පරණ පෙළපොත් වෙනුවට අලුත් පොත් ගන්න
'පරණ පෙළපොත් වෙනුවට අලුත් පොත් ගන්න. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ගන්න පුළුවන්. ඉසුරුපායේ තියෙන්නෙ* මේ නිවාඩු දෙන දිනයේ මාගේ මිතුරෙකුගේ දියණියගේ පන්ති භාර ගුරුතුමිය ළමයින්ට පැවසූ කරුණකි.
'පෙළපොත් සල්ලිවලට ගන්නේ මොකද? මේ පාර පෙළපොත් දෙන්නේ අලුත් ඒවා 50%යි ඒ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එවන ලද චක්‍ර‘ලේඛයයි. අලුත් පොත් දෙනුයේ භාගයකි, ඉතිරි ඒවා පරණ පොත්ය.
1980 වසරේදී එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට දරුවන්ට නොමිලේ පෙළපොත් දීම ආරම්භ කළේය. ඔහු එදා පොත් දෙන ගමන් පැවසුවේ 'අපි ඔහෙලගෙන් බදු ගහනවා. ඒ බදු ආදායම් අපි අරගන්නෙ ඔහෙලගෙන්. ඒකට යුතුකම් ඉෂ්ට කරන්න ඕන. අධ්‍යාපනය බොහෝම වටිනා දෙයක්. යුතුකමක් විදියට අපි දරුවන්ට පාසල් පොත් ලබාදෙනවා' යනුවෙනි.
නමුත් අද එම තත්ත්වය වෙනස් වී ඇත. දරුවන්ට ලැබෙනුයේ පරණ පොත්, අලුත් පොත් සමග මිශ්රකරය. අප දරුවන්ගේ මනස බලන්න අවශ්‍යය. පරණ පොත් ලැබුණු දරුවන් අම්මලා තාත්තලාට පවසනුයේ 'අලුත් පොත් අරන් දෙන්න' යනුවෙන්ය. 'මගේ යාළුවෝ ගාව තියෙන්නේ අලුත් පොත්. මටත් ඕන' ඒ දරුවන් සිතන හැටිය. දෙමවුපියන් කරන්නේ දරුවන්ට අලුත් පොත් ගෙනැවිත් දීමය. ඉසුරුපායේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අලුත් පොත් විකිණීමට ඇත. ඒ සඳහා උදෙන්ම ගොස් 'ටෝගන්' එකක් ගන්න ඕනෑය. පෝලිමේ සිට කට්ට කෑමෙන් පසුව 'ටෝගන්' එකක් දී පොත් මිලට ගැනීමට හැකිය.
අධ්‍යාපනය යනු සුභසාධන කටයුත්තකි. ලිබරල් මත දරන සුභසාධන රජයක් යැයි කියා ගන්නා නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන රටේ වර්තමානයේ පෙළපොත් මිලට ගැනීමට සිදුව තිබේ. පෙළපොත් මුද්‍රණයට මුදල් වෙන් කරනුයේ අයවැයෙනි. අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සියලු දෙනා ඒකමතිකව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අනුමත කරනුයේ අධ්‍යාපනයේ ඇති වැදගත්කම නිසාය. පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා මුදල් වෙන් කරන්නේ දරුවන්ට නොමිලේ පොත් ලබාදීමට මිස පොත් විකිණීමට නොවේ. අනෙක් කරුණ නම් එසේ පෙළපොත් විකුණන්නේ නම් (මුද්‍රණයට මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබියදී) ඒ පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුය. යෝජනා සංශෝධනය කළ යුතුය. මෙතැන ඇත්තේ කොළය වසා ගැසිල්ලකි.
අධ්‍යාපනය යනු ව්‍යාපාරයක් නොවේ. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ මෙවර ලාභය 26%කින් වැඩි වී ඇත. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිරිමත් කිරීම සඳහා මාලඹේ ප්‍ර‘දේශයේ ඇති හෝටලයක සුහද හමුවක්ද පවත්වා ඇත. බිල්පත ලක්ෂ 25කට වැඩිය. රජයේ ව්‍යපාර ලෙස පවත්වාගෙන යන ඇතැම් ආයතන හැමදාම දුවන්නේ පාඩු පිටය. ඒ නිසි කළමනාකාරීත්වයක් නොමැති නිසාය.
