මට අවශ්‍ය රැල්ලෙන් මිදෙන්න
තීක්ෂණ අනුරාධ වර්තමානයේ සංගීත ක්ෂේත්රයේ සිටින යොවුන් ජනප්‍රිය ගායකයන් අතළොස්සේ සිටින්නෙකි. 'සඳරේණු ගලන' ගීතය හරහා සුවහසක් රසික ප්‍රතිචාර විඳිමින් ක්ෂේත්රය තුළ නමක් දිනාගත් තීක්ෂණ 'සිරස සුපර් ස්ටාර්' තරු මාවත හරහා සංගීත ක්ෂේත්රයට පිවිසි අයෙකි. ඔහු සිය අලුත්ම ගීතය පසුගියදා එළිදක්වනු ලැබීය. මේ වනවිට සිය අලුත්ම ගීතය තුළින් ඉහළ රසික ප්‍රතිචාර ලබමින් සිටින තීක්ෂණ අලුත් අවුරුද්දේ අලුත් වැඩ කිහිපයකටම මුල පුරන්නට සූදානමින් සිටියි. 'අද' අපි සමගින් ඔහු මෙලෙස අදහස් දැක්වූයෙමු.
Q අලුත් ගීතයට ලැබෙන රසික ප්‍රතිචාර?
ඉතාම ඉහළයි. 'ළං වී සිටි කාලය' තමයි මගේ අලුත්ම ගීතය. මේ ගීතය ලිව්වෙ හා සංගීතවත් කළේ චතුර වර්ණසේකර. මියුසික් වීඩියෝව කළේ ළහිරු මුදලිගේ. මේ ගීතයට මේ දිනවල අපුර්වතම ප්රචාරක කටයුත්තක් මමත්, ළහිරුත් සංවිධානය කරලා තියෙනවා. 'ළං වී සිටි කාලය' ගීතයේ කවර් වර්ෂන් එකක් අපිට ලබා දුන්නොත් රන් පවුමක් දිනාගන්න හැකියාව තියෙනවා. දැනටත් අපිට එවැනි කවර් වර්ෂන් ගොඩක් ලැබිලා තියෙනවා. මේ අතරින් හොඳම නිර්මාණයට තමයි අපි රන් පවුමක් තිළිණ කරන්නේ.
Q මේ ගීතය එළිදක්වන්න කාලයක් ගියා නේද?
ඔව්, ඒකට හේතුව තමයි මම පසුගිය කාලේ එකදිගට ගීත කිහිපයක්ම නිර්මාණය කරලා එළිදැක්වුවා. 'ළං වී සිටි කාලය' ගීතයට පෙර මම නිකුත් කළේ 'බෝඩිම' කියන ගීතය. ඒ ගීතයට ගොඩක් හොඳ රසික ප්‍රතිචාර ලැබුණා. ඉතින් ඒ ගීතය එළිදක්වලා මම කාලයක් බලා සිටියා. මොකද, ඒ ගීතය රසිකයන්ට අවශ්‍ය තරම් කාලයක් රසවිඳින්න දෙන්න ඕන නිසා. දැන් කාලය හරි කියලා හිතුණ නිසයි 'ළං වී සිටි කාලය' කියන අලුත් ගීතය මම එළිදක්වන්න හිතුවෙ.
Q 'බෝඩිම' කියන්නේ ඔබ නිර්මාණය කළ වෙනස්ම ආරේ ගීතයක්?
පසුගිය කාලේ එකම රැල්ලට ගීත නිර්මාණය වුණා. මට අවශ්‍ය කළේ ඒ රැල්ලෙන් මිදෙන්න. ඒ නිසා තමයි 'බෝඩිම' නිර්මාණය කළේ. මම හිතුව විදිහට ඒ ගීතය සාර්ථක වුණා. මම දැනට හිතාගෙන ඉන්නවා මේ වගේම වෙනස් ආරේ ගීතයක් ජනවාරි මාසයේ මැද දිහාට එළිදක්වන්න. දැනට මේ ගීතය නම් කරලා තියෙන්නේ 'ආරේ ගති නෑරේ' කියලා.
