ප්‍රවේගය සිනමා පටය හරහා සිංහල සිනමාවට අලුත් මුහුණක් හඳුන්වා දෙනු ලබනවා. ඒ උදාරි පෙරේරායි. මීට වසර ගණනාවකට පෙර එක් ටෙලි නිර්මාණයකට පමණක් රංගනයෙන් දායක වී ඇති ඇය, ප්‍රවේගය හරහා උදාරි නමින් ඉදිරිපත් කරන රංගනය චිත්‍රපටය තිරගත වීමටත් පෙර සිටම ප්‍රේක්ෂක අවධානය දිනාගන්නට සමත්ව තිෙබනවා. මේ උදාරි සමග ඒ පිළිබඳව අප කළ සංවාදයකි.
Q පළමුවැනි සිනමා අත්දැකීම ගැන හැඟෙන්නේ මොන විදිහටද?
පළමුවැනි සිනමා අත්දැකීම ගොඩක් වාසනාවන්ත අත්දැකීමක් කියල හිතෙනවා. මොකද මෙච්චර හොඳ ප්‍රොජෙක්ට් එකක වැඩ කරන්න ලැබීම භාග්‍යයක් ලෙස මා සලකනවා. මම හිතනවා මට පුළුවන් උපරිමයෙන් ඊට සාධාරණයක් ඉෂ්ට කළා කියලා. ඉදිරියේදි එක්වන නිර්මාණවලදි දැන් තියෙන අඩුපාඩුත් සකසාගෙන රංගනයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවා.
Q ඔබ සිනිඳු පියාපත් ටෙලිනාට්‍යය හරහා රංගනයට පිවිසෙන්නේ මීට වසර ගණනාවකට පෙරයි. නමුත් ඉන්පස්සෙ වෙළෙඳ දැන්වීම් හා මියුසික් වීඩියෝවල හැරෙන්නට ටෙලිනාට්‍ය හෝ සිනමාවට එක්නොවී සිට ප්‍රවේගයට එක්වුණේ ඇයි?
මගේ පළමු ටෙලිනාට්‍යයෙන් පස්සෙ හා ජනප්‍රිය වූ වෙළෙඳ දැන්වීම්වලින් පස්සෙ ටෙලිනාට්‍ය ගණනාවකට හා සිනමා නිර්මාණ දෙකකට ආරාධනා ලැබුණා. ඒත් මට ඒ එකකටවත් යන්න ලැබුණෙ නැත්තෙ ශ්‍රී ලංකන් එයාර් ගුවන් සේවිකාවක් ලෙස වැඩ කරමින් සිටි නිසා නිවාඩු ප්‍රශ්න මතයි.
ඒත් සදේශ් කුමාර් මහතා මගේ යාළුවෙක් හරහා මට කතා කරලා චිත්‍රපටයේ කොලිටි එක, නිමැවුම ගැන කිව්වම මම අමාරුවෙන් නිවාඩු අරගෙන මේකට සම්බන්ධ වුණා.
Q ප්‍රවේගයේ උදාරි වැනි බොළඳ චරිතයකට එකතු වෙන්න අදහස් කළේ ඇයි?
සාමාන්‍ය ජීවිතෙත් මම හරි බොළඳයි. ඉක්මනට දුක හිතෙනවා. හැමදාම හිනාවෙලා ඉන්නෙ. ආදරය කරන කෙනෙක්ගෙන් 100%කටත් වඩා අවධානය මට ඕන. සැබෑ ජීවිතේ උදාරි හා ප්‍රවේගයේ උදාරි අතර ලොකු වෙනසක් නැහැ.හැබැයි මම කරපු රැකියාව එක්ක සංසන්දනය කරද්දි රැකියාවට මගෙන් ලැබුණු දායකත්වය හා මේ තියෙන හුරතල් ගතිය එතන නැහැ.
මාව ළඟින් දන්න අය දන්නවා මම හරි බබ්ලි චරිතයක් කියලා. ඒ නිසා මේ චරිතය මට ලොකු වෙනසක් නෙවෙයි. අනික බොළඳ වෙන එක වැරැද්දක් විදිහට මම දකින්නෙ නැහැ. හැබැයි මම මේ කතා කරන්නෙ මෝඩ විදිහට බොළඳ වෙන එක නෙවෙයි. කොහොම වුණත් ආදරේදි මමත් බොළඳයි.
