අපේ උත්සාහය සිනමාව හැදෑරිය හැකි, හැදෑරිය යුතු විෂයයක් බව සමාජයට අවබෝධ කරවීමයි
''අපි මෙවර තුන්වැනි වතාවටත් කොළඹ අන්තර්ජාතික ශිෂ්‍ය චිත්‍රපට උලෙළ හෙවත් COINS (Colombo International Students Film Festival) පවත්වන්න සූදානම් වෙනවා. මේ උලෙළ අප පවත්වන්නෙ සැප්තැම්බර් 7,8,9 දිනවල කොළඹ පදනම් ආයතනයේදීයි.
මේ සඳහා අප රට ඇතුළුව ලෝකයේ අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම කෙටි චිත්‍රපටය ඉදිරිපත් කරන්න පුළුවන්. මෙහි කෘති බාරගන්නා අවසාන දිනය අගෝස්තු 7 වැනිදා. තමන්ගේ කෙටි චිත්‍රපට පදනම් ආයතනයේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමියට පැමිණ බාරදීමට පුළුවන්.''
මෙලෙස අප හා සංවාදයට එක්වන්නේ ධනුෂ්ක ගුණතිලක මහතාය. ඔහු මෙම උලෙළ සංවිධානය කරන ඩිජිටල් ෆිල්ම් ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ඔහු චිත්‍රපට කැමරා ශිල්පියෙකු ලෙසද කටයුතු කරයි. තවදුරටත් මේ පිළිබඳ පැහැදිලි කරන ධනුෂ්ක ගුණතිලක මහතා මෙසේද ප්‍රකාශ කළේය.
''ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමියේ ඩිජිටල් චිත්‍රපට අධ්‍යාපන වැඩසටහනේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අවසාන අධ්‍යාපන කාර්තුවේ කොටසක් ලෙස තමයි මේ උලෙළ සංවිධානය කරන්නෙ. මෙය ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේ පවතින එකම අන්තර්ජාතික ශිෂ්‍ය චිත්‍රපට උලෙළයි.
මෙය මුලින්ම පටන් ගත්තේ 2011 වසරේ. දෙවැනි උලෙළ 2014 වර්ෂයේදී පැවැත්වුණා. මෙවර 2017 වසරේ පැවැත්වෙන්නෙ තුන්වැනි උලෙළයි. වසර දෙකක අධ්‍යාපන කාලයක් ඇති ඩිජිටල් ෆිල්ම් ඇකඩමියේ තුන්වැනි කණ්ඩායම අධ්‍යාපනය නිමාකොට සහතික පත් ලබන උලෙළට සමගාමීවයි මෙම චිත්‍රපට උලෙළ පැවැත්වෙන්නෙ.
මෙම උලෙළ තරගකාරී උලෙළක්. විශ්වවිද්‍යාල ඇතුළු ඕනෑම අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් තම කෘති මෙම උලෙළට ඉදිරිපත් කරන්න පුළුවන්. තමන් අධ්‍යාපනය ලබන ආයතනයේ 'ප්‍රොජෙක්ට්' එකක් විදිහට කරපු චිත්‍රපට පමණයි මෙම උලෙළට ඉදිරිපත් කරන්න පුළුවන්. මෙම තරගකාරී උලෙළේ සම්මාන 17ක් තිබෙනවා.
එම සම්මාන උලෙළ පදනම් ආයතනයේදී පැවැත්වෙන්නෙ සැප්තැම්බර් 09 වැනිදායි. ජර්මනියේ බාර්ඩ්න් සිනමා ඇකඩමිය, ප්‍රංශයේ රූබිකා සිනමා ආයතනය, ස්කොට්ලන්ඩ්යාඩ් විශ්වවිද්‍යාලය, නිව්යෝක් යුනිවර්සිටි කොලේජ්, යුනිවර්සිටි ඔෆ් අබුඩාබි යන අධ්‍යාපන ආයතන ඇතුළුව ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය සහ ඉන්දියාව යන රටවල්වලින් දැනට අපට මෙම උලෙළට චිත්‍රපට ලැබිලා තිබෙනවා.
