දකුණු පළාත් සාහිත්‍ය නැංවීමට සාහිත්‍ය මහෝත්සවයක්
දකුණු පළාත් සභාව සාහිත්‍ය මාසය වෙනුවෙන් පළාත් රාජ්‍ය සාහිත්‍ය කලා මහෝත්සවයක් සංවිධානය කර තිබේ. මෙහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ මෙරට සාහිත්‍යයට හා කලාවට දකුණේ දූ පුතුන්ගෙන් ලද මෙහෙවර ඇගැයීමය. මෙම සුවිශේෂී වැඩසටහන පිළිබඳව එහි නියමුවා වන දකුණු පළාත් සංස්කෘතික, කලා කටයුතු ක්‍රීඩා හා යෞවන කටයුතු ග්‍රාම සංවර්ධන සමාජ සුභසාධන පරිවාස ළමාරක්ෂක සේවා වනිතා, ගෘහ ආර්ථික ප්‍රවර්ධන නිවාස ඉදිකිරීම් සහ මිනිස් බල හා රැකීරක්ෂා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.
Q මෙවර දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවයේ තේමාව මොකක්ද?
දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ &ජීවිතය විඳින්න සාහිත්‍ය දෝතට කියන* තේමාව යටතේ තමයි මෙම මහෝත්සවය සංවිධානය වෙන්නේ.
Q මෙම උලෙළ සඳහා ගාල්ල තෝරාගත්තේ ඇයි?
දකුණු පළාත් සභාව මගින් සංවිධානය කරන මෙම උත්සවය මෙවර නියමිත වෙලා තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්. මෙහිදී දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය විදියට අපි තීරණය කළා ගාල්ලේ කොග්ගල ප්‍රදේශය ආශ්‍රිතව පවත්වන්න. ඊට හේතු කිහිපයක්ම තිබෙනවා. ඉන් ප්‍රධාන වන්නේ මෙරට සාහිත්‍යයට විශාල සේවාවක් කරපු මාර්ටින් වික්‍රමසිංහයන් ඉපදී හැදී වැඩුණු ප්‍රදේශය කොග්ගල වීමයි. ඒ වගේම සාහිත්‍යයට විශාල සේවාවක් කරපු සාහිත්‍යධරයන් විශාල ප්‍රමාණයක් කොග්ගල කේන්ද්‍ර කරගනිමින් ජීවත් වීමත් මෙයට තවත් එක් හේතුවක් වුණා.
ඒ වෙනුවෙන් අපි කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කලා කෞතුකාගාර පරිශ්‍රය හා ගාල්ල දිස්ත්‍රික්කයේ අවට කේන්ද්‍රකරගනිමින් ස්ථාන කිහිපයක කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ නිසා සියලු දෙනාටම එකතු වෙන්න පුළුවන් සාහිත්‍ය කලා මහෝත්සවයක් විදියටයි මෙවර අපි එම උත්සවය සංවිධානය කරලා තිබෙන්නේ. ඒ වගේම මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 29 වැනි ජන්ම සංවත්සරය පාදකකොට ගනිමින් වැඩසටහන් රැසක්ද අපි ක්‍රියාත්මක කර තිබෙනවා. සැප්තැම්බර් 24 (හෙට ) සිට 27 වැනිදා දක්වා පුරා දින හතරක් මෙම සාහිත්‍ය කලා මහෝත්සවය පැවැත්වෙනවා.
Q නව පරපුරෙ නිර්මාණකරුවන් වෙනුවෙන් ඔබ අමාත්‍යාංශය මොනවද කරලා තියෙන්නේ?
නව පරපුර වෙනුවෙන් අපි පසුගිය කාලේ වැඩසටහන් රැසක් සංවිධානය කළා. එහිදී විශේෂයෙන් පාසල් දරුවන් වෙනුවෙන් ගී රසවින්දන වැඩසටහන් විශාල ප්‍රමාණයකුත් සංස්කෘතික නැටුම් සම්බන්ධ වැඩසටහන් රැසක් ද පසුගිය කාලේ සිට කරගෙන යනවා. එහි ප්‍රතිඵල මෙම සාහිත්‍ය කලා මහෝත්සවයේදී දැකබලාගන්න පුළුවන්.
Q සාම්ප්‍රදායිකව හැමදාම මෙවැනි උත්සව තුළ බොහෝ විට සිදුවුණේ පාසල් දරුවන් හා නිර්මාණකරුවන් ඇගයීම විතරයි. මෙවරත් ඒ අයුරින්මද මෙම උත්සවය පැවැත්වෙන්නේ?
