්නේ ශිවන්යා කියලයි
හඬකැවීම් ශිල්පිනියක, නිරූපිකාවක මෙන්ම ගායන ශිල්පිනියක ලෙසද කටයුතු කරන පූර්ණිමා විදේශිකා මේ වනවිට ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින්නීය. ඒ පසුගියදා විකාශය නිමා වූ "ප්‍රේම දඩයම" ටෙලි නාට්‍යයේ ශිවන්‍යාගේ චරිතයට හඬ කැවීම හේතුවෙනි. මේ වනවිට උසස් පෙළ අධ්‍යාපනය අවසන් කර විශ්වවිද්‍යාල ප්‍ර‘වේශය ලබා සිටින ඇය සිය නව තොරතුරු පිළිබඳ ‘අද’ සමග කළ සංවාදයකි මේ.
Q මේ දවස්වල මුණගැහෙන අය ඔයාව හඳුන්වන්නේ ශිවන්යා කියලද? පූර්ණිමා කියලද?
ශිවන්යා කියලා තමයි. දැන්නම් පූර්ණිමා කියලා කියන්නෙම නැති තරම්.
Q මොකද ඒ ගැන හිතෙන්නේ?
මට ගොඩක් සතුටුයි. මම හඬ කවපු පළමු වැනි නාට්‍යය මේක. කලින් නිර්මාණවලට සහභාගි වෙන්න ආරාධනා ලැබුණත් මම සහභාගි වුණේ නෑ. පළමු වැනියටම හොඳ නිර්මාණයකින් ඉදිරියට එන්න ලැබීම ගැන සතුටුයි.
Q ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක ආඩම්බරයකින්ද ඉන්නෙ?
එහෙම ආඩම්බරයක් නැහැ. එහෙම වෙන්නෙත් නෑ. එහෙම දෙයක් තියෙනවා නම් ඒක වැරදියි.
Q දැන් නාට්‍ය අවසාන වුණා නේද? ඒ ගැන මොකද වෙන්නේ?
ඊටපස්සෙ ප්‍රේමායුධ කියලා වෙනත් කතාවක වැඩ කටයුතු කරනවා. එතැනින් පසුව ප්‍රේම දඩයම 2 ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන් වෙයි.
Q ඔබට ආරාධනා ලැබිලා තිබෙන වෙනත් නිර්මාණ?
ආරාධනා නම් ලැබෙනවා. ඒ හැම ආරාධනාවක්ම මම බාරගන්නෙ නැහැ. හරියන සහ මම කැමති නිර්මාණවලට විතරක් දායක වෙනවා. සුසිල මොබයිල් ටීවී එකේ මට ගීතයක් ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඒක තව ටික දවසකින් රිලීස් වේවි.
Q ඔබේ ඉගෙනීම් කටයුතු ගැන කතා කළොත්?
ගිය අවුරුද්දෙ තමයි මම උසස් පෙළ කළේ. මම පළමුවැනි වතාවෙන්ම විශ්වවිද්‍යාලයට තේරුණා. මේ වසරේ ඉඳන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
Q ඔබ හඬකැවීම් ශිල්පිනියක් කියනවාටත් වඩා නිරූපණ ශිල්පිනියක් ලෙස දස්කම් දැක්වූවා. ඒ අවස්ථාව ලැබුණේ ශිවන්යාට පස්සෙද?
මම වෘත්තීයමය නිරූපණ ශිල්පිනියක් නෙවෙයි. හිතවත්කමක් මත හෝ මට ගැළපෙනවයි කියලා හිතෙන දේකට ආරාධනාවක් ලැබුණොත් මම බාරගන්නවා. එහෙම නැතුව මම මොඩ්ල් කෙනෙක් ලෙස ක්ෂේත්රයට එන්නෙ නෑ.
Q මීට අමතරව ඔබේ වෙනත් දක්ෂතා තියෙනවාද?
ඔව්, මම Vitalize Shadow Drama කණ්ඩායමේ සාමාජිකාවක ලෙස කටයුතු කරනවා. අපට ජාතික මට්ටම අබිබවා ජාත්‍යන්තරයට යෑමේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉදිරියට අපේ කණ්ඩායමේ තවත් වැඩ කටයුතු දැක බලාගන්න පුළුවන්.
