'යමීශා රසාධි' කියන්නේ නිරූපණ ක්ෂේත්රයට අලුත් මුහුණුවරක්. ඇය නිරූපණය කරන ලැබූ ඡායාරූපයන් සඳහා ෆේස්බුක් තුළ ඉහළ ප්‍රතිචාරයක් හිමිව පවතී. පසුගිය වසර ඉතාලියේ පැවැත්වූ Miss Progress International 2016 යන ජාතන්‍යන්තර තරගයේදී අවසන් පස්දෙනා අතරට තේරි පත්වීමටද ඇයට අවස්ථාව හිමි විය. සිය කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට ඇය අපත් සමග මෙලෙස සම්බන්ධ විය.
Q මේ දිනවල රූපවාහිනියේ නිතර දකින්න ලැබෙනවා නේද?
ඔව්, ඒ එලිෆන්ට් හවුස් ආයතයේ ක්රීම්සෝඩා වෙළෙඳ දැන්වීම නිසයි. ඒ වෙළෙඳ දැන්වීම මේ දවස් ටිකේ ටිකක් ජනප්‍රියවෙලා තියෙනවා.
Q නිරූපණයට දායක වුණේ කොයි කාලෙද?
නිරූපණයට දායක වුණේ මෑතකදී.
Q පසුගිය වසරේ ලංකාව නියෝජනය කරමින් තරගයක් සඳහා සහභාගී වුණා නේද?
ඔව්, ඒ Miss Progress International 2016 කියන ජාතන්‍යන්තර තරගය. ඉතාලියේ පූලන්යාවල තමයි එය පැවැත්වුණේ. අවසන් පස්දෙනා අතරට එන්න අවස්ථාව ලැබුණා. ඊට අමතරව Miss Cultural කියන Mini Title එක හම්බුණා. තව මගේ National Costume එක Top 03 එන්න අවස්ථාව ලැබුණා.
Q Miss Cultural කියන Mini Title ගැන කතා කළොත්?
ඒ Title එක මට ලැබුණේ ජාතීන් අතර සුහදව කටයුතු කිරීම නිසයි.
Q ඉතාලියේ පැවැත්වුණු තරගය නුපුරුදු බවක් තිබුණේ නැද්ද?
කොහෙත්ම නැහැ. මොකද මම පොඩි කාලේ ඉඳන් ජීවත් වුණේ ඉතාලියේ. මම අධ්‍යාපනය ලැබුවෙත් ඉතාලියේ. වැඩිදුර අධ්‍යාපනයට තමයි ලංකාවට ආවේ.
Q නිරූපණ ක්ෂේත්රය පිළිබඳව දැන් මොකද හිතෙන්නේ?
මම හිතනවා දැන් නිරූපණ ක්ෂේත්රය යම්තාක් දුරට හොඳ මට්ටමකට පැමිණෙමින් තියෙනවා කියලා. මොකද අලුත් අය ක්ෂේත්රයට එනවා. එවැනි දේවල් වෙන්නෙ ක්ෂේත්රය තුළ යම්කිසි දියුණුවක් තියෙන නිසා කියල කියන්න පුළුවන්.
Q දායක වූ මුල්ම වෙළෙඳ දැන්වීම මතකද?
ඔව්, මම මුලින්ම දායක වුණේ පෑන් ඒෂියා බැංකුවේ වෙළෙඳ දැන්වීමක් සඳහායි. මේ වනවිට නම් වෙළෙඳ දැන්වීම් ගොඩක් සඳහා දායක වෙලා තියෙනවා. ඉදිරියේදිත් එක් වෙළෙඳ දැන්විමක් එළිදක්වන්න තියෙනවා. ඒක ගැන ඉතිං කියන්න බැහැනේ.
Q නිරූපිකාවක් විදිහට පමණද කටයුතු කරන්න හිතන් ඉන්නේ, රංගනයට එන්න බලාපොරොත්තුවක් නැද්ද?
මියුසික් වීඩියෝ සඳහා ආරාධනා කරලා තියෙනවා. තාම ඒ සඳහා මම කැමැත්ත දුන්නෙ නැහැ. චැනල් සී නාළිකාවෙනුත් ආරාධනා කළා නිවේදන කටයුතු සඳහා. කාලය පොඩ්ඩක් කළමනාකරණය කරගන්න අමාරු නිසා ඒ සඳහා දායක වුණේ නැහැ. ටෙලිනාට්‍ය සඳහා නම් ගොඩක් ආරාධනා ලැබුණා. නමුත් මට එහිදී ගැළපෙන චරිතයක් ලැබුණෙ නැහැ. මම ඕන දෙයක් ලැබෙනවට කරන කෙනෙක් නෙමෙයි. කාලයක් මතකයේ රැඳෙන චරිතයක් කරන්නයි අවශ්‍ය. ඒකට අවස්ථාවක් ලැබුණොත් ඒ සඳහා දායක වෙනවා.
Q ඉදිරි බලාපොරොත්තු එහෙම ඇති නේද?
ඉදිරි බලාපොරොත්තු කියල දෙයක් නැහැ. නමුත් ක්ෂේත්රය තුළ හරියාකාරව වැඩ කරගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. මොකද මම අද වෙනකල් කිසිම වැරදි මාර්ගයක් ඔස්සේ මගේ ජනප්‍රියත්වය ලබාගෙන නැහැ. නමුත් අද ගොඩක් දෙනා ඉක්මනින් ජනප්‍රිය වෙන්න වැරදි මාර්ග භාවිත කරනවා කියල චෝදනා කරනවා. මම එහි ඇත්තනැත්ත දන්නෙ නැහැ. නමුත් මම නම් එහෙම වැරදි මාර්ග ඔස්සේ ඉදිරියට යන්න කිසිම දවසක හිතන්නේ නැහැ.
Q උදව් කරපු පිරිසක් ඇති නේද?
නිරූපණය ඔස්සේ ඉදිරියට යනවට ගොඩක්ම කැමති මගේ ආච්චි අම්මා. ඒ වගේමයි මගේ තාත්තත්. එයත් නිරූපණයට සම්බන්ධ කෙනෙක්. මගේ හැම වැඩකටයුත්තක් සඳහාම සහයෝගය දෙන්නෙ මගේ අම්මා. මට නංගි කෙනෙකුත් ඉන්නවා. මේ අය තමයි මගේ ගමනට ගොඩක් සහයෝගය ලබාදෙන්නේ. මේ අයගේ අනුදැනුම ඇතිව තමයි මම කරන හැම වැඩකටයුත්තක්ම කරන්නේ.
ඡායාරූප - කවීත් මිලින්ද