නැහැ. මෙවර ඊට හාත්පසින්ම වෙනස් ආරකින් අපි පෙර පාසල් දරුවාගේ සිට වැඩිහිටියා දක්වා හැම තරාතිරමක වයස් කාණ්ඩයන්ට සහභාගී වෙන්න පුළුවන් තරග ගණනාවක් වගේම හැම කෙනෙකුටම රසවිඳින්න පුළුවන් අයුරින් විවිධ වැඩසටහන් රැසකුත් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සංවිධානය කර තියෙනවා.
Q මොකක්ද මේ සාහිත්‍ය පෙරහර?
සාහිත්‍ය පෙරහර තුළින් තමයි අපි සාහිත්‍ය කලා මහෝත්සවය ආරම්භ කරන්නේ. එය සැප්තැම්බර් 24 වැනිදා උදේ 8.00 ට කටුකුරුන්ද කාර්මික විද්‍යාලයේ සිට කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය දක්වා ගමන් කිරීමට නියමිතයි. සියලුම පාසල් දරුවන් කලා ආයතන හා සියලු සංස්කෘතික ආයතන එක්ව සංවිධානය කරන මෙහිදී විශේෂයෙන්ම දකුණේ වගේම ලාංකීය සාහිත්‍ය පිළිබඳව හා සංස්කෘතිය පිළිබඳව නිරූපණය වෙනවා.
Q සාහිත්‍ය පිළිබඳ ඉගෙන ගන්න හදාරන්න කැමති අයට මොනවද තිබෙන වැඩසටහන්?
නව නිර්මාණකරුවන්ට කෙටිකතා හා ළමා ග්රන්ථ නිර්මාණකරුවන්ට වැඩමුළුවක් හෙට(24 දා) සවස 2ට මාර්ටින් වික්‍රමසිංහයන් අධ්‍යාපනය හැදෑරූ උණවටුන බොනවිස්ටා විද්‍යාලයේදී සංවිධානයකොට තිබෙනවා. ඊට සම්පත් දායකත්වය ලබාදෙන්නේ ජයන්ත වීරසිංහ මහතා විසින්. ඒ වගේම ගීත රචනා හා පද්‍ය රචනා නිර්මාණකරුවන්ට එදිනම මෙම වේලාවටම එම විද්‍යාලයේදීම රාජ්‍ය සාහිත්‍ය උත්සවයට නිර්මාණ ඉදිරිපත් කළ නිර්මාණකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා. ඊට ද කැමති අයට සහභාගී විය හැකියි.
Q මෙහිදී දක්නට ලැබෙන දකුණට අනන්‍ය වූ වැඩසටහන් මොනවද?
දකුණට විශේෂයෙන් මාතර සම්ප්‍රදායට අනන්‍ය වූ දහඅට සන්නි සාන්තිකර්මය ඇතුළුව දකුණට අනන්‍ය වූ වැඩසටහන් රැසක් මෙම සංස්කෘතික හා කලා මහෝත්සවය තුළ පැවැත්වීමට සංවිධානය කර තියෙනවා.
Q කොග්ගල නිදහස් වෙළෙඳකලාපයෙහි රැකියා කරන තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කර ඇති විශේෂ වැඩසටහන පිළිබඳ පැවසුවොත්?
අප හැමෝම දන්නවා මෙවැනි කාර්යබහුල කර්මාන්ත පුරයක් තුළ ජීවිතයේ වැඩි වේලාවක් ගත කරන දහස් ගණන් වූ තරුණ තරුණියන්ට ජීවිතය විඳින්න ඉඩකඩක් නැති බව. එසේ කාර්ය බහුලත්වයෙන් ජීවත්වන ඒ අය වෙනුවෙන් කොග්ගල BOI පරිශ්‍රය තුළ සංස්කෘතික ප්‍රසංගයක් පැවැත්වීමට අපි සංවිධානය කර තියෙනවා. එය මීට පෙර නොවූ විරූ වැඩසටහනක්.
Q කවිය වෙනුවෙන් වගේම අනෙකුත් කලා කටයුතු වෙනුවෙන් මොනවද සංවිධානය කරලා තියෙන්නේ?
