අලුත් අවුරුද්ද පටන් ගනිද්දි අපි කාටත් අලුත් බලාපොරොත්තු ඇතිවෙනවා. අපි වගේම අපි ආදරය කරන කලා ක්ෂේත්රයේ තරුවලටත්, ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවලටත් අලුත් බලාපොරොත්තු ඇතිවෙනවා. ඒ නිසා නව වසර උදාවුණ අද දිනයේදී හා හා පුරා කියලා කලා තරුවල අලුත් බලාපොරොත්තු මෙන්ම නව වසරේ කියන කරන දෑ පිළිබඳව දැනගන්න අපි ඒ අයට කතා කළා.
රොෂාන් රණවන
තනිකඩයෙක් විදිහට හිටිය කාලයට වඩා විවාහකයෙක් වුණාම වගකීම් වැඩිවෙලා තියෙන නිසා කලා කටයුතුවලට වගේ පෞද්ගලික ජීවිතයටත් වැඩි තැනක් මේ අවුරුද්දේ ලබාදෙන්න මට සිදුවෙලා තියෙනවා. කලා කටයුතු ගත්තොත් පසුගිය අවුරුදු කිහිපයේදීම වගේ මේ අවුරුද්දේ මාව සිනමා නිර්මාණ හරහා තමයි වැඩිපුරම දකින්න ලැබෙන්නෙ. ඒත්, එදාට වඩා ලොකු වෙනසක් මා තුළින් ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙයි කියලා හිතනවා. මොකද, පසුගිය අවුරුදු කිහිපයේදීම බොහෝදුරට මම එකම රාමුවකට කොටුවෙලා රඟපෑවත් මේ අවුරුද්දේ මම ප්‍රේක්ෂකයන් හමුවන 'ස්පන්දන', 'මහරජ අජාසත්ත' හා රන් දේදුන්න කියන චිත්‍රපට තුනම එකිනෙකට වෙනස් චරිත. ඒ වගේම මාර්තු මාසයේදී රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත උලත් එකයි පිලත් එකයි' කියන ක්‍රියාදාම චිත්‍රපටයත් වෙනස්ම ආරේ චිත්‍රපටයක්. මේ චිත්‍රපටවලට අමතරව මේ අවුරුද්දේ තවත් චිත්‍රපට බොහෝ ප්‍රමාණයකට එකතුවෙන්න ආරාධනා ලැබිලා තියෙන නිසා සිනමාවත් එක්ක තමයි මේ අවුරුද්දේ මගේ ජීවිතේ ගෙවෙන්නේ කියලා සඳහන් කරන්න පුළුවන්.
ධනංජි තාරුකා
මේ අවුරුද්දෙ නම් බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒ බලාපොරොත්තු අතරින් ප්‍රධාන දේ තමයි මට ගැළපෙන හොඳ සහකරුවෙක් හොයාගන්න එක. ඒත්, විවාහ වෙන්න නම් මේ අවුරුද්දේ අදහසක් නැහැ. පුරුදු විදිහට කලා කටයුතුවලට දායකවෙන්න තමයි අනෙක් සැලසුම් වෙලා තියෙන්නෙ. මේ අවුරුද්දෙ බොහෝ විට මුලින්ම මා රංගනයෙන් දායක වුණ චන්ද්‍රරත්න මාපිටියගේ 'නිර්මායා' කියන නාට්‍යය විකාශය වේවි. ඒ නාට්‍යයේ මම රඟපාන්නෙ භාග්‍යා කියන චරිතය. ඊට අමතරව වෙළෙඳ දැන්විම් බොහෝ ප්‍රමාණයකට දායකවෙන්න කියලා ආරාධනා මේ වනවිට ලැබිලා තියෙනවා. ඊට අමතරව නිරූපණ කටයුතුවලට නැවතත් එකතුවෙන්න මේ අවුරුද්දෙ සූදානමක් තියෙනවා. සිනමාවට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කිහිපයකුත් දැනට ලැබිලා තියෙනවා. නමුත්, කාලය ලැබෙන විදිහට ඒ නිර්මාණ කටයුතුවලටත් එකතුවෙන්න සූදානමකින් ඉන්නවා.
