බොලිවුඩ් සිනමා ඉතිහාසයේ වාර්තා රැසක් බිඳ දමමින් බොලිවුඩ් චිත්‍රපටයක් විසින් උපයාගත් වැඩිම ආදායම උපයා ගැනීමට රාජ්කුමාර් හිරුණිගේ පී.කේ. චිත්‍රපටය සමත්ව ඇත. පසුගිය වසරේ නොවැම්බර් 19 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා රටවල් රැසක සිනමා ශාලා 6000ක ප්‍රදර්ශනය ආරම්භ කළ මෙම චිත්‍රපටය පසුගිය සති අන්තය වන විට ඉන්දීය රුපියල් කෝටි 611ක මුදලක් උපයා ගැනීමට සමත් විය.
බොලිවුඩයේ සුපිරි ඛාන් නළුවෙකු වන අමීර් ඛාන් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලැබූ අතර, ඔහුගේ පෙම්වතිය ලෙස අනුෂ්කා ෂර්මා රංගනයෙන් දායක විය. ඔවුන් දෙදෙනා සිනමා පෙම්වතුන් ලෙස පෙනී සිටි පළමු බොලිවුඩ් චිත්‍රපටයද මෙය වීම විශේෂත්වයකි. මේ වනවිට සිරදඬුවම් ලබා සිටින සංජේ දත්ද මෙහි උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරනු ලබන අතර, බෝමන් ඉරානි, සුශාන්ත් රාජ්පුත් සිං හා සව්රබ් සුක්ලා යන පිරිසද මෙහි රංගනයෙන් දායක වී තිබේ.
පී.කේ. චිත්‍රපටයට පෙර බොලිවුඩයේ වැඩිම ආදායමක් ලබා තිබුණේද අමිර් ඛාන් රඟපෑ ඩූම් 3 චිත්‍රපටයයි. පසුගිය වසරේදී ප්‍රදර්ශනය වූ එය සිය ප්‍රදර්ශනය වූ කාල සීමාවේදී ඉන්දීය රුපියල් කෝටි 542ක මුදලක් උපයා ගැනීමට සමත්ව තිබුණි. කෙසේ වෙතත්, පී.කේ චිත්‍රපටය ප්‍රදර්ශනය වූ පළමු දින දෙක තුළදී වැඩි ආදායමක් උපයා ගැනීමට නොහැකි වූ නමුදු තෙවැනි දිනයේ සිට ආදායම් තත්ත්වය වැඩිකර ගැනීමට සමත් විය.
පී.කේ චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට පෙර මේ වසරේදී වැඩිම ආදායමක් උපයා ගනු ලැබුවේ ෂාරුක් ඛාන්ගේ හැපි නිව් ඉයර් චිත්‍රපටයයි. හැපි නිව් ඉයර් චිත්‍රපටය තිරගත වූ පළමු දිනයේදී ඔවුන් ඉන්දීය රුපියල් කෝටි 45ක මුදලක් උපයාගත්තද, පී.කේ චිත්‍රපටයට තිරගත වූ පළමු දිනයේදී උපයා ගැනීමට හැකිව තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 27ක මුදලකි. එහෙත්, පළමු සතියේදී සිය ආදායම් තත්ත්වය ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 183ක් දක්වා වැඩි කරගත් පී.කේ චිත්‍රපටය සතියකදී බොලිවුඩ් චිත්‍රපටයක් උපයාගත් ඉහළම ආදායමට හිමිකම් කීමටද සමත් විය.
2013 වසරේදී රිතික් රෝෂන්ගේ ක්‍රිෂ් 3, ෂාරුක් ඛාන්ගේ චෙන්නායි එක්ස්ප්‍රස් හා අමීර් ඛාන්ගේ ඩූම් 3 චිත්‍රපට ආදායම් උපයාගත්තා සේම මේ වසරේදී පිළිවෙළින් රිතික් රෝෂන්ගේ බැන්ග් බැන්ග්, ෂාරුක් ඛාන්ගේ හැපි නිව් ඉයර් මෙන්ම අමීර් ඛාන්ගේ පී.කේ. චිත්‍රපටය වැඩි ආදායමක් උපයා ගන්නට සමත් විය.
පී.කේ. චිත්‍රපටය ලබාගත් ලාභ ප්‍රතිශතය සියයට 276ක් ලෙස වාර්තා වේ. එය පසුගිය වසරේදී තිරගත වූ ක්වීන් චිත්‍රපටය ලබාගත් ලාභ ප්‍රතිශතයට පසුව වූ හොඳම ලාභ ලබාගත් ප්‍රතිශතය වේ. ඉන්දීය රුපියල් කෝටි 85ක වියදමින් තැනුණ මෙම චිත්‍රපටයේ සියලු රූපගත කිරීම් කටයුතු ඉන්දියාවේ පමණක් සිදුකොට ඇත. එහෙත්, ඉහළ තාක්ෂණික ක්‍රමවේදයන් යොදා මෙහි සංස්කරණ කටයුතු මෙන්ම පසුතල නිර්මාණ කටයුතුද සිදුකිරීම හේතුවෙන් ඉහළ මුදල් පිරිවැයක් දරන්නට සිදුව තිබූ බව සඳහන් වේ.