මම කතා කරන්නෙත් හැම කෙනෙක්ම කතා කරන විරහව ගැනම තමයි
මේ දිනවල බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වන තැනැත්තියක ලෙස උමා අසෙනි හැඳින්විය හැකිය. පසුගියදා සනුක විසින් ගායනා කරනු ලැබූ 'පෙරවදනක්' ගීතයේ රචිකාව වනුයේ ඇයයි. නිවේදිකාවක වශයෙන් කටයුතු කරන ඇය තම කලා කටයුතු පිළිබඳ තොරතුරු බෙදා ගැනීමට 'අද' සමග මෙලෙස එකතු වූවාය.
Q 'පෙරවදනක්' ගීතයේ මූලික කාරණාව ගැන මුලින්ම කතා කළොත්?
ඒක සිංදුවක් කරන්න හිතාෙගන ලියපු එකක් නෙවෙයි. මම සාමාන්‍යයෙන් පුරුද්දක් විදියට මගේ හිතට එන හැමදේම ලියන කෙනෙක්. මගේම අත්දැකීමක් කියන්න බැහැ. එවැනි ඒවත් තිබුණා. මම ඒ වෙද්දි කැම්පස් එකේ හිටියේ. මගේ යාළුවන්ගේ අත්දැකීම් එක්ක මට හිතුණා හැම කෙනෙක්ම කියන්නේ ජීවිතේ පොතක් කියලනේ.
ආදරේ කියන්නේ ඒකෙ පරිච්ඡේදයක්, විදියටනේ හිතන්නේ. මගේ පැත්තෙන් ගත්තොත් මට ආදරේ කියන්නෙත් පොතක් වගේ. අපි එක එක කාලවලදී ආදරය එකඑක විදියට ලබන්නෙ. අපට කෙනෙක් හමුවුණාට පස්සේ අපේ ජීවිතේ ගැන කතා වෙලා අපි දෙයක් ලියනවා, හීන දකිනවා. පෙළින් පෙළට අපි ඒ හීන ගොතාගෙන යනවා. හැබැයි අවසානයේදී නොකියා යන්න යනවා. ගියාට පස්සේ පසුවදනක් ලියන්න බෑනෙ. පසුවදනක් ලියන්න බෑ කියන දේ මත තමයි ඒක නිර්මාණය වුණේ.
Q 'පෙරවදනක්' ගීතයට පණක් ලැබෙන්නේ සනුක වික්‍රමසිංහ නිසා. මේක කොයි විදියට සාර්ථක වුණාද?
මම සිරස ටීවී එකේ ප්‍රසන්ටර් කෙනෙක්. අපේ මෝර්නින් ෂෝ එකේදි 'Next Generation' කණ්ඩායම Interview කරන්න හම්බවෙනවා. ඒකේ සනුකයි, නදීමාලුයි ඒ කට්ටියම. මම සනුකත් එක්ක ගොඩක් කිට්ටු වෙනවා. මම ලිව්ව දේවල් සනුකට යැව්වා දවසක්. ඊට සති කිහිපයකට පස්සේ සනුක මැසේජ් එකක් දැම්මා ඔයා ලිව්ව ඒවගෙන් මම මේක අරගන්නවා ඒ වචන ටිකට මම ආසයි කියලා.
එයා මුලින්ම 'මෙලඩි එක කරන්නේ මෙහෙමයි, ඔයා කැමතිද' කියලා මගෙන් ඇහුවා. මම කැමති වුණා ඒකට. එයා ඒක Develop කරන හැම වතාවකම මට එව්වා ඒක. අවුරුද්දකට කිට්ටු කාලයක් එයා ඒ සිංදුව වෙනුවෙන් වැඩකළා.
එයාට ඕන වුණේ ඒ වචන ටිකත් එක්ක වෙනමම තලයකට ඒක ගෙනියන්න. සංගීත් අංකල්ගෙන් ලැබුණු සහයෝගයත් එක්ක මම හිතනවා ඒක සාර්ථක වුණා කියලා. මියුසික් වීඩියෝ එක නිසා ඒක තවත් ලස්සන වුණා. ඒ ප්‍රඩක්ෂන් ටීම් එකත් එක්ක. ඇත්තටම ඒක ටීම් වර්ක් එකක්.
Q රැල්ලෙන් ඔබ්බට ඔබ නිර්මාණ සිදුකළ නිසා ලැබුණු අත්දැකීම් මොනවද?
මම හිතුවේ නෑ ඒ වචනවලට මුලින්ම මෙහෙම ප්‍රතිචාර ලැබෙයි කියලා. එවැනි රසක් විඳින මිනිස්සු තාම ඉන්නවා කියලා මම හිතුවේ නැහැ. සනුක ඒ වෙනකොට 'සරාගයේ' සිංදුව නිසා ගොඩක් ජනප්‍රිය වෙලා හිටියේ. සනුකව බාරගන්න කොටසක් ඉන්න නිසා සිංදුව හිට්වෙයි කියලා හිතුණා.