උදය ශ්‍රී වික්‍රමසිංහ
මම මුලින්ම සංගීත අධ්‍යක්ෂණය කළ සුනෙත් මාලිංගගේ 'ස්පන්දන' හා නලින් රාජපක්ෂකගේ 'රන් දේදුනු' චිත්‍රපට මේ අවුරුද්දේ තිරගත වෙයි කියන බලාපොරොත්තුව මත තමයි මම ඉන්නෙ. ඒ අතර මගේම ගීත කිහිපයක් රූප රචනාද සහිතව මේ වසරේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මම පසුගිය වසර අගදී එළිදැක්වූ ගීතවල රසික ප්‍රතිචාර විඳිමින් මේ දවස්වල ඉන්නවා. ඒ ඇරෙන්න මගේ ගීත බොහෝමයක් තියෙනවා මේ අවුරුද්දේ එළිදක්වන්න. මේ දිනවලත් මගේ ගීත කිහිපයක සංගීත කටයුතු සිදුකරමින් ඉන්නවා. ඒ වගේම මගේ ශබ්දාගාරය හරහා නවකයන්ට මෙන්ම ප්‍රවීණ පිරිසට සංගීත නිර්මාණ කටයුතු බොහෝමයක් සිදුකරලා දෙන්න සැලසුමකුත් තියෙනවා. ඊට අමතරව පෞද්ගලික ජීවිතේටත් වැඩි කාලයක් වෙන් කරන්න හිතාගෙන ඉන්නවා. මේ අප්‍රේල් මාසේට මගේ පුතාට වසර 02 ක් ගෙවෙනවා. ඒ හින්දා පුතා ගැන ලොකුවට හිතන්න ඕන මේ කාලයේදී.
ගයාත්‍රි රාජපක්ෂ
විවාහ වුණ නිසා මේ අවුරුද්දෙ ඉතින් කලා කටයුතුවලින් තරමක් ඈත්වෙලා ඉන්න තමයි මගේ සැලසුම වෙලා තියෙන්නෙ. නමුත්, විවාහ වුණා කියලා ගෙදරින් නම් මට තහනමක් නෑ රඟපාන එක නවත්වන්න. ඒත්, මම විවාහ වෙන්න කලින් රඟපෑ ටෙලි නාට්‍ය 10 ක් විතර විකාශය වෙන්න තියෙන නිසා කලාව පැත්තෙන් පොඩි විවේකයක් ගන්න මේ අවුරුද්දෙ හිතාගෙන ඉන්නවා. බොහෝ විට ඉදිරි කාලයේදී මා රඟපෑ නාට්‍ය විකාශය වේවි කියලා හිතනවා. ඒ නිසා මම ක්ෂේත්රයෙන් තාවකාලිව ඉවත්වුණත් ඒක මට ආදරය කරන රසික පිරිසට දැනෙන එකක් නෑ කියලා හිතනවා. මගේ සැමියා අනුරාධ ව්‍යාපාරිකයෙක් ලෙස කාර්යබහුල ජීවීතයක් ගෙවන නිසා ඔහුගේ වැඩවලටත් උදව්වෙන්න මේ අවුරුද්දේ සැලසුම් කරලා ඉන්නවා.
පුබුදු ගමගේ
මේ අවුරුද්දෙ මගේ නම් බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒ බලාපොරොත්තු අතරෙ ප්‍රධාන වශයෙන් තියෙන්නෙ මගේ විවාහය. මේ අවුරුද්දෙ මගේ විවාහය සිදුවෙනවා. ඒත්, එක්කම මගේ MA විභාගය නිමා කරන්න තියෙන්නෙත් මේ අවුරුද්දෙ. මම විවාහ වෙන කෙනත් MA විභාගය කරන නිසා ඒ විභාගය නිමාවත් එක්ක තමයි අපේ විවාහය සිදුකරන්න සැලසුම් කරලා තියෙන්නෙ. ඊට අමතරව අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින ළමුන්ට මම උගන්වනවා. ඔවුන් සමග කලා උලෙළක් කරන්නත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා. මේ අවුරුද්දෙ අගෝස්තු මාසයේදී මේක කරන්න සැලසුම් කරලා තියෙන්නෙ. ඒ අතර මම රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍ය 10 ක් විතර මේ අවුරුද්දෙ විකාශය වෙන්න නියමිතයි. පසුගිය වසරවලට වඩා ටෙලි නාට්‍ය හරහා වැඩිපුර ප්‍රේක්ෂකයන් අතර මාව මතකයේ තියේවි කියලා මම හිතනවා.
