අරිට්ඨ වූ ලකීගේ දේශපාලන ඇතුළාන්තය
දැන්වීම් කලාවේ සිට රංගන කලාවට පිවිසි ලකී ඩයස් යනු ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්රයේ සිටින වාසනාවන්තම රංගන ශිල්පියෙකි. ඊට හේතුසාධක වූ කරුණු සිය විවිධාංග චරිත රංගනය වෙතින් ඔහු ඕනෑවටත් වඩා ප්‍රකාශ කොට තිබේ. ලකීගේ තවත් වෙනස් මුහුණුවරක් ගත් චරිත රංගනයක් මේ දිනවල දැකගත හැකිය.ඒ ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ 'අරිට්ඨ' නැමැති චරිතය වෙතිනි. අරිට්ඨ යනු එදා රාජසිංහ රජුට ගතු කේලාම් කී තවත් නිලමේවරයෙක් විය. දේශපාලන ක්ෂේත්‍ර‘යේදී අදද එවැනි චරිත සිටිනවා විය හැකිය. එතැනින් එහාට ගිය ඔහුගේ සැබෑ ජීවිතයේ දේශපාලන දැක්ම කෙසේ විය හැකිද? අරිට්ඨ හරහා අපි ලකීගේ දේශපාලන ඇතුළාන්තයට එබී බලමු.
Q ලකී ඩයස් ඔබ කවුද, කොහොම කෙනෙක් කියලද ඔබට හිතෙන්නේ?
මට හිතෙන විදියට සාම්ප්‍රදායික මිනිසාගේ භූමිකාවට පිටස්තරව ජීවත් වීමට වෑයම් කරන මිනිසෙක්.
Q ඇයි ඔබ එහෙම කියන්නේ?
දැඩි අවිනිශ්චිත බවක් හා අවිශ්වාසයක් ඇති සමාජයක් මා දකින්නේ. අපි කුඩා කල සිට ආ ලෝකය නෙවෙයි අද තියෙන්නේ. හරිම විෂමයි. එදත් මිනීමැරුම්, කොල්ලකෑම් ආදී දේ නොතිබුණා නෙවෙයි. විවිධ දේ තිබුණා. නමුත් අද කිසිම පරිමාණයක් නැහැ. පිළිවෙළක් නැහැ. තමුන්ගේ සහෝදරයාව මරන, අම්මා තාත්තව විකුණන, තමුන් රැකියාව කරන තැනට පවා වංචා කරන සමාජයක් අප දකින්නේ. දුෂ්ටකම බෙහෙවින් සමාජගත වෙලා. අන්න එවැනි ස්වභාවයක් ඇති සමාජයක තමයි අපි ජීවත් වන්නේ. මම මේ ස්වරූපය ඇතුළේ සාන්තුවරයෙක් නොවෙන්න පුළුවන්. නමුත් ඔය ඉහත කී දූෂිත සමාජයට අයත් මිනිහෙක් නෙවෙයි. කවුරු හරි මාත් එහෙමයි කියලා මට ඇඟිල්ල දිගු කළොත් හෙට වුණත් මැරෙන්න මම ලැහැස්තියි.
Q එහෙම නම් ඔබ කවුද?
මම බොහොම සැදැහැවත් විදියට ජීවත් වෙන්න වෑයම් කරන කෙනෙක්. නිතරම මම මෙනෙහි කරන්නේ හෙට මැරේවි කියලයි. අද මළගෙදරකට ගොඩවී බලන්න. ඒ මරණයේ ශෝකය බෙදාගැනීම වෙනුවට බොහෝවිට එතැනදි සිදුවන්නේ පාටියක් පවත්වනවා වගේ දෙයක්. ළඟම නෑදෑයින් හැරෙන්නට ඔවුනට දුක බෙදාගන්නවත් පුළුවන් පරිසරයක් එතැන නැහැ. හැමදෙයක්ම හරියට සංදර්ශනයක් වගෙයි. තුට්ටු දෙකේ ලෝකයක් බවට පත්වෙලා. මම සියල්ල දිහා උපේක්ෂාවෙන් බලන මිනිහෙක්.
Q එදා ඔබ ජීවිතය දිහා උපේක්ෂාවෙන් බැලූ බලදේව ලෙස රංගනයට පිවිස, විවිධ චරිත රංගනය ඔස්සේ ලකී ඩයස් නමැති රංග පෞරුෂය ගොඩනගා ගත්තා. ඔබගේ චරිතාංග රංගනයට එහා ගිය ලක්ෂපති හා වෙනත් රූපවාහිනී නිවේදන කටයුතු ඔබට ගැළපුණා යැයි ඔබ විශ්වාස කරනවාද?
