පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින් කුරුණෑගල තඹුත්තේගම ප්‍රදේශයේ ප්රචාරක කටයුත්තක යෙදී සිටි 'අලුත් පරපුර' සංවිධානයේ සාමාජිකයන් වන ජ්‍යෙෂ්ඨ, ප්‍රවීණ කලාකරු ලක්ෂ්මන් විජේසේකර, රංගන ශිල්පිනී ශානි සමනලී ෆොන්සේකා, චිත්‍රපට අධ්‍යක්ෂක උදය ධර්මවර්ධන, සංගීතඥ ඉන්ද්‍රචාපා ලියනගේ ඇතුළු කලාකරුවන් පිරිසකට පෙරේදා (29දා) වයඹ පළාත් සභා එ.ජ.නි.ස මන්ත්‍රී කමල් ඉන්දික ඇතුළු නිල් බළකා ටී ෂර්ට් වලින් සැරසුණ පිරිසක් විසින් අමානුෂික පහරදීමක් සිදුකර තිබිණි. ඒ සම්බන්ධව මෙරට ප්‍රවීණ කලාකරුවන් පිරිසකගෙන් අදහස් විමසන්නට අදහස් කළෙමු. මේ ඔවුන් ඒ පිළිබඳව දැක්වූ අදහස්ය.
ආචාර්ය රෝහණ වීරසිංහ
ලක්ෂ්මන් විජේසේකර ඇතුළු කලාකරුවන්ට සිදුවූ පහරදීම හා හම්බන්තොටදී සිදුවූ පහරදීම තරයේ හෙළාදකිනවා. අපි මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.
1977 – 1994 යුගයේදීත් ඔවැනි මැර ක්‍රියාවන්ට එරෙහිව අපි හඬනැගුවා. මෙය කිසිසේත් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවූවක් බව පිළිගන්නේ නැහැ.
නමුත් පාක්ෂික මට්ටමේ නූගත් පිරිසකගේ නොහොබිනා, නොහික්මුණු ක්‍රියාවක් තමයි මෙතන තියෙන්නෙ. ලක්ෂ්මන් විජේසේකර කියන්නෙ මගේ අතිජාත මිත්‍රයෙක්. මම ඔහුට පෞද්ගලිකවත් මගේ කණගාටුව ප්‍රකාශ කළා වගේම ඔහුගේ සුව දුක් සොයා බැලීමත් සිදුකළා. මේ තත්ත්වය අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.
ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ ජාතික සංවිධානය විදිහට අපි මේ සිදුවීම හෙළාදකින බව ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කරලා වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන්න කියලා. ලංකාවේ මැතිවරණ සම්ප්රදායේ තියෙන දෙයක් තමයි ගැටුම්කාරී තත්ත්ව ඇතිවීම. මේ සම්ප්රදාය කණගාටුදායකයි. අපි එය අනුමත කරන්නේ නැහැ. සමහර පාක්ෂිකයන් කරන වැඩවලින් ජනාධිපතිතුමාගේ මූණෙ දැලි ගෑවෙනවා.
විශාරද එඩ්වඩ් ජයකොඩි
කලාකරුවන් කියන්නේ ජාතිය සතු සම්පතක්. ශ්‍රී ලංකාවේ කලාකරුවන් හැම ශ්‍රී ලාංකිකයෙකුටම අයිතියි. ඔවුන්ගේ නිර්මාණ රසවිඳිනකොට සහෘදයො ඔහුගේ ජාති පක්ෂ වර්ණ ආදිය ඔළුවෙ තියාගෙන නෙවෙයි රසවිඳින්නෙ. අපේ රට ප්රජාතන්ත්රවාදී රටක්. ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් දරන්න පුළුවන්. ඒ මතය වෙනුවෙන් ප්‍රතිවිරුද්ධ මත ප්‍රකාශ කරන්නත් ඕන කෙනෙකුට නිදහස තියෙනවා. නමුත් හිංසා පීඩා කිරීම්, පහරදීම්, තැලීම් පෙළීම් කරන්න කිසිවෙකුට අයිතියක් නැහැ.
අපි පාසල් යන කාලෙ සිට මේ දේශපාලන ගැටුම් දැකල තියෙනවා. අපි ඒ කිසිවක් පාසල් යන කාලෙදිවත් අනුමත කළේ නැහැ. දැනුත් මේ දේවල් තරයේ හෙළාදකිනවා. මොන ජාතියකින්, මොන පක්ෂයකින්, කුමන කණ්ඩායමකින් කළත් අපි එය හෙළාදකිනවා. ලක්ෂ්මන් විජේසේකර කියන්නෙ මගේ සහෝදරයෙක්. ඔහු ඇතුළු සහෝදර කණ්ඩායමට සිදුවූ අපහසුතාව පිළිබඳව ලංකාවේ වැඩිහිටි කලාකරුවෙක් විදිහට මම මගේ කණගාටුව දැඩි ලෙස ප්‍රකාශ කරනවා.
