මට ළමයි ඕන හැබැයි බිරිඳක් නැතුව
මේ වසරේදී පනස් වියට පා තබන සල්මන් ඛාන් ගැන හඳුන්වන්න අමුතුවෙන් විශේෂණ පද අවශ්‍ය නොවේ. පසුගිය ජනාධිපතිවරණ කාල සමයේ ශ්‍රී ලංකාවටද පැමිණි ඔහු, එදවස දේශපාලන මාතෘකාවක් බවටද පත්වූයේ ඔහු ගමන් කළ රථය හදිසි අනතුරකට ලක්ව එයින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුටම බරපතළ තුවාල සිදුවූ බැවිනි. කෙසේවුවද පසුගිය වසරේදී තිරගත වූ කික් චිත්‍රපටය හරහා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ සල්මන්, තම වෘත්තීයමය සිනමා ගමන පිළිබඳ මෙසේ අදහස් පළ කළේය. ඒ ෆිල්ම්ෆෙයාර් සඟරාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් හරහාය.
Q ඔබ දැන් සාර්ථක නළුවෙක්. අලුත් චිත්‍රපටයක් ලැබුණාම තෝරාගැනීම සිදුකරන්නේ කොහොමද? ඒකට යම්කිසි මිණුම් දණ්ඩක් තියෙනවද?
නැහැ. එහෙම දෙයක් නැහැ. ඒත් මට මුලින් චිත්‍රපටයේ කතාව ගැන මූලික අදහසක් ඕන. ඒ මත තමයි අනික් දේවල් රඳා පවතින්නේ. හැබැයි සමහර වෙලාවට ඒකෙනුත් චිත්‍රපටය තේරුම් ගන්න බැරිනම් මම චිත්‍රපටයේ මුල් පිටපත ඉල්ලනවා. ඉන්පස්සෙ තමයි ඒ ගැන හිතන්නේ.
Q කික් චිත්‍රපටය බාරගන්න කලින් මොනවගේ දේවල්ද බැලුවේ?
ඒක නම් හුඟක්ම දැනුණු චිත්‍රපටයක්. විශේෂයෙන්ම කතාව, තිර පිටපත, නිෂ්පාදන අංශය තමයි ඒ චිත්‍රපටය තෝරාගන්න බලපෑවේ. ඇත්තම කිව්වොත් මට මෙහි කතාව සහ ඒ තුළ ගැබ්වෙලා තිබුණු මනුෂ්‍යත්වය තමයි හොඳටම කා වැදුණේ.
Q හුඟක් නළුවන් කැමති විවිධාකාර චරිත රඟපාන්නයි. එයින් තමයි ඔවුන්ගේ රඳා පැවැත්ම තීරණය වෙන්නෙත්. ඒත් ඔබේ චිත්‍රපට රංගනය තුළ එවැනි විවිධත්වයක් දකින්න නැහැ නේද?
(සිනාසෙමින්) චිත්‍රපටයක වැඩ කරද්දී ඉබේම ඒ වෙනස මා තුළ සිද්ධවෙනවා. ඒත් ඒක මතුපිටින් බලන කෙනෙක්ට පේන්නෙ නෑ. මට විතරයි දැනෙන්නේ. ඒ හින්දා මේක ගොඩක් අය දන්නෙත් නෑ. උදාහරණයක් වශයෙන් කික් චිත්‍රපටය ගැන සැලකුවොත් ඒ චිත්‍රපටයේ මට චරිතයක් තිබ්බෙ නෑ. ඒත් මම ඕන වෙලාවක ලෑස්ති පිට ඉන්න කෙනෙක්. ඒ නිසා ඕන විදිහකට මට ලෑස්ති වෙන්නත්, චරිතයෙන් අයින් වෙන්නත් පුළුවන්. ඒකයි මගේ වෙනස.
Q මෙතෙක් රඟපෑ චිත්‍රපටවලදී අත්හදා බැලීම් කරන්න උත්සාහ කළේ නැද්ද?
