දිනිල්ල ළඟට එන්නේ පැරදිල්ලය. දිනිල්ලක් නැතිනම් පැරදිල්ලක්ද නැත්තේය. ඒ නිසා දිනිල්ල පැරදිල්ල එකිනෙකාට සම්බන්ධ වී එන වචන දෙකක්ය. දිනූ හැමදෙනාම කවදා හෝ පැරදිල්ලද බලාපොරොත්තු විය යුතුය. හැමදාම දිනන්න බැරි බව අවබෝධ කරගෙන පැරදිල්ල බාරගැනීමට සූදානම් වුවහොත් ගැටලු ගොඩින් බේරා ගැනීමට පුළුවන්ය. පැරදිල්ල බාර නොගෙන හැමදාම දිනන්නට යාමෙන් ලොකු විනාශයක් සිදුවෙනවාය.
අනෙක් අතට පැරදිල්ලද දිනිල්ලේ පෙරනිමිත්තක් බව පැරදුණු අය සිතිය යුතුය. එසේ සිතා කටයුතු කරනවා නම් පැරදුණු අයට කවදා හෝ දිනන්නට පුළුවන් වන්නේය. පැරදුණු අයට ආත්ම ධෛර්යය තිබේ නම් වැඩි කල් නොගොස් ජයගන්නට අමාරු වෙන්නේ නැත්තේය.
ද්වන්ධ සටන්වලදී පැරදුණාය කියන්නේ ජයගත් අය අතින් මරණයට පත්වීමය. එකෙක් පැරදීලා මැරී වැටෙනතුරු සටන අවසන් වන්නේ නැත්තේය. දුටුගැමුණු රජු එළාර රජු සමග කළ ද්වන්ධ සටනේදී එළාර පැරදුණේ සිය ජීවිතයද අහිමි කරගෙනය. හැංඟිලා කරන සටන්වලදී මෙන් නොව එදා මුහුණට මුහුණලා කරන සටන්වලදී පැරදුණු අය මුළු ජීවිතයම පරද්දා ගන්නවාය. අද නම් බොහෝ අය පරදින්නේ හැංඟිලා පහරදීම්වලදීය. එදා කොටින් මුළු හමුදාවක්ම පැරැද්දුවේ සැඟවී සිට ගැසූ මිසයිලයකින් හෝ ක්ලේමෝ බෝම්බයකින්ය. අන්තිමට අපේ වීර සොල්දාදුවන් අතින් පැරදිල්ල උරුමකර ගන්නට කොටි නායක ප්රභාකරන්ටද සිදුවිය. එදා ප්රභාකරන් ක්රියා කළේ තවදුරටත් හමුදාවට තමන් පරද්දන්න බැරිය කියලා හිතාගෙනය. අද තමන් කොටින් පැරද්දුවා යැයි පම්පෝරි ගසන ඇතැම් වීරයන් එදා යාපනයටවත් අඩිය තිබ්බේ නැත්තේය. අපේ සොල්දාදුවන් ජීවිත ආශාව අතහැර සටන් කරලා කොටි පැරැද්දුවාම එහි ගෞරවය අත්කර ගන්නට උත්සාහ කළ අයද සිටියේය.
ක්රීඩාවේදීද උත්සාහ කරන්නේ දිනිල්ල වගේම පැරදිල්ලද විඳගන්නට පුරුදු කිරීමය. එහෙම කුඩා කල සිට පුරුදු කළ විට ලොකු වුණාම පැරදිල්ල දරාගන්න බැරිව යකා නටන්නේ නැත්තේය. අද ලොකු ලොකු විද්යාල අතර පවතින සුලෝහිත සංග්රාම ඇත්තටම සංග්රාම වෙන්නේ පැරදිල්ල බාරගන්න පුරුදු කර නැති නිසාය. ක්රීඩාවලදී පැරදිල්ල විඳගන්න පුරුදු වූ කෙනා ජීවිත ක්රීඩාවේදීද පැරදිල්ලට නිර්භයව මුහුණදීමට ශක්තිමත් වෙනවාය. බොක්සිං තරගවලදී නම් පැරදුණු අය මැරෙන්නේ නැත්තේය. එහිදී ප්රතිමල්ලවයා බිම හෙළූ විට පැරදිල්ල ලැබූ බව නිගමනය කරනවාය.