ඔය ප්රශ්නය මම මටම අහගත්ත දෙයක්. එදා ලක්ෂපති වැඩසටහන සහ ඉන්පසුව 'කොෆි විත් ලකී' කියන වැඩසටහන්වල මම නිවේදනයේ යෙදුණා. මොන විදියට හරි මට ලැබෙන දේවල් මම බාරගන්නේ අභියෝග ලෙසයි. ඒක මගේ පුරුද්දක්. ඒවා අති සාර්ථක වූවා මිසක කිසිවිටෙකවත් අසාර්ථක වුණේ නැහැ. කුමන හෝ හේතුවක් මත මේ රටේ මා කළ සෑමදෙයක්ම වගේ සාර්ථක වුණා. මගේ ආදරණීය රටවැසියන් පිළිගත්තා. විවේචනය කළේ නැහැ.
Q ඔබ මේ දිනවල 'අරිට්ඨ' ලෙස ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ රංගනයක යෙදෙනවා. 'මහරජ දුටුගැමුණු' සහ 'අනගාරික ධර්මපාල' චිත්‍රපටවලත් ඔබ රඟපානවා. සමහරු මේවා දකින්නේ පවතින දේශපාලනය ඉදිරියේ ලකුණු දමාගැනීම් ලෙසයි. එය එසේ නම් එක්තරා කාලයකදී හැර දේශපාලනය නොකළ කලාකරුවකු ලෙස ඔබගේ දේශපාලන දැක්ම මොන වගේද? ඔබ එක් දෙයක් සඳහන් කළා. එනම් එක්තරා කාලයකදී දේශපාලයනය කළා කියන දේ.
නැහැ. කවදාවත්ම නැහැ. මා මේ දක්වා කිසිදාක දේශපාලනය කළ කලාකරුෙවකු නෙවෙයි. කවදද මම දේශපාලනය කළේ?
Q 77 පසුව ජේ.ආර් ජයවර්ධන සහ ප්‍රේමදාස ජනාධිපතිවරුන්ගේ දේශපාලන ප්රවාහයට සමීපව කටයුතු කළේ නැද්ද?
විශිෂ්ට දේශපාලනඥයන් ඇසුරු කිරීමට ලැබුණු වාසනාවන්තයෙකු මිසක මම දේශපාලනය කළ කෙනෙක් නෙවෙයි. මම තරුණ කාලෙදි බෑන්ඩ් ගහලා, තරු පහේ හෝටලවල සංගීතය කරමින් මහ රෑ බෝ වෙලා ගෙදර එමින් සිටි කාලයේදී අපේ තාත්තා මාව කණෙන් ඇදගෙන ගිහින් තාත්තගේ මිතුරා වූ ආනන්ද තිස්ස ද අල්විස් නමැති කථානායකතුමා වෙත යොමු කළා. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය ඇතිවුණේ එතැනින්. ආනන්ද තිස්ස ද අල්විස් සූරීන්ගේ මගපෙන්වීම නිසා දැන්වීම්කරණයට පිවිස නිර්මාණාත්මක ගමනකට මුලපිරුවා.
එතුමා යටතේ සිටියදී තමයි ජේ.ආර්, ප්‍රේමදාස වැනි මහා දැවැන්ත දේශපාලන චරිත සමීපයට යන්න ලැබුණේ. මොකද ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමා මට සැලකුවේ එයාගෙම පුතෙකුට වගෙයි. එතුමා සමීපයේ සිටියදී ජනාධිපති, අගමැති නිතර හමුවුණා. ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමා මාව මුල්වරට ජේ.ආර් ජනපතිට හඳුන්වා දුන් දවසේ "ආ මුන්නැහේද, මුන්නැහේ මං හොඳට දන්නවනේ, මුන්නැහේ රඟපාන අර කතාන්දරය මං බොහෝවිට ඕනෑකමින් නරඹනවා" කිව්වා. පසුකාලීනව 'යශෝරාවයේ' රඟපෑම වෙනුවෙන් හොඳම නළුවා සම්මානය ලැබීමට පෙර එදා උලෙළ පැවැත්වූ දවසේ ප්‍රේමදාස අගමැතිතුමා මට කතා කරලා "මං මේ ලකීට සුබපතන්න ගත්තෙ. අද උලෙළේදී සම්මාන පිරිනැමීමට එන්නෙ මම" කියල කිව්වා. එහිදී ගාමිණී දිසානායක මැතිතුමාවත් සිහිපත් කළ යුතුමයි. එදා මම වයස විසි එකක, දෙකක කොල්ලෙක්.