දරුවන්ට පෙළපොත් ලබාදෙනුයේ අපෙන් අය කරන බදු මුදලිනි. එදා පැවැති රජයන්ද බදු අය කළේය. අදටද ආණ්ඩුව බදු අය කරයි. බදු අය කිරීම අදත් බොහෝම ජයටම ක්‍රමානුකූලව රජයට අවශ්‍ය ලෙස කරගෙන යන බව නොරහසකි. නමුත් රජය පවසනුයේ වියදම් වැඩියි යන්නය. වියදම් වැඩි නම්, කළ යුත්තේ රජයේ ව්‍යාපාර ශක්තිමත් කරගෙන ආදායම් උපයා ගැනීම මිස පෙළපොත්වලින් ගසාකෑම නොවේ.
පෙළපොත්වල මුලින්ම මිල සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි බන්දුල ගුණවර්ධන මහතාය. ඔහුට යමක් වැරදුණේය. ඔහු පෙළපොත්වල මිල සඳහන් කළේ, 'අපි මෙච්චර වියදම් කරනවා' යැයි ජනතාවට පෙන්වීමටය. එදා ජේ.ආර්. ජයවර්ධනලා, ප්‍රේමදාසලා මේවගේ අධ්‍යාපනය විකුණුවේ නැත. ජේ.ආර්. පෙළපොත් නොමිලේ දුන්නේය. ප්‍රේමදාස දරුවන්ට දිවා ආහාරය නොමිලේ ලබා දුන්නේය. නිලඇඳුම් ලබා දුන්නේය. නමුත් අද වනවිට ඇතිව තිබෙන තත්ත්වය හාස්‍යජනකය. රජයට ලාබ ලබන්නට ඇති ව්‍යාපාර සමාගම් තිබියදී, සුභසාධනය සඳහා පිහිටුවා ඇති ආයතන හරහා ලාබ ලබන්නට යෑම අතිශය කනගාටුවට කරුණකි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් වෙනුවෙන් රාජගිරියේ පිහිටි සමාගමකින් වාහන 12ක් ලබාගෙන ඇති අතර, මසකට රුපියල් 23 ලක්ෂයකට වැඩි මුදල් ප්‍රමාණයක් ඒ සඳහා වියදම් වේ. එමෙන්ම තමන්ට සුඛෝපභෝගී මෝටර් රථයක් තිබීයදී එහි ලේකම්වරයෙකු විසින් මසකට රුපියල් 475,000ක් බැගින් ගෙවීමට සුඛෝපභෝගී වෙනත් මෝටර් රථයක් ලබාගෙන ඇත.
පාසල් පෙළපොත්වල මිල සටහන් කරනුයේ අප විසින් ගෙවනු ලබන බදු මුදල්වලින් අප කෙතරම් මුදලක් පොත්වලට වැය කරනවා දැයි පෙන්වීමටය. නමුත් අපගේ බදු මුදලින් නඩත්තු වන ඇමතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ ගණන් මිනුම් කොතැනක හෝ සටහන් නොකරයි. ලේබල් නොගසයි. ඔවුන් විසින් භාවිත කරනු ලබන වාහනයේ මිල සටහන් නොකරයි. සැප විඳිමින් ජනතාවගේ සුභසාධනයට ඇති අධ්‍යාපනය වැනි මර්මස්ථානයක් බඳු තැනකින් මෙලෙස පොත්පත් කියවීම මහ දහවලේ 'පික්පොකට්' ගහනවා වැනිය.
දරුවන් සමග සෙල්ලම් කිරීම එතරම් උචිත නොවේ. අයවැය ප්‍රතිපාදන වෙන්කර තිබියදී, දරුවන්ට පෙළපොත් ලබා නොදී අධ්‍යාපනය ව්‍යාපාරයක් කරගැනීම අපරාධයකි. අධ්‍යාපනය ව්‍යාපාරයක් නොවේ. රජය කළ යුත්තේ වියදම් අධික නම්, රජයේ ව්‍යාපාර ශක්තිමත් කර ඒවාට නිසි කළමනාකාරීත්වයක් ලබාදී එම ආයතන හා ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයට පත්කිරීමය. ඒවායේ දූෂණ නැතිකර මුදල් ඉතිරි කිරීමය. නැතහොත් සුභසාධන ආයතන හා ව්‍යාපාර ආයතන එකට පටලවාගෙන කටයුතු කිරීම නොවේ. එමෙන්ම අද ජීවන බර අහස උසට නැග ඇත. ජීවන දර්ශක සකස් කරන ඔස්තාර්ලාට පෙනෙනුයේ සහල්, පරිප්පු විතරක්ය.
පෙළපොත් මිලදී ගැනීම ඇතුළු වක්‍රව ජනතාවට ලැබෙන බර නොපෙනෙයි. එබැවින් ජීවන බව අහස උසට නැග ඇති අවස්ථාවක ජනතාවට අමතර බර පැටවීම ඇත්තෙන්ම පාපයකි.
- නිපුන් ඒකනායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