ආචාර්ය සෝමරත්න දිසානායක
මට හිතෙන්නෙ ගැරඬියෙකුට භූමිතෙල් වැදුනම එහාට මෙහාට දඟලනවා, යන්නෙ එන්නෙ කොහෙද කියල ඉවක්බවක් නැතිව. අද රජයට වෙලා තියෙන්නෙත් ජනරැල්ල මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙන විට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය කියන ගැරඬියාට ජනරැල්ල කියන භූමිතෙල් වැටුණාම ඉවක්බවක් නැතිව දඟලනවා. මේ නිසා ඔහුත් ඉවක්බවක් නැතිව තමන්ට එරෙහි මත දරන අයට පහර දෙනවා. දැනි මේ අපේ දරුවො අපට වඩා සිහිබුද්ධියක් තියෙන, රට ලෝකෙ ගැන දැනුමක් තියෙන, රටට ආදරය කරන තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න ස්වාධීනව ගිහිල්ලත් කාටවත් හිරිහැරයක් නැතිව ජනතා දැනුවත් කරන විට ඊට පහරදෙනවා කියන්නෙ ඒ පහර දෙන්නෙ හතර පස්දෙනෙකුට නෙවෙයි, රටේ තරුණ පරපුරටයි. තරුණ පරපුරට මේ අය නොකිය කියන්නෙ කතා කරන්න එපා ගහනවා, කතා කරන්න එපා විනාශ කරනවා, කතා කරන්න එපා අඩත්තේට්ටම් කරනවා, කතා කරන්න එපා මරනවා කියන එකයි. වාසනාවකට අපේ කවුරුවත් මැරුණෙ නැහැ. හැබැයි කලාකරුවෙකුට හෝ කලාකරුවෙකුගෙ දරුවෙකුට එකපාරක් ගහනකොට ඒ අසාධාරණය දකින අපේ රටේ ලක්ෂයක් පුරවැසියො ඔවුන්ට විරුද්ධව නැඟී සිටිනවා. ඒ අය කවුද කියලා මේ පහරදීම හරහා සනාථ කරනවා. මේ පහරදීම හරහා ඒ අයගේ පාලනය මොකක්ද, සාධාරණය මොකක්ද කියලා සනාථ කරනවා.
ගැරඬියාට භූමිතෙල් වත්කරනවා වගේ දඟලනවා පරාජය බාරගන්නෙ නැතිව සිහිසුන්ව. මේ දඟලන ගැරඬියාට යටවෙලා අපේ ළමයි කියන මල් පැළ පොඩිවෙනවා. ඒක තමයි එදා සිද්ධවුණේ. මේ පහරදෙන්නෙ ඇයි? පහර කන්න මේ දරුවන් කළ වරද මොකක්ද? මේ දරුවන්ට රට ගැන කතා කරන්න, තම මතය ප්‍රකාශ කරන්න අයිතියක් නැද්ද? මේ අය කියන කතා කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස කොහෙද තියෙන්නේ. මැර බලයෙන්, ජඩ බලයෙන්ද රට පාලනය කරන්නෙ කියන ප්‍රශ්න අපිට මේ අයගෙන් අහන්න වෙනවා. ජනතාවත් මේ පිළිබඳව සිහිබුද්ධියෙන් සිතා බලාවි.
රේණුකා බාලසූරිය
ඇත්තටම ලැජ්ජයි, හිරිකිතයි. හරිම දුකක් දැනෙනවා. ලක්ෂ්මන් විජේසේකර කියන්නෙ අපට සහෝදරයෙක් වගේ. අපෙන් පසු පරම්පරාවට තාත්ත කෙනෙක් වගේ හැසිරෙන කෙනෙක්. අපි මේ සිද්ධියේ වීඩියෝ දර්ශන නරඹපුවාම දැක්කා පළාත් සභා මන්ත්‍රීවරයා පයින් ගහන ආකාරය. ලක්ෂ්මන් වගේ මනුස්සයෙකුට කකුල උස්සනවා කියන්නෙ අපි වගේ ජනතාවට කාගෙ පිහිටක්ද?
මේ අය නිල් බළකායෙ ටී ෂර්ට් ඇඳගෙන පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් ඉදිරියේ කිසිදු බයක් නැතිව ගහනවා කියන්නෙ මෙතන තියෙන්නෙ කැලෑ නීතිය කියන දේ සනාථ වෙනවා. නීතිය රකින බලධාරීන් ඉදිරියේ මෙවැනි දෙයක් කරන්න පුළුවන් නම් මුළු රටටම ඔවුන් කියන්නෙ නීතිය තමන්ගේ කියලයි. ලොකු විද්වතුන් කෑ ගහනකොට නීතිය වල්වැදිලා කියලා එය ක්‍රියාවෙන්ම සනාථ කර පෙන්වීමක් තමයි අපි දැක්කෙ. අද රට මෙහෙම නම් අපි හෙට කොහෙටද යන්නෙ. අපේ දරුවන්ට අපි ඉතිරි කරලා යන රට මේකද? මම මේ වෙලාවේ රටේ හැම පුරවැසියෙකුටම කියනවා අපි මේ යන්නේ මහා ප්‍රපාතයකට. මෙතැනින් මිදෙන්න ඕන නම් මේ තමයි එකම අවස්ථාව. මොළය පාවිච්චි කරන්න, හදවතට වහල් වෙන්න එපා.