Q ක්‍රියාදාම චිත්‍රපටයක් වන ප්‍රවේගයේදී එකී ක්‍රියාදාම රංගනය ගැන හා ඉන්දියාවේ කළ රූගත කිරීම් හරහා ලැබුණු අත්දැකීම් කෙබඳුද?
අපි හිතාගෙන හිටියට වඩා හේමාල්, ජැක්සන් අයියා, ජී.ජේ. ඒ දර්ශනවලට ගොඩක් මහන්සි වුණා. ඇතැම් අවස්ථාවල තුවාලත් සිදුවුණා. අපි රඟපෑ ත්‍රාසජනක සිද්ධි කැමරා උපක්‍රමවලින් ගත්ත ඒවා නෙවෙයි. උදාහරණයක් විදිහට අධික වේගයෙන් යතුරුපැදිය පැදගෙන ඒම සහ එතනදි සිදුවන පහරදීම් හා ඊට දක්වන ප්‍රතිචාර ඇත්තටම සිදුවූ දේවල්.
ඇත්තටම මගේ පළමු චිත්‍රපටයෙන් මට ආදර සබඳතාවක් නිරූපණය කිරීම, ත්‍රාසජනක අත්දැකීම්, සංවේදී සිදුවීම් ආදී ලෙස විවිධ අත්දැකීම් ලබාගන්න හැකිවුණා. මේ ලැබුණු අත්දැකීම් චිත්‍රපට දෙක තුනක රඟපාල ලබාගන්නා අත්දැකීම්වලට සමානයි. ඩොනල්ඩ් අයියලත් එක්ක වැඩ කරලා මම ලොකු පන්නරයක් ලබාගත්තා.
Q ප්‍රවේගය අධ්යක්ෂ ඩොනල්ඩ් ජයන්ත පවසනවා ප්‍රවේගයෙන් පස්සෙ හේමාල්- උදාරි යුගයක් බිහිවේවි කියලා. එවැනි යුගයක් පැමිණේවිද?
එවැනි යුගයක් බිහිවේවා කියල හේමාලුත් මමත් ප්‍රාර්ථනා කරනවා. ගොඩක් සතුටින් අපි දෙන්නා බලාගෙන ඉන්නවා ප්‍රේක්ෂකයන් මොන විදිහට ප්‍රතිචාර දක්වාවිද කියලා.
Q හේමාල් සමග කළ රඟපෑම කොහොමද?
හේමාල් මට 100% ක් මෙහි රංගනය සඳහා උදව් කළා. ඔහු හැමවෙලේම මූඩ් එකේ ඉන්නෙ. ඒ අතරතුර මං ළඟට ඇවිත් කියනවා 'කෙල්ලෙ, මූඩ් එකේ ඉන්න... මතකයි නේද ඔක්කොම' කියලා. ඔහු මීට පෙර චිත්‍රපටයක රඟපාල තිබීම හා මේ පිරිස එක්ක වැඩකරලා ලැබුණු අත්දැකීම් තිබුණා. මට බය නැතුව කටක් ඇරලා කියන්න පුළුවන් දැනට ලංකාවේ ඉන්න කඩවසම් සහ නර්තනයේ දක්ෂයෙකු සමග රඟපාන්න ලැබුණු එක සතුටක් කියලා.
Q මේ චිත්‍රපටය තුළ ඔබට වඩාත්ම දැනුණු සිදුවීම මොකක්ද?
මම රඟපාපු කොටස් අතරින් දැනුණු දේ තමයි ඇස්වලින් කතා කරන දර්ශන. ඇත්ත ජීවිතේදි ආදරය කරද්දි හොරෙන් බලන්නෙ කොහොමද කියන වාව් එක චිත්‍රපටයේ තියෙනවා. සමහර වෙලාවට අපි දෙන්නටම ලැජ්ජත් හිතෙනවා අපි ඒක ඇත්තටම කළා වගේ කියලා.
ඒ වගේම මෙහි තිබෙන සටන් ජවනිකාවලට මම ගොඩක් කැමතියි. සිංහල චිත්‍රපටයක හොඳම සටන් ජවනිකා තිබෙන්නේ ප්‍රවේගයේ කියලා බය නැතුව කියනවා. මට චිත්‍රපටයේ දැනුණු සංවේදීම සිදුවීම තමයි ජයලත් මනෝරත්න අයියා රඟපාන කොටස්. මට හොඳට මතක දෙබසක් තමයි 'පුතේ මට ගහද්දි අම්මවයි, නංගිවයි මතක් වුණා. පස්සෙ මට උඹව මතක් වුණා ඒ දෙන්න බලාගනිව්' කියන දෙබස.