ඒ පැත්තට යොමුවෙන්න හිතුවේ ඇයි?
මම පාසල් කාලයේදී Aerobics gymnastic කළා. අවුරුදු 19 න් පහළ සමස්ත ලංකා ප්‍රථම, දෙවැනි ස්ථාන ලබාගන්න අපේ කණ්ඩායමට හැකියාව ලැබිලා තිබෙනවා. මම පාසල් කාලය නිමවෙනකන්ම ක්‍රීඩා කළා. ඒ හැකියාවන් එක්ක තමයි මම Shadow Dramaවලට යොමුවුණේ. ඒ හැකියාවන් නැතුව සාමාන්‍ය කෙනෙකුට ඒක කරන්න අමාරුයි.
Q මේ කටයුතුත් එක්ක කාල කළමනාකරණය කරන්නේ කොහොමද?
කොච්චර වැඩ තිබුණත් ලොකු කාර්යබහුලත්වයක් ඇති වෙන්නේ නැහැ. මම රූපවාහිනී ළමා වැඩසටහන් නිවේදිකාවක ලෙසත් කටයුතු කළා. ඒ වගේම හඬකැවීම්. එක දිගට රෙකෝඩින් තියෙන දවසුත් තියෙනවා. ඒ දවස්වලට පොඩි කාර්යබහුලත්වයක් තිබුණත් හැම වෙලාවෙම එහෙම නැහැ. ඉදිරියට ඉගෙනීමේ කටයුතුත් තියෙන නිසා ගොඩක් කාර්යබහුල වෙයි.
Q ඉගෙනීමේ කටයුතුත් එක්ක ඔබ කලාවෙන් ඈත් වෙනවාද?
කලාව සහ අධ්‍යාපනය අතර ලොකු සම්බන්ධතාවක් තියෙනවා. මම පුංචි කාලෙ ඉගෙනගන්න දේවල් එක්කම ගොඩක් බාහිර ක්‍රියාකාරකම් කළා. ක්‍රීඩාව, ගායනය, නර්තනය, රඟපෑම මේ හැමදේම කළා. ඒ හින්දා මම හිතනවා අධ්‍යාපනය කියන දේට කලාව කියන දේ හුඟක් වැදගත්. කිසිම අවස්ථාවක අධ්‍යාපනයට කලාව බාධාවක් වෙන්නෙ නැහැ. එය මම තදින්ම විශ්වාස කරන දෙයක්. ඒ නිසා ඒ දෙකම සමබරව කිරීමේ හැකියාව මට තියෙනවා.
Q ඉදිරි බලාපොරොත්තු මොනවාද?
හොඳින් අධ්‍යාපනය ලබලා උපාධිය ලබාගැනීම තමයි බලාපොරොත්තුව. ලංකාව වගේ රටක කලාව වෘත්තිය බවට පත් කරගෙන ඉදිරියට යන්න බැහැ කොහොමටවත්. ඒ නිසා වෘත්තිය ලෙස මගෙ අධ්‍යාපන මට්ටමෙන් රැකියාවක් තෝරාගන්නවා. කලාව අත්හරින්නේ නැහැ. එහි ලැබෙන නිර්මාණ එක්ක මට ගැළපෙන නිර්මාණ තෝරාගෙන වැඩ කටයුතු කරගෙන යනවා.
Q මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?
මගේ අම්මා, තාත්තා, අයියා, මල්ලි ඇතුළු පවුලේ පිරිස, විශේෂයෙන් ශිවන්යා සඳහා අවස්ථාව ලබාදුන්න අධ්‍යක්ෂක දීපාල් සාමක අයියා, සංජය මාමා, සමුද්‍රා මිස් මතක් කළ යුතුයි. රවීන්ද්‍ර මෙන්ඩිස් සර් මතක් කළ යුතුයි. සිරස ටීවී ආයතනයයි, ඊට අමතරව මගේ යහළුවන් ඇතුළු මට උදවු කළ සියලු දෙනාවත් මතක් කළ යුතුයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.