ඕනෑම ක්ෂේත්රයක රැලි තියෙනවා. එනවා යනවා. මම අලුත් දෙයක් කරලා නැහැ. මම කතා කළෙත් විරහව ගැනමයි. නමුත් මගේ වචනවල අනවශ්‍ය බොළඳකමක් නැති එක තමයි ඒ දකින වෙනස මම හිතන විදියට. ගීත සාහිත්‍යයක් තියෙනවනේ. සාහිත්‍ය කියන එක අපෙන් ඈත්වෙලා තියෙනවා. අපි අනවශ්‍ය ප්‍රමාණයට සරල කරලා කියන්න තියන දේ අමුවෙන්ම කියනවා.
වෙනසක් විදියට දැනෙන්නේ මගේ ගීතය සාහිත්‍ය කියන පැත්තට නැඹුරුවක් තියෙන නිසා කියලා මට හිතෙනවා. මිනිසුන්ට ටිකක් හිතන්න පුළුවන් විදියට ඉඩක් හදලා තියෙනවා. නැතුව මම වෙනස්ම තේමාවකින් රචනා කරලාවත් නෑ. මම කතා කරන්නෙත් හැම කෙනෙක්ම කතා කරන විරහව ගැනම තමයි. හැබැයි ඒක මින්සුන්ට ලබාෙදන එකේ වෙනසක් තියෙනවා.
Q පැරණි ගීතවලත් විරහව තිබුණා. නමුත් අද කාලයේ විරහ ගීතවල ගායකයාගේ ඇඬියාව වැඩියි කියලා කිව්වොත්?
පිරිමියෙකුටත් දුක දැනෙනවානේ. ඒක ප්‍රකාශ කිරීමේ වෙනසක් තමයි මේ යුග ගණනාවක් තිස්සේ සිද්ධ වෙන්නෙ. අමරදේව මහතාගේ 'විකසිත පෙම් පොකුරු පියුම්' ගීතයේදී ගායනා වෙන්නෙත් විරහව. පිරිමි කෙනෙකුට ඇහැට කඳුළක් උනන්නේ නැත්තේ නැහැ. හැබැයි ඒක ප්‍රකාශ කරන විදියේ වෙනසක් තිබුණා. ඒකයි මම කිව්වේ අනවශ්‍ය ප්‍රමාණයට සරල වීමක් තමයි දැන් තියෙන්නෙ.
දැන් කියන්නේ මල් සිංදු කියන අය කියලා. මම කැමැති නැහැ එහෙම ලේබල් කරන්න. ඒ අයට හම්බවෙන පද රචනාවල තියෙන්නේ 'ඔයා ගියා මට ඒක දරාගන්න බැහැ' කියන එකනේ. ඒක ඇත්ත. නමුත් ඒ යුගයේ ගීතවල ඒක ඒ තරමටම සරල විදියට කියවිලා නැහැ. ඒක තමයි තියෙන එකම වෙනස.
සුනිල් එදිරිසිංහ මහතාගේ 'මගෙන් වෙන් වී යන්න පෙර මා' කියන ගීතයේ කියන්නේ ඔයා යන්න මම ආයේ ඔයා එන දවසක බාරගන්නවා කියලා.
අද කාලේ සාමාන්‍ය ගායකයෙක් ගායනා කරන ගීතයකත් තියෙන්නේ 'ඔයා යන්න මම ආයේ ඔයා එන දවසක බාරගන්නවා' කියලාමයි. හැබැයි ප්රකාශනයන් දෙක දෙකක්. අනවශ්‍ය ප්‍රමාණයට සරල වීම තුළ මිනිසුන් ගැඹුරක් දකින්න නැහැ. ඕනෑම දෙයක් ඕනෑවට වඩා සරල වුණාට පස්සේ ඒකේ වටිනාකම නැතුව යනවා. දැන් තියෙන්නේ එහෙම ප්‍රශ්නයක්.
Q ඔබේ ගීත රචනා පැත්ත ගැනත් කිව්වොත්?
මම ලියලා එළිදැක්වූ පළමු වැනි ගීතය තමයි සනුකගේ ගීතය. ඔක්කොම වගේ තියෙන්නෙ නව පරපුරේ අයට නිර්මාණය කරපුවා තමයි. ඒවා එකක්වත් තාම 'රිලීක්ස්' වෙලා නැහැ. ඉස්සරහට නව පරපුරේ ජනප්‍රිය ගායකයන් කිහිපදෙනෙක් ඉන්නවා ලිස්ට් එකේ. ඒවා දැන්ම 'රිලීස්' වෙයි කියලා බලාපොරොත්තුවකුත් නැහැ.
Q ඔබ නිවේදිකාවක් විදියට කටයුතු කරනවානේ ඒ ගැනත් කියන්න?