කිශානි අලංකි
පසුගිය අවුරුද්දෙම මගේ නීති විභාගය වෙනුවෙන් කැපවෙලා හිටිය නිසා, මේ අවුරුද්දෙ මම වැඩිපුරම කලා කටයුතු ගැන හිතනවා. දැනටත් ඒ සඳහා ආරාධනා නම් බොහෝ ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒ නිර්මාණ අතරින් කරන්න හැකි හොඳ චරිත බලලා එකතුවෙන්න සැලසුම් කරලා තියෙනවා. ටෙලි නාට්‍ය වගේම, චිත්‍රපටවලටත් සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා. මොකද, පසුගිය කාලයේදී මාව මගේ ආදරණීය රසික, රසිකාවියන්ට දකින්න නොලැබුණ නිසා ඉක්මනින් ඒ අය අතරට යන්න හිතාගෙන ඉන්නවා. ඒ අතර හිරු ටි.වී. නාලිකාවේ විකාශය වන රියලිටි වැඩසටහනක පුබුදු චතුරංගත් එක්ක නිවේදන කටයුතුවලට එකතුවෙන්නත් මේ අවුරුද්දෙ හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ කටයුතුවලටත් ලැහැස්ති වෙන අතරේ පෞද්ගලික ජීවිතයත් සුපුරුදු පරිදිම ගෙවා දමන්න තමයි හිතාගෙන ඉන්නෙ. මේ තොරතුරු තමයි අලුත් අවුරුද්දෙ මගේ අලුත් බලාපොරොත්තු විදිහට තියෙන්නෙ.
තනාෂා සතරසිංහ
මගේ පළමුවෙනි චිත්‍රපටය වන 'රන් දේදුනු' හරහා සිනමාවට වැඩිපුර දායකවෙන්න තමයි මේ වසරේ මගේ තියෙන ලොකුම බලාපොරොත්තුව. දැනට චිත්‍රපට කිහිපයක් සඳහා මේ වසරේදී එකතුවෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. තවමත් ඒවා සාකච්ඡා මට්ටමින් යන නිසා ස්ථිර කියන්න බැහැ ඒ නිර්මාණ මොනවද කියලා. ඒ අතර අනෙකුත් නිරූපණ කටයුතුවලටත්, වෙළෙඳ දැන්වීම් සහ ගීත රූප රචනාවලටත් දායකවෙන්න අදහස් කරමින් ඉන්නවා. නව වසර උදාවත් එක්ක මම දායක වුණ වෙළෙඳ දැන්විම් කිහිපයක් විකාශය වෙන්න නියමිතයි. පසුගිය වසරේ මම ටෙලි නාට්‍යවලට වැඩිපුර තැනක් දුන්න නිසා මේ වසරේදී ටෙලි නාට්‍යවලින් තාවකාලිකව ඇත්වෙන්න සැලසුමක් තියෙනවා. බොහෝවිට ඒකට හේතුව මේ වසරේදී මම තරමක් දුරට කාර්යබහුල නිසා.
අකිල සඳකැළුම්
මේ අවුරුද්දෙ කලා කටයුතුවලට තමයි වැඩිපුරම යොමුවෙන්න හිතාගෙන ඉන්නෙ. ඒ වගේම මම තිර රචනා පැත්තෙන් ලොකු ගමනක් යන්න හිතාගෙන ඉන්නවා. දැනට මම තිර රචනා කළ ටෙලි නාට්‍ය 02 ක් නිර්මාණය කරලා තියෙනවා. බොහෝදුරට ඒ ටෙලි නාට්‍ය මේ අවුරුද්දේ මුල විකාශය වේවි කියලා හිතනවා. ටෙලි නාට්‍ය තිර රචනා පමණක් නෙවෙයි චිත්‍රපටවලටත් ලියපු තිර පිටපත් මා ළඟ තියෙනවා. නමුත්, ඒවා නිර්මාණය කරන්න නිෂ්පාදකයෙක් නැති අඩුව තියෙනවා. ඊට අමතරව මා රංගනයෙන් දායක වුණ 'දැක්කොත් පද්මාවති' කියන හාස්‍යමය චිත්‍රපටය මේ අවුරුද්දෙ මුල ප්‍රදර්ශන වීමට නියමිතයි. එහි මා ප්‍රධාන චරිත නිරූපණය කරනවා නෙතු ප්‍රියංගිකා කියන නවක නිළියත් එක්ක.
ඡායාරූප - චානුක කුලසේකර