සතුන් අතර පවතින සටන්වලදීද පැරදුණු අය මැරී වැටෙන අවස්ථා තිබෙනවාය. කුකුල් පොරවලදීද පැරදුණු අය මැරී වැටෙන අවස්ථා තිබෙනවාය. කුකුළු පොරවලදී පැරදුණු කුකුළා මැරී වැටෙන්නේ ජයගත් එකාගේ පහරවල සැරකමටය. බලාගෙන ඉඳලා ඔට්ටු අල්ලන කෙනා පරදිනවා දිනනවාය. නයා හා මුගටියා අතර ඇතිවන දරුණු සටන කෙළවර වන්නේ පැරදුණු එකා මිය යෑමෙන්ය. බොහෝවිට නයා මුගටියාගෙන් පැරදෙන බව කියනවාය. සිංහයා සහ අලියා අතර කැලෑවේ ඇති වූ සටනකදී අලියා පැරදෙන්නේ සිංහයා උගේ කුම්භස්තලයට හානි කිරීම නිසාය.
වේගයෙන් දුවන්න කප් ගසා ඇති හාවා ඉබ්බාට පැරදුණේ හිතන්නවත් බැරි විදියටය. හැමදාමත් දිනන එකාට එක පාරක්වත් පැරදෙන්න සිද්ධ වෙන බව මේ කතාවෙන් ඔප්පු වෙනවාය. ඉබ්බා එක්ක දුවලා පැරදිල්ල භාරගන්න හාවා කැමති වුණත් සමහර දෙනා නම් කොහොමටවත් පැරදිල්ල භාරගන්න සූදානම් නැත්තේය. ඒ හින්දා පැරදෙන්නේ නැතුව මොන උප්පරවැට්ටියක් හරි දාලා දිනන්නට උත්සාහ කරනවාය.
නඩු කීමෙන් දිනුවත් පරදින බව කියනවාය. එයට හේතුව අපේ රටේ නඩු කල් යන හැටියට වියදම් කළ මුදල හා ගත වූ කාලය ගැන බලන විට දිනුවත් පැරදුණු ගානය. අපේ අය සටන් කරලා පැරදුණත් කටින් ගහලා නම් කවදාවත් පැරදෙන්නේ නැත්තේය. වැඩියෙන්ම මෙහෙම කටින් ගහලා හරි පැරදෙන්න කැමති නැත්තේ අපේ බවලත් උදවියය. නැන්දා ලේලිලාගේ හබය ඇති වී තිබෙන්නේද මෙහෙම කවුරුවත් පැරදෙන්නට අකමැති හින්දාය.
බුදුන් වහන්සේ පරදවන්නට අමාරු වුණේ මාරයාටය. බුදුන් වහන්සේ පරදවන්නට ආ මාරයාගේ දූවරුන් තිදෙනාටම දන්න තරම් නැටුම් නැටුවත් අන්තිමට උන්වහන්සේ පරදවන්නට බැරිව නිකන් සවුත්තු වන්නට සිදුවිය. අන්තිමට ආයුධ වැසි වස්සලාවත් බුදුන් වහන්සේ පරදවන්නට මාරයාට බැරි විය.
පෙම් සටනින් පැරදිල්ලෙන් ලැබෙන විපාක නම් බොහොම වැඩිය. මේ සටනින් පැරදුණු පෙම්වතුන් පැරදිල්ල දිරවා ගන්න බැරුව ගඟේ මුහුදේ පනිනවාය. පැරදිලා කෝච්චියට බෙල්ල දෙනවාය. චිත්රපටවලදී නම් කොහොම හරි දුෂ්ටයා පරද්දලා පෙම්වතිය අත්පත් කරගන්නට පෙම්වතා සමත් වෙනවාය.
රජයේ සේවකයන් නම් කවදාවත් තමන්ගේ සටන්වලින් පරදින්න කැමති නැත්තේය. වෘත්තීය සමිතිකාරයන් පසුගිය දවස්වල කළ සටන්වලදී ඉල්ලන බොහොම දේවල් ආණ්ඩුව දුන්න නිසා පැරදුණේ නැත්තේය. ආණ්ඩුවත් සමිතිකාරයනුත් දෙගොල්ලම පරදින්න සූදානම් නැතිවුණු විට වර්ජන දුරදිගට ගොස් මුළු රටම පරදිනවාය. එතකොට පරදින්නේ දුප්පත් මහජනතාව බව විශේෂයෙන් අපේ දොස්තර මහත්තුරු හිතිය යුතුය.
පැරදිල්ලට නොලැබෙන එකම අය අපේ දේශපාලුවන්ය. ඒ අය ඡන්දෙන් පැරදුනත් ඊට පස්සේ ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට ඇවිත් තනතුරු ලබාගෙන ඡන්දදාසලාට කොකා පෙන්වනවාය. ඡන්දදාසලා ජය පැරදිල්ල බාරගන්න බැරුව කා කොටාගෙන හිරේ විලංගුවේ වැටුණත් දේශපාලුවන් නම් දියවන්නාවට ගියාම ඔක්කොමලා එකතුවෙලා ජනතා මුදල් සුද්ද කරන්නේ තමන් පරද්දන්න කාටවත් කවදාවත් නොලැබෙන බව හිතාගෙනය.