පෙර පාසල් දරුවන් වෙනුවෙන් චිත්‍ර හා අත්කම් නිර්මාණ කරන්නට පාසල් ළමුන් සඳහා නාට්‍ය හා රංග කලාව චිත්‍ර ඡායාරූපකරණය හා සෞන්දර්යාත්මක වැඩමුළු, සංවාද මණ්ඩප, ගී රස වින්දන වැඩසටහන් දකුණේ සාම්ප්‍රදායික කෝලම් මඩුව, ඒ වගේම දකුණේ සිටින ප්‍රවීණම කවි කිවිඳියන් සහභාගී වන කවි මඩුව හා පළාතට විශාල අඩුවක්ව පැවති (Film Festival) චිත්‍රපට ප්‍රදර්ශනයක් රසවින්දන වැඩසටහන් නොමිලේ පැවැත්වෙනවා. එහිදී මඩොල් දූව, විරාගය, බොම්බේ දෙමළ චිත්‍රපටය, ඇතුළත්ව වැඩසටහන් රැසක් සංවිධානය කර තියෙනවා.
Q මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය මෙහෙවර ඇගයීම වෙනුවෙන් මෙහිදී යම් දෙයක් සිදුවෙනවාද?
ඔව්. එතුමාගේ 129 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව ගාල්ලේ කොග්ගල දී පවත්වන මෙම මහෝත්සවයේදී එතුමාගේ සාහිත්‍ය මෙහෙවර ඇගයෙන විද්වත් කතිකාවත් සංවිධානය කර තිබෙනවා. ඒ සඳහා මහාචාර්ය සරත් විජේසූරිය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන ලියනගේ හා මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයේ අධ්යක්ෂ උපදේශක ජේ. ජයනෙන්නි යන මහත්ම මහත්මීනුත් සහභාගී වෙනවා. මීට අමතරව ප්‍රවීණ ලේඛක ගාමිණී කුමාර විතාන මහතාගේ මෙහෙයවීමෙන් සංවාද මණ්ඩපයක් පැවැත්වීමට නියමිතයි.
Q මෙවර රෝහණ රන්සිළු සම්මානය හිමිවන්නේ කාටද?
රෝහණ රන්සිළු සම්මානය කියන්නේ ජීවිතයේ එක් වරක් පමණක් හිමිවෙන දකුණේ ජීවත් වෙන සාහිත්‍යධරයෙකුට ලබන්න පුළුවන් ඉහළම සම්මානය. අපි මෙවර ඒ සඳහා තෝරාගෙන තිබෙන්නේ මෙරට සාහිත්‍යයටත්, ලේඛන කලාවටත් සුවිශාල සේවාවක් කරපු මහාචාර්ය බන්දුසේන ගුණසේකරයන්. ඒ වගේම සාම්ප්‍රදායිකව පවත්වනු ලබන විශේෂ සාහිත්‍ය දේශනය අධිනීතිඥ සම්මානනීය සාහිත්‍යධර ඩබ්ලිව්.ඒ. අබේසිංහ මහතා විසින් සිදුකිරීමෙන් අනතුරුව දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවයේදී ජයග්‍රාහකයන්ට සහතික සම්මාන ලබාදෙනවා.
එදිනම අපි දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් අපේ අමාත්‍යාංශය සෑම මාසයකම අවසාන ඉරිදා පවත්වනු ලබන රුහුණු රඟ සොබා සංස්කෘතික වැඩසටහන ගාල්ල කොටුව තුළදී රාත්‍රි‘යේ පවත්වන්නට සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා. අවසාන වැඩසටහන ලෙස මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සෑම නිර්මාණ කෘතියකටම බද්ධ වෙච්චි හිරුගල් දේවාලයේ බෝධි පූජා පිංකමකින් දකුණු පළාත් 2015 සාහිත්‍ය කලා මහෝත්සවය සමාප්තිය සනිටුහන් කරන්න බලාපොරොත්තු වෙනවා.
Q අවසාන වශයෙන් මෙම කලා මහෝත්සවය පිළිබඳ යමක් පැවසීමට ඇත්නම්?
අපිට තිබෙන සීමිත සම්පත් ප්‍රමාණය තුළ විශාල මුදලක් වැය කරන්න අපහසුයි. ඒ නිසා මේ සඳහා අද පුවත්පත ලබාදෙන දායකත්වය පිළිබඳව මේ මොහොතේදී විශේෂයෙන් මතක් කළ යුතුයි. ඒ වගේම මේ මොහොතේදී දකුණේ සියලුම දෙනාට ආරාධනා කරනවා කලකට පසු ලැබෙන මේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍ර‘යෝජනයට ගෙන මෙම අවස්ථාවෙන් උපරිම ඵල නෙළාගන්නා ගන්නා ලෙස.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