මම සිරස ආයතනයට සම්බන්ධ වෙන්නේ 2014. ඒ කාලේ ඉඳන් මේ වෙනකන් නිවේදිකාවක විදිහට කටයුතු කරනවා. මෝර්නින් ෂෝ එක කරනවා. සිරසෙන් කරන ස්පෙෂල් වැඩසටහන් කරනවා. ඒ කියන්නෙ අවුරුදු කාලයේ, වෙසක් කලාප වගේ දේවල් හා ඉසුරු කියන බිස්නස් ප්‍රෝග්‍රෑම් තමයි මම කළේ. මේ වෙනකොට සම්බන්ධ වෙලා ඉන්නේ උදෑසන ප්‍රෝග්‍රෑම් එකත් එක්ක.
Q අද බොහෝ දෙනා ඔබව නිවේදිකාවකට වඩා දන්නේ 'පෙරවදනක්' නිසා නේද?
අද ගොඩක් වෙලාවට මම ගැන කතා වෙන්නේ 'පෙරවදන' ගීතය නිසා. නිවේදිකාවක විදියට මම ලබන පන්නරය ලියන දේවල්වලට රුකුලක් වෙනවා. මම වැඩකරන්නේ චන්දන සූරිය බණ්ඩාර යටතේ. චන්දන සූරිය බණ්ඩාරයන් කියන්නේ ඇවිදින පුස්තකාලයක්.
ඒ ලබන දැනුම ඒ වගේම සිරස කාර්යමණ්ඩලය එක්ක ඉද්දි විවිධ චරිත මට කියවන්න ලැබෙනවා. නිවේදනය මගේ ජීවිතයේ අනිත් දේවල් හැඩගස්ව ගන්නත් ලොකු පන්නරයක් වෙනවා. මම හිමින් ගමනක් එන්නේ. මට හිතෙනවා නිවේදන වෘත්තියේදීත් යම් සාර්ථකත්වයක් ලබන්න පුළුවන් වෙයි කියලා.
Q නිවේදනය හදාරලාද ඔබ මේ ක්ෂේත්රයට ආවේ?
මම පාසල් යන කාලේ කළේ සංගීතය, නර්තනය හා රංගනය. නිවේදනය කියන එක ගැන මම ටෙස්ට් කරලත් නැහැ, මට එහෙම හැකියාවක් තියෙනවාද කියලා. හැබැයි මගේ ඉලක්කයක් තිබුණා මම අවුරුදු 27 වෙනකොට ලංකාවේ යම් තැනකට එනවා කියලා. නමුත් මොන අංශයෙන්ද කියලා මගේ ඔළුවේ තිබුණේ නැහැ.
ඔය අතර 2013දී සම්පත් ශ්‍රී ජයසේන මගේ තාත්තාගේ ගෝලයෙක්. එයාගේ එක වැඩසටහනකට වයස 13දී සම්බන්ධ වෙනවා මගේ තාත්තත් එක්ක. ඊට අවුරුදු 10කට පස්සෙ මට සම්පත් අයියාව හම්බවෙනවා.
මාව දැකලා එයා කියනවා සිරසේ මෙහෙම Screen Test වගයක් තියෙනවා ඇප්ලයි කරන්න කියලා. එතැන ඉඳන් ලොකු කතාවක් මේක පිටිපස්සේ තියෙනවා. කොහොම හරි මගේ පළමු වැනි ප්‍රෝග්‍රෑම් එක 2014 සිරස අවුරුද්ද. ඒක ලයිව් එකක්. ඒ පටන් ගත්ත ගමන තමයි මේ ඉන්නෙ.
Q ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මට රැල්ලක් හදන්න වුවමනාවක් නැහැ. අපට හොඳ වෙරළක් හදලා දීලා තියෙනවා අපේ මහගම සේකරයන්ගේ සිට ඉස්සරහට අපේ පරම්පරාවට. එන්න එන්න ඒ වෙරළ විවිධ හේතූන් මත ඛදනය වුණා. මට අවශ්‍ය ඒ වෙරළ පුළුල් කරගන්න කට්ටිය එකතු කරගන්න විතරයි. මම හිතනවා යහපත් අරමුණකින් කරන නිසා ඒ වැඩේ සාර්ථක වෙයි කියලා.
මං වගේ ලියන මට වඩා දක්ෂ අය ඉන්නවා. ඒ අය එකතු කරගෙන අපි ඒ වැඩේ පටන් ගමු කියන තැන තමයි ඉන්නේ. ඉදිරියේදී ඒක යම්තාක් දුරකට හරි සාර්ථක වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.
නිවේදනය පැත්තනේ විවිධ දේවල්වලින් ඉදිරියේදී දකින්න ලැබෙයි. අනාගතය ගැන කිව්වොත් මගේ තියෙන්නේ වෙනස්ම බලාපොරොත්තුවක් ඒක ලංකාවෙන් එහාගිය බලාපොරොත්තුවක්. ඒ ගැන කියන්න ඕනේ නෑ දැම්ම. රංගනය පැත්තෙනුත් ඉදිරියේදී දකින්න ලැබෙයි. ඒ හා සමාන ලොකු අරමුණක් තියෙනවා. ඒ ගැන දැම්ම කියන්න ඕනේ නෑ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