මීට අමතරව මෙම 'කොයින්ස්' උලෙළේ තරගකාරී නොවන අංශයකුත් පවතිනවා. මේ තුළින් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ තුළ අවධානයට ලක් වූ කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය කරනවා. ඒ යටතේ ප්‍රංශයේ වෙසුල් චිත්‍රපට උලෙළේ චිත්‍රපට පැකේජයක් ප්‍රදර්ශනය වෙනවා.
2017 වසරේ අවසාන වතාවට ඉරාන චිත්‍රපට අධ්යක්ෂ කියෝරොස්තාමි අධ්‍යක්ෂණය කළ 'Take me Home' කෙටි චිත්‍රපටයත්, ඔහු පිළිබඳවම නිර්මාණය වූ මිනිත්තු 78ක චිත්‍රපටයත්, මෙවර බර්ලින් සිනමා උලෙළේදී සම්මාන ලැබුණු 'ලාතෝරි' නම් චිත්‍රපටයත්, ඉරාන චිත්‍රපට උලෙළේ පැකේජයකුත් මෙම තරගකාරී නොවන අංශයේ ප්‍රදර්ශනය වෙනවා.
මුහුදු වෙරළේ පවත්වන අන්තර් ජාතික චිත්‍රපට උලෙළක් තිබෙනවා. මෙවර එම උලෙළ පවත්වන්නෙ බංගලාදේශයේ. මෙවර 'COINS' උලෙළේදී අවධානයට හා සම්මානයට පාත්‍ර වන චිත්‍රපට එම උලෙළේ දී ප්‍රදර්ශනය කිරීමටත් අප කටයුතු සම්පාදනය කර තියෙනවා.
මීට අමතරව පාසල් ශිෂ්‍යයන්ටත්, සිනමාව හදාරන්නන්ටත්, වෘත්තීය වශයෙන් සිනමාවේ නියුතුවන්නන්ටත් මෙම උලෙළ පවත්වන දින තුනේදී නොමිලේ 'Master Classes' කිහිපයකුත් පවත්වනවා.
ඒ වගේම ලංකාවේ ඇති චිත්‍රපට නිෂ්පාදන ආයතනවල ප්‍රදර්ශන කුටි පවත්වාෙගෙන යෑමටත් අපි ආරාධනා කරලා තියෙනවා. මේ තුළින් තමන්ගේ නිෂ්පාදන ආයතනයේ අලුත්ම උපකරණ හා නව තාක්ෂණය ප්‍රදර්ශනය කරන්න පුළුවන්. නරඹන්න එන අයට ඒ තුළින් අලුත් අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාවක් පවතිනවා.
සැප්තැම්බර් 7 සහ 8 දින දෙකේ විදේශ රටවලින් එන චිත්‍රපට නිර්මාණකරුවන් සමග පදනම් ආයතනයේ නුග ගස අසල අංගනයේ රාත්‍රී 7 සිට රාත්‍රී 12 දක්වා දිනකට වෘත්තාන්ත චිත්‍රපට දෙක බැගින් චිත්‍රපට 04ක් ප්‍රදර්ශනය කරනවා. එම චිත්‍රපට අවසානයේ එම විදේශීය නිර්මාණකරුවන් සමග ප්‍රේක්ෂකයාට සංවාදයක්ද ඇතිකර ගන්නත් පුළුවන් වේවි.
මෙම උලෙළ පවත්වන දින තුන සිනමා සැණකෙළියක ස්වරූපය ඇති කරන්න අපි උත්සාහ කරනවා. සිනමාව හැදෑරීමට පුළුවන් විෂයයක් බවත්, සිනමාව හැදෑරිය යුතු බවත් සමාජයට අවබෝධ කරන්න අපි මේ තුළින් උත්සාහ කරනවා. www.coinsfilmsfest.com වෙබ් අඩවියෙන් මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබාගන්න පුළුවන්.''
සටහන - පද්මකුමා පී. මෙත්තසේන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