ජැක්සන් ඇන්තනී
කලාකරුවන්ට විවිධ මත දැරීමේ අයිතියක් තියෙනවා. ඒ මතය ප්‍රකාශ කිරීමට විවිධ පැතිවල රැඳෙන්නටත් අයිතියක් තියෙනවා. ඒ මත පිළිගැනීම හෝ නොපිළිගැනීම ඒ ඒ කලාකරුවන්ට ආදරය කරන, කලාකරුවන් හඳුනන අයගේ පිළිවෙතක්. ඕනෑම දේශපාලන ධාරාවක කලාකරුවන්ට රැඳී සිටීමට හැකියි. දේශපාලනය කියන දේ කලා විෂයට වඩා වෙනස් දෙයක්. දේශපාලනය හා සම්බන්ධ වෙන පිරිස් නායකයන්ගේ මතිමතාන්තර මතම නෙවෙයි රැඳෙන්නේ. අද වනවිට ලංකාව වැනි රටවල ජාතිවාදය, කුලවාදය සේම පක්ෂවාදය, දේශපාලනවාදය දරා ගත්තු පිරිස් සිටිනවා. ඔවුන් බොහෝවිට කලාකරුවන් සතු ප්රගතිශීලී අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවයකින් නැහැ.
අපි දේශපාලනයේ දකින්නෙ කුලල් කා ගැනීම්, ගිනිබත් කිරීම් ආදියයි. මේවා පක්ෂ දේශපාලනය ආරම්භ වූ දා සිටම අපි දකිනවා. මේ නිසා සරල ප්‍රාථමික දේශපාලන හැසිරීම්වලට වඩා කලාකරුවන්ගේ ඉදිරිපත් කිරීම් වෙනම තලයක තියෙන්නේ. එය තේරුම් ගන්න අයත් ඉන්නවා, නොගන්නා අයත් ඉන්නවා. කොහොම වුණත් කලාකරුවා තම අදහස් ප්‍රකාශ කිරීමේ ප්රගතිශීලීත්වය ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම කලාකරුවාට මේ ප්රගතිශීලී අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සුරැකිය යුතුයි කියන අදහස තමයි මට පමණක් නොව සමස්ත කලාකරුවන්ටම තියෙන්නේ.
ධර්මසේන පතිරාජ
මේක ම්ලේච්ඡ මැර ප්‍රහාරයක්. මේ ප්‍රහාරයෙන් පැය භාගයකට පමණ පසු මමත්, ලූෂන් බුලත්සිංහලත්, ධර්මසිරි බණ්ඩාරනායකත්, චූලානන්ද සමරනායකත් ඒ ස්ථානයට යනවිට එතන ලොකු ගාලගෝට්ටියක්. ඔවුන්ට පොලිස් පැමිණිල්ලක්වත් කරන්න නොදෙන තරමට එලව එලවා පහර දුන්නා. මේ මැර ප්‍රහාරය සංවිධානය කළ පළාත්සභා මන්ත්‍රීවරයා මීට පෙරත් මැතිවරණ වලදී ඔවැනි මැර ප්‍රහාර මෙහෙයවපු කෙනෙක්. ලක්ෂ්මන් විජේසේකර කියන්නේ ඉතාමත් අහිංසක, කිසිවෙකුට කරදරයක් නැති කලාකරුවෙක්. එවැනි අයෙකුට කුණුහරුපෙන් බැන බැන පහරදෙන කෙනෙක් ඉන්නවද? අනිත් කාරණාව තමයි මේ මිනිස්සුන්ට අයිතියක් නැද්ද තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න. දැන් කියනවා පොලීසියට දැනුම් දෙන්න ඕනලු. කලාකරුවන් විද්වතුන්, විවිධ ප්‍රදේශවලට ගිහින් ජනතාවට දැනුවත් කිරීමට පොලීසියට කිව යුතුද? ඔය කොහොම වුණත් එතන හිටිය පොලිස් නිලධාරීනුත්, මැර ප්‍රහාරය එල්ල කළ අයට කිසිම අවහිරයක් සිදුකළේ නැහැ. මහින්ද රාජපක්ෂගේ බලය කොහොමහරි රැක ගන්න කරන මැර, අවිනීත ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස තමයි අපි මේ ප්‍රහාරය දකින්නේ.