ලොකු මිනිහෙක් වුණේ නැහැ. නමුත් ප්‍රකට දේශපාලනඥයින් අතර මට පිළිගැනීමක් තිබුණා. වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවා එදා වගේම අදත් කොතැනකදී දුටුවත් මා එක්ක බොහොම මිත්රශීලීව කතා කරලා යන්න මැලි වෙන්නෙ නැහැ. එතුමා මට පුදුමාකාර ළෙංගතුකමක්, ගරුත්වයක් දක්වලා තියෙනවා. ඒ වගේම මටත් එතුමා කෙරෙහි තියෙන්නෙ අසීමිත භක්තියක්, ගෞරවයක්. ඒ සියල්ල දේශපාලන ව්‍යුහයේ සැරිසරන කලාකරුවෙකු ලෙස නෙවෙයි. නමුත් මේ අතිගරු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව අගයන්න මම කිසිවිටෙකත් පැකිළෙන්නෙ නැහැ. එතුමා මොනතරම් ප්‍රශ්න ආවත්, නිතරම සිනාමුසු මුහුණින් පෙනීසිටින අව්‍යාජ නායකයෙක්. මොනතරම් බලවේග, විදේශීය ආක්‍රමණ ආවත් ඒවා ජයගන්න නායකයෙක්. ඉතින් එතුමාට මා තුළ තිබෙන්නෙ විශාල ගෞරවයක්.
Q අද බොහෝ කලාකරුවන් අනුගමනය කරන්නෙ මේ විදියට ජනාධිපතිවරයා ගැන වර්ණනා කරලා ලකුණු දමාගැනීමේ න්‍යායන්නේ. ඔබ මේ විදියට ඔහු වර්ණනා කරලා කරන්නෙත් එයම නේද? මොකක්ද මේ ඔබ කියන්න හදන්නෙ?
මට කිසිම ලකුණු දාගැනීමක් අවශ්‍ය නැහැ. එහෙම කරන්න ඕනෙත් නැහැ. මම මේ වර්ණනා කළේ, ප්‍රකාශ කළේ මට දැනිච්ච දේ, මගේ හදවතේ තියෙන දේ. ඒ වෙනුවෙන් මට ප්රතිලාභ අවශ්‍ය නැහැ. මම මේ ප්‍රකාශ කළේ මේ රටේ ජනාධිපතිතුමා ගැන මට දැනෙන විදිය ගැනයි. මේ රටේ යුද්ධයක් පැවැති මොහොතේ මොනතරම් නම් පීඩනයක් දැනෙන්න ඇතිද?
නමුත් ඒ සියලු දේ යටපත් කරගෙන ජනතාව එක්ක එතුමා හිනාවෙලා හිටියා. මේ අපූරු ගුණය මම අගය කරනවා. එදා වගේම අදත් එතුමාට - රටට එරෙහිව මොන තරම් නම් බලවේග ක්‍රියාත්මක වෙනවද?
ඒත් එතුමා කවදද සැලුණේ? මේ තේජාන්විත ගුණයටත් මම අවංකවම කැමතියි. මෙහෙම ප්‍රකාශ කළේ සත්තකින්ම මම කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි. මට කිසිදෙයක් අවශ්‍යත් නැහැ. අවංකවම හිතට දැනෙන දේ ප්‍රකාශ කළා, එපමණයි.
Q දේශපාලනයෙහි කිසිදු පලපුරුද්දක් නොලැබූ කලාවට සම්බන්ධ සමහර අය අද පාර්ලිමේන්තුවට ගොස් සිටිනවා. ඒ අය අතර, දේශපාලනයෙහි යම්කිසි විදියක පරිචයක් ලබා ඇති ඔබ පාර්ලිමේන්තුවේ නොසිටීම ගැන දුකක් දැනෙන්නෙ නැද්ද?
ඇත්ත වශයෙන්ම එදා ආනන්ද තිස්ස අල්විස් මහතා කෝට්ටේ දේශපාලනය කරද්දි මාත් එතුමා එක්ක ගියා. එතුමා කථානායක වූ පසු සමහර අවස්ථාවල එතුමාව පාර්ලිමේන්තුවට පවා ඇරලුවේ මමයි. මේවා ජනතාව නොදන්නා දේවල්.
නමුත් ඒ සියල්ල කළේ දේශපාලනයට නොවෙයි. ගුරු ගෝල සබඳතාවටයි. මාව මේ තත්ත්වයට ගෙනඑන්න මුල් වූ දෙවැනි පියා හා සමාන චරිතයක් එතුමා. මගේ ජීවිතයේ අසහාය වීරයා මගේ තාත්තා වොලී ඩයස්. ඊට පසුව මගේ ගුරු පියා කර්නල් පී.ඩබ්ලිව්. රාජපක්ෂයි. ඉන්පසු ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමා සහ ගාමිණී ෆොන්සේකා සූරීන් නම්කළ හැකියි. මේ අය තමයි මගේ ගමනේ ගුරු පියවරුන් වුණේ. මේ විදියට පරිචය ලබමින් සිටියදී එක්තරා අවස්ථාවක ආනන්ද තිස්ස ද අල්විස් සූරීන් මට කිව්වෙ මීළඟට මගෙන් පසුව කෝට්ටෙට සුදුස්සා උඹයි කොල්ලො කියලයි.