(සිනාසෙමින්) මොකෝ නැත්තෙ? මට ඔක්කොම චිත්‍රපටි අත්හදා බැලීම් තමයි.
Q ඒ නිසාද හැම චිත්‍රපටයක්ම බොක්ස් ඔෆිස් වාර්තා තියන්නේ?
හැම එකක්ම නම් නෙමෙයි. ඒත් එහෙම බොක්ස් ඔෆිස් වාර්තා තියෙන එක ගැන හුඟක් සතුටුයි මට. හැබැයි අපි වැඩ කළ යුත්තේ බොක්ස් ඔෆිස් වාර්තා තියන්න හිතාගෙන නෙමෙයි. අපි අපේ උපරිමයෙන් වැඩ කරන්නයි ඕන. එතකොටයි ප්‍රේක්ෂකයා විසින් අපේ චිත්‍රපට හොඳද නැද්ද කියලා තීරණය කරන්නේ.
Q වසර 26ක සිනමා ජීවිතය තුළ දැන් ඔබ දකින සෘණාත්මක ලක්ෂණ තියෙනවද?
ඔව්. බොලිවුඩ් චිත්‍රපටවල ප්රචාරක අංශය ගැන මම එච්චර සතුටු නැහැ. මීට කලින් අපි චිත්‍රපටයත් සමගම ප්‍රචාරණයට අවශ්‍ය වැඩකටයුතු ඉටු කළා. ඉන්පස්සෙ චිත්‍රපට නිෂ්පාදකවරයා කළේ ඒ මගින් චිත්‍රපටයට අදාළ ප්‍රචාරණය ලබාගැනීමයි.
හැබැයි දැන් තත්ත්වය වෙනස් වෙලා. නළුවාටත් වෙනමම ප්‍රචාරණයට දායකවෙන්න වෙලා. ඒක හරිම වෙහෙසකාරී වැඩක්. අනික ප්‍රේක්ෂකයාට වුණත් චිත්‍රපටය ගැන හිතාගන්න වැඩි ප්‍රචාරණයක් අවශ්‍ය නැහැ. පූර්ව ප්‍රචාරණ පට කීපයක් දැම්ම නම් ඇති. ගීත කීපයක් දැම්ම නම් ඇති. ඔවුන් දන්නවා චිත්‍රපටය හොඳද නැද්ද කියලා. අනික අපි එක්ක කෙරෙන සම්මුඛ සාකච්ඡාත් හොඳටම ඔවුන්ට ප්‍රමාණවත්. ඒ හින්දා චිත්‍රපටයකට සිදුකරන ප්‍රචාරණ වැඩවල සීමාවක් තිබිය යුතුයි.
Q කාලයක් තිස්සෙම මිනිසුන් පිළිබඳ හරියාකාර තක්සේරුවක් කිරීමට අසමත් නළුවෙක් විදිහටයි ඔබව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.. මේ තත්ත්වය දැන්වත් අඩුවෙලා නැද්ද?
මම ඒ ගැන වැඩිය හිතන කෙනෙක් නෙමෙයි. අනික ඒක මට ප්‍රශ්නයකුත් නෙමෙයි. ඕනම කෙනෙක් ඇතුළේ ධන ලකුණු වගේම සෘණ ලකුණුත් තියෙනවා. ඒත් වැදගත් වෙන්නේ ඒ ගැන වද නොවී ඉදිරියටම යන එකයි.
Q කාලාන්තරයක් තිස්සෙම බොලිවුඩයේ තනිකඩයා ඔබයි. දැන්වත් පිළිවෙළක් වෙන්න අදහසක් නැද්ද?
මමත් කැමතියි ඒකට. මට ළමයි ඕනේ. හැබැයි බිරිඳක් නැතුව. ඒත් ඉන්පස්සෙ මට ඒ ළමයින්ට හොඳ අම්මා කෙනෙකුත් ඕන.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