Q අලුත් අවුරුද්දේ අලුත් වැඩකට මුලපුරන්නත් ඔබ හිතාගෙන ඉන්නවා කියල ආරංචියි?
ඔව්, මගේම කියලා සංගීතාගාරයක් විවෘත කරන්න. මේ දිනවල වැඩිපුර කාලය යොදවලා තියෙන්නේ ඒ කටයුත්තට. මහරගම තමයි මේ සංගීතාගාරය පිහිටලා තියෙන්නේ. ජනවාරි මාසයේ අන්තිම සතියෙ තමයි විවෘත කරන්න හිතාගෙන ඉන්නේ. සංගීතාගාරයට නම දාල තියෙන්නේ 'ඔක්ටිව් එන්ටර්ටේට්මන්ට්' කියලා.
Q පසුගිය කාලේ රියලිටි තරගයකටත් සම්බන්ධ වෙලා හිටිය නේද?
ඔව්, 'දෙරණ ස්ටාර් සිටි' පළමු අදියරයට. දුලීකා අක්කගේ නායකත්වයෙන් තරග වැදුණ 'සුපර් ගැන්ජෙස්ටර්' කණ්ඩායමට තමයි මම සම්බන්ධ වුණේ. ඒක වෙනස්ම අත්දැකීමක් වුණා මට. මොකද, බොහෝ දෙනෙක් මාව අඳුනගෙන තිබුණේ ගායකයෙක් විදිහට. නමුත්, මට රඟපාන්න වගේම නර්තන හැකියාවත් තියෙනවා කියලා මෙම තරගය හරහා ඔප්පු කරන්න පුළුවන් වුණා. ලැබුණ රසික ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි.
Q රඟපාන්න ආරාධනා එහෙම ලැබුණෙ නැද්ද?
ආරාධනා නම් ගොඩක් ලැබුණා. හැබැයි ගොඩක් තිබුණේ 'මෙගා' නාට්‍යයවලට. නමුත්, මම ගෙවන කාර්යබහුල ජීවිතයත් එක්ක එවැනි දේකට යොමුවෙන්න තියෙන කාලය අඩුයි. කොටස් අඩු නාට්‍ය කිහිපයකට ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා. දැනට මම ඒවා අධ්‍යයනය කරගෙන යනවා. බලමු ඉදිරියේදි.
Q ගායනය හා රංගනය කියන්නේ කලාවන් දෙකක්?
ඔව්, ඒ නිසාම තමයි මේ කලා කටයුතුවලට සම්බන්ධ වීමේදී ඒ ගැන වරක් දෙවරක් නෙවෙයි, කිහිපවරක්ම හිතන්නේ. ගායකයෙකු විදිහට අද මම ලොකු තැනක ඉන්නවා. මොකද, මම ඒ ගැන දැනුමකින් ආව නිසා. රංගනය පැත්තෙන් ගත්තොත් මම ආධුනිකයෙක්. ඒ හින්දා මම ඒ ගැන තව ගොඩක්දුරට හදාරන්න අවශ්‍යයයි.
Q ඔබට සංගීත කණ්ඩායමකුත් තියෙනවා නේද?
ඔව්, මේ උත්සව කාලය නිසා ටිකක් විතර මමත්, සංගීත කණ්ඩායමත් කාර්ය බහුලයි. අපි තාම එළිමහන් ප්‍රසංග සඳහා සහභාගිවෙලා නැහැ. ගොඩක්ම කරන්නේ ගෘහස්ත ප්‍රසංග. ප්‍රසංගවලට අමතරව, මගේ සංගීතාගාරයේ වැඩකටයුතු වගේම වෙනත් අයට ගීත නිර්මාණය කරන නිසා ඒ පැත්තෙන් මම කාර්යබහුල වෙලා තියෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