එහෙම නම් එදා, එනම් අසූ ගණන්වලදි මට ජන්දය ඉල්ලන්න තිබුණනේ. "අනේ නෑ සර්, මං ඔය මාතෘකාවට කැමති නැහැ" කියලා එදා මං එතුමට කිව්වා. මට දෙයියො දීලා තියෙනවා රංගන හැකියාව. ඉතින් ඒක තමයි මගේ සේවය කියලා එදා මම එතුමාට කිව්වා. මිනිසුන්ගේ චිත්තන දහරාවට හරවත් වින්දනයක් සහිතව කලාවෙන් යමක් කිරීමටයි මට ඕනෑවුණේ. නමුත් අවාසනාවකට අද වනවිට නම් කලාව බල්ලට යමින් තියෙන තත්ත්වයක් තමයි මම දකින්නෙ.
Q ඔබ එක් තැනෙකින් මගහැරියා. අද එක් නාට්‍යයක, එක් දැන්වීමක පෙනීසිටි අය පවා දේශපාලනයෙහි චරිත බවට පත්වෙලා. එහෙව් එකේ මේ තරම් දේශපාලන පරිචයක් ලැබූ ඔබ දේශාපාලනයෙහි ක්‍රියාකාරී නොවුණේ ඇයි?
ඒක තමයි අද තියෙන දේශපාලන ව්‍යුහයේ තත්ත්වය. අද දේශපාලනය කියන දේ නොසිතූ මට්ටමකට පහළ වැටිලා. හැත්තෑ ගණන් - අසූ ගණන්වල වගේම ඩී.එස්. සේනානායකයන්, ඩඩ්ලි සේනානායකයන්ගේ සිට බණ්ඩාරනායක දේශපාලනයේ සිට ගෙවීගිය දේශපාලනයෙහි හරයක් විනයක් තිබුණා. නමුත් අද ඒ කැප වූ දේශපාලනය නැහැ.
පළාත් සභාවේ වගේම පාර්ලිමේන්තුවේදිත් සමහර බොල් චරිත දැකගන්න පුළුවන්. අන්න ඒ වෙනස කැපී පෙනෙන්නෙ සහ එදා සිටි හරවත් දේශපාලනය අද කැපීපෙනෙන්නෙ ජනාධිපතිතුමාගෙන් පමණයි. එදා තිබුණු ඒ ගුණවත් දේශපාලනය තියෙන්නෙ එතුමා ළඟ පමණයි. හදවතින්ම රටට ආදරය කරමින්, එතුමා කරන්න හදන දේ කාටවත් බොරුවක් කියලා කියන්න බැහැ. මේ තිස්වසරක කාලයක තිබුණ යුද්ධය ජයගැනීමට එතුමා කළේ අතිවිශිෂ්ට සේවයක්. මේවා අපට අගය නොකර සිටිය හැකිද?
Q සමහරු මේ නිසාද අද කියන්නෙ යුද්ධයෙන් පසුව ලංකාව හරි හිස් කියලා. ඔබටත් ඒ විදියට දැනෙනවද?
මම ජනාධිපතිතුමාව වර්ණනා කරන බව ඇත්ත. මේ රටේ යුද්ධයක් අත්විඳි මිනිස් කොට්ඨාසයක් අපි. ඒ ගෙවීගිය කාලයේ යුද්ධයවත් හරියට කරගන්න බැරිව සිටි නායකයන් අතර, ඒ කුරිරු යුද්ධය හෝ හරියට කළේ මෙතුමා විතරයි. ඒ යුද ව්‍යසනයෙන් පසුව රටේ බොහෝ දේ අපේ ඇස් පනාපිට සංවර්ධනය වෙමින් පවතිනවා. දැන් අපි ජාති, ආගම්, භේද නොසලකා පටු විදිහට නොසිතා කටයුතු කළයුතු කාලය ඇවිදින්. පටු විදිහට හිතන සමහර දේශපාලන චරිත මේ සමගිය බිඳින්න හදනවා.
මේක මම දකින කාලකණ්ණි දෙයක්. මේ ජනාධිපතිතුමා ලබාදුන් නිදහස අර්ථවත් කරන්න අපි එකට අත්වැල් බැඳගත යුතුයි. අපේ රට හිස් රටක් නොවෙයි, සැබෑ අරුතින්ම හරයක් ඇති රටක්.
සඳුන් ගමගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

