ණය මුදලක් දෙන්න තරම් මගේ වටිනාකමක් ඔවුන්ට නැති වුණා - දමිත්
තරමක් වෙනස් හඬක් සමගින් රසික් සිත්වලට ළං වුණ ආදරණීය යොවුන් ගායකයෙකු ලෙස දමිත් අසංක හැඳින්විය හැකිය. ඔහුට ඇති වෙනස් හඬ නිසාම ඔහුගේ හඬට මෙන්ම ඔහුගේ ගීතවලට ප්‍රිය කරන රසික ප්‍රමාණය විශාලය. පසුගිය කාලයේ නිහඬව සිටි දමිත් අසංක ඉදිරියේදී අලුත් නිර්මාණ කිහිපයක් හරහා රසික සිත් අතරට එක්වීමට නියමිතව ඇත. ඒ පිළිබඳව ඔහු අප සමග කළ කතාබහකි මේ.
-
Q දමිත් මේ දවස්වල අලුත් වැඩකට අත ගහලා කියලා ආරංචියි?
ඔව්. සෙවන් ස්ටාර් කියල මගේම සංගීත කණ්ඩායමක් මෑතකදී ආරම්භ කළා. අද තියෙන කණ්ඩායම් සංගීතයත් එක්ක ගත්තොත් මගේ සංගීත කණ්ඩායම ඒ රැල්ලෙන් මිදිච්ච එකක් කියලා මට කියන්න පුළුවන්. අද බොහෝ සංගීත කණ්ඩායම් දිනෙන් දින බිහිවෙනවා නමුත්, ගොඩක් කණ්ඩායම්වලට පැවැත්මක් නැහැ. මම කැමතියි මගේ කණ්ඩායමට දිගුකල් පැවැත්මක් හදාගන්න. ඒ අරමුණු පෙරදැරි කරගෙන තමයි මම මගේ සංගීත කණ්ඩායම නිර්මාණය කරන්න මූලික වුණේ.
-
Q ඔබ පවසන විදිහට සෙවන්ස්ටාර් කියන්නේ වෙනස්ම තාලේ සංගීත කණ්ඩායමක්?
ඇත්තටම, අද බොහෝ විට අපිට දකින්නට ලැබෙන්නේ ඝෝෂාකාරී සංගීතයත් එක්ක බද්ධ වුණ කණ්ඩායම් සංගීතයක්. නමුත්, මගේ සංගීත කණ්ඩායම මූලිකත්වය දීලා තියෙන්නේ ඒ ඝෝෂාකාරීත්වයෙන් ප්‍රේක්ෂකයන් මුදවලා ඔවුන්ට ලංකාවේ ජන සංගීතය ළං කරලා දෙන්න උත්සාහ කරන ප්රයන්තයක්.
අද තියෙන දියුණු ලෝකයත් එක්ක සංගීතය විවිධාකාරයෙන් වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ රසික, රසිකාවියන් මේ සංගීතයත් එක්ක අතරමං වෙලා. එදා අපිට ඇහුණ ජන සංගීතය අද වෙනස් වෙලා. සෙවන් ස්ටාර් අපි කරන්නේ එදා තිබුණ ඒ අත්දැකීම අද ප්‍රේක්ෂකයන්ට විඳින්න ඉඩ සලස්සන එක.
-
Q දමිත්ගේ අලුත් ගීතයක් රසිකයන් අතරට ආවේ නැහැ. ඒ ඇයි?
කරපු නිර්මාණ ගොඩක් තියෙනවා. කලින් නිකුත් කළ ගීත පවා අද වනවිටත් ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් අලුත් නිර්මාණයක් එළිදක්වන්න තව කාලයක් අවශ්‍යයි කියලා හිතුණා. නමුත්, ඔක්කොටම වඩා ගැටලුවක් වෙලා තියෙන්නේ සමහර නාලිකා ගීතය ප්‍රචාරය කරන්න මුදල් අය කිරීම සම්බන්ධව.
යම් කලකිරීමකින් ඉන්නවා ඒ සම්බන්ධව. හැම නාලිකාවම නැතිවුණත් කිහිප දෙනෙකු කරන මේ වැඩෙන් අපි වගේ ගායකයන්ට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා.
-
Q ඔබ දකින විදිහට මේවාට වගකිව යුතු පිරිසක් ඉන්නවාද?
මම දකින්නේ මේ කාරණයට වගකිව යුතු අය අපිමයි කියලා. අපිට මේ වෙනුවෙන් ක්‍රියාකාරී සංගමයක් ගොඩනගා ගන්න තිබුණා නම් බොහෝ විට මේ දේවල්වලට අපිට ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. අපිට රසිකයන් කොච්චර ආදරේ කළත් අද කලාකරුවන්ට සමාජයේ සැලකිල්ලක් නැහැ.
ඒකට හොඳම උදාහරණයක් මම කියන්නම්. මෑතකදී මම බැංකුවට ගියා ණය මුදලක් ගන්න කිසියම් කාරණයකට. දමිත් අසංක කියූ පමණන් මාව බොහෝ දෙනෙකු අඳුනාගත්තා. නමුත් ණය මුදලක් දෙන්න තරම් මගේ වටිනාකමක් ඔවුන්ට නැති වුණා. ඔවුන් මගෙන් විමසුවා මේ ණය මුදල පියවන්න කොහොමද ස්ථිර රැකියාවක් නැතුව කියලා. ඇත්තටම, මට ඒ මොහොතේදී ලොකු කලකිරීමක් ඇති වුණා. අපි වෙනුවෙන් කතාකරන්න සංගමයක අඩුව මට ලොකුවට ඒ වෙලාවේ දැනුණා.
-
Q දමිත් අසංක කියන්නේ එකම රාමුවකට කොටු වෙලා ගී ගයන ගායකයෙක්ද?
මම මීට වසර කිහිපයකට පෙර එක්තරා ආයතනයක් සමග ගිවිසුමකින් බැඳී හිටියා. ඔවුන් ලබාදෙන ගීතවලට තමයි මගේ හඬ එක් කළේ. ඉතින් ඒ ගිවිසුමෙන් පිට යන්න මට පුළුවන් කමක් තිබුණේ නැහැ. දැන් ඒ ගිවිසුම ඉවරයි. ඒ නිසා මෑතක සිට මම මටම ආවේණික වෙනස්ම ගී කිහිපයක් රසිකයන්ට තිළිණ කළා. ඉදිරියේදීත් වෙනස්ම ගීත කිහිපයක් රසිකයන්ට ලබාදෙන්න සූදානමින් මම ඉන්නවා.
-
Q ඔබට ප්‍රසංග වේදිකාවේදි එදා තිබුණ ඉල්ලුම අදටත් තියෙනවාද?
පහුගිය කාලේ මට එක දිනකදී සංගීත ප්‍රසංග 6, 7 කට ආරාධනා ලැබෙනවා. නමුත්, ඒ ආරාධනා අමාරුවෙන් හරි ප්‍රතික්ෂේප කරන්න වෙනවා. මොකද, ඔය ප්‍රසංග භාර ගත්තොත් මම වගේම ඒ ප්‍රසංගය සංවිධානය කරන අය අමාරුවේ වැටෙනවා. එතැනින්ම තේරෙනවා අදටත් මට ප්‍රසංග වේදිකාවේදී ලැබෙන ඉල්ලුම වැඩියි කියලා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