Q ප්‍රවේගයෙන් පස්සෙ නැවත ටෙලිනාට්‍යවලට දායක වෙනවද? නැත්නම් චිත්‍රපටවල පමණක් රැඳිල ඉන්නවද?
ඩොනල්ඩ් අයියා මට කිව්වෙ නංගි ටෙලිනාට්‍යවලට යන්න එපා, චිත්‍රපටවලම රැඳෙන්න කියලයි. කොහොම වුණත් ප්රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක හොඳ නිර්මාණවලට දායක වෙනවා. මම තීරණයක් අරන් නැහැ ටෙලිනාට්‍යවල රඟපාන්නෙ නැහැ කියලා. ඒක ඉදිරියේදි බලමු.
මම මෙතනදි ප්‍රවේගය අධ්‍යක්ෂණය කළ ඩොනල්ඩ් ජයන්ත මහතාට සහ ආර්. සරොව් මහතාටත්, නිෂ්පාදනය කළ සදේශ් කුමාර්ට හා ශ්‍රීමතී සදේශ් කුමාර් මහත්මියටත්, චිත්‍රපටයට දායක වුණු සමස්ත පිරිසටත් මගේ ස්තුතිය පිරිනමන්න ඕන.
මම රංගනයට ආධුනික චරිතයක්ව සිටියදී මගේ පෙනුම හා හිනාව බලලා තමයි මේ චරිතයට තෝරගත්තෙ. ඒ සියලුදෙනාටම ස්තුතිවන්ත වෙනවා මෙවැනි හොඳ ව්‍යාපෘතියකට මාව සම්බන්ධ කරගත්තට. මට හිතෙනවා මම ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කළා කියලා.
Q ඔබේ හිනාවට මෙතරම් ලොකු වටිනාකමක් ලැබේවි කියලා හිතුවද?
ඒ හිනාවට ඉස්සර ඉඳන්ම වටිනාකමක් තිබුණා. ශ්‍රී ලංකන් එයාර් එකේදි පවා. කොහොමහරි ඒ හිනාව නිසා තමයි මම ගොඩ ගියේ.
Q ඔබ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කරමින් සිටියදී ඉන් ඉවත්වුණේ ඇයි?
මම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වසර 6ක් සිටියා. ඒ කාලය තුළ බාහිර ක්‍රියාකාරකම් තුළින් මගේ ආයතනයට එළියක් වෙන විදිහට කටයුතු කරන්න මට පුළුවන් වුණා. විවාහයෙන් පස්සෙ වසර තුනක් මම ශ්‍රී ලංකන් එයාර් එක්ක හිටියා. මම ඇත්තටම ආසයි ව්‍යාපාරික කාන්තාවක් වෙන්න. මගේ කැරියර් එකත් වැඩිදියුණු කරගන්න සහ මගේ පවුලට වැඩි අවධානයක් දෙන්න ඕන නිසා තමයි ඉන් ඉවත් වුණේ.
ඒ වගේම මම කලා ක්ෂේත්රයට වැඩි නැඹුරුවක් දක්වන්න ඕන කියන අදහසත් ඒ වෙනකොට තිබුණා. කොහොම වුණත් මම වැඩකරපු කාලය තුළ ආයතනයේ හොඳ නමක් තියාගෙන වැඩ කරලා තමයි මම ඉවත් වුණේ. ශ්‍රී ලංකන් එයාර් ආයතනයෙන් ඉවත් වූ පසුව තමයි හිරු ටී.වී හි නිවාඩුවට ට්‍රැවල් එකක් වැඩසටහන ඉදිරිපත් කරන්න පටන් ගත්තෙ.
Q හැබැයි ඔබ මේ වනවිට රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන ආකාරයක් දක්නට නැහැ නේද?
දැනට මම මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. 'ගර්ල්ස් ඔන්ලි ස්ටයිලින් ස්ටුඩියෝ' නමින්. එහි රූපලාවණ්‍ය කටයුතු කරන අතරම ඇඳුම් නිර්මාණ කටයුතුත් කරනවා. පසුගිය වකවානුවේ වැඩි කාලයක් මම ගතකළේ ඒ ව්‍යාපාරය සමගයි. ඒක නිසා තමයි රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීම්වල දක්නට ලැබුණෙ නැත්තෙ.
ඡායාරූප මිහිර බණ්ඩාර දිසානායක