දේශපාලඥයන්ගෙන් සේම දේශපාලන ක්‍රමය තුළ යට යන සාහිත්‍ය සහ සාහිත්‍යකරුවන්
'සිරිපද ලස සමනොල සිරසේ
සිඹ සිඹ සිහිලස විඳ සොදසේ
ලෙලී දිලී ගලා බසී
මහවැලි මහවැලි මහවැලි'
මහගම සේකරයන් ලියපු, පණ්ඩිත් අමරදේවයන් සංගීතවත් කර ගායනා කරපු මේ ගීතය ළඟකදී අහන්න ලැබුණා. සිඩ්නි අයියත් එක්ක පොඩි කදයක් දාගෙන පරණ සින්දුවක් ගැන කතා කරද්දි තමයි මේ සින්දුව මතක් වුණේ. අපි පොඩි කාලයේ තිබුණේ ජාතික රූපවාහිනිය විතරයි. ජාතික රූපවාහිනියෙන් නිතරම ප්‍රචාරය වුණු ඇත්තටම මහවැලි ගීතය තමයි මේක. එදා මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය සඳහා මේ ගීතය යොදා ගත්තා. මහවැලියට විරුද්ධ වුණු ගොඩක් දෙනෙක් මේ ගීතය නිසාම ඒ දිහා සුබවාදීව බලන්න පුරුදු වෙලා හිටියා කියලා අපේ අප්පච්චි, ලොකු අත්ත මට කියනවා ඇහිලා තියෙනවා. 'කලාවට, සාහිත්‍යයට මිනිස් ජීවිතයේ විශාල පරිවර්තනයක් කරන්න පුළුවන්' ඒ අප්පච්චි කියපු කතාව.
අද වෙනකොට අපේ කලාව වගේම සාහිත්‍ය ගැන කතා කරන්න වෙන්නේ බොහොම කනගාටුවෙන්. සාහිත්‍ය කලාව කියන්නේ බොහෝම වටිනා දෙයක්. කලාවෙන්, සාහිත්‍ය‘‘යෙන් හදන්නේ හික්මීම, සංයමය, විචාරය හා රසඥතාව. අද අපේ රටේ කලාවට හා සාහිත්‍යයට මොකද වෙලා තියෙන්නෙ. ඈත අතීතය ගැන අපි හැමදාම කියනවා. කව්සිළුමිණ, සැළලිහිණි සන්දේශය කාව්‍ය විතරක් නොවේ ඈත අතීතයේ සිටම අපි මේ කෘතීන් ගැන කතා කරන්නේ ආඩම්බරයෙන්. හැබැයි ඒ ගැන කතා කළාට කවුද මේවා කියවලා තියෙන්නෙ, කොහෙද දැන් මේවා උගන්වන්නෙ? අද සමාජයේ සාහිත්‍ය කලාව කියන අංගයන් ක්ෂය වී මැකෙමින් පවතිනවා.
අද දේශපාලනය, කලාව කියන එක ව්‍යාපාරයක් බවට පත්වෙලා. දේශපාලනය ගැන කතා කළොත් අතීතයේ දේශපාලඥයන් ආවේ බොහෝම අතමිට යහමින් ඇති අය. ඒ දේශපාලඥයන් කළේ තමන්ගේ අතේ තියෙන සල්ලි වියදම් කරලා ගරු සේවයක් විදියට දේශපාලනයට කරපු එක. ඉතින් ඒ කාලයේ කලාවට, සාහිත්‍යයට පෝෂණයක් තිබුණා. කලාකරුවන්ට සාහිත්‍යකරුවන්ට හොඳ ගෞරවයක් තිබුණා. හැබැයි අද දේශපාලනයට එන්නේ ගරු සේවයක් කරන්න නොවෙයි කියලා කවුරුත් දන්නවා. ෆුට් බයිසිකලයෙන් ගිය සමහර දේශපාලකයන් ප්‍රකෝටිපතියෝ.
පතල් දාන්න ආපු අය අද බිලියන ගණන් හම්බ කරලා. ඔන්න ඕකයි තත්ත්වය. කිසිම අදහසක් නොමැතිව සල්ලි හම්බ කරන්න එන දේශපාලඥයන් නිසා අද කලාවට ඇති ගෞවරය නැති වෙලා තියෙනවා. විවෘත ආර්ථිකය එක්කම අපේ රටේ කලාවට, සාහිත්‍යයට තිබුණු තැන නැතිවෙලා ගියා. එදා ධර්මිෂ්ඨ සමාජයට විරුද්ධව සටන් කරපු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රට කානුවල දාලා පහර දුන්නා. ජේ.ආර්. ජයවර්ධන ඇයි එහෙම කළේ? එදිරිවීර සරච්චන්ද්‍ර කියන දේවල් මිනිස්සු පිළිගත්තා. ඒ සාහිත්‍යධරයෙකු, කලාකරුවෙකු ලෙස තිබුණු පිළිගැනීම නිසා.
සමාජය වෙනස් කළ හැකි ගාමක බලයක් එදා කලාකරුවන්ට තිබුණා. මාර්ටින් වික්‍රමසිංහ වැනි ඒ සාහිත්‍යධරයන්ට සමාජයේ තිබුණේ විශාල පිළිගැනීමක්. ඒ වගේම ගෞරවයක්. අද ඒ වගේ විශ්වාසනීය චරිතයක් ගොඩනැගෙන්න දීලා තියෙනවාද? නෑ. මේ දේශපාලඥයන් වගේම දේශපාලන ක්‍රමය තුළ එහෙම සාහිත්‍යට, සාහිත්‍යකරුවන්ට, කලාකරුවන්ට මතුවන්න ඉඩ තිබුණේ නැහැ. අද අපේ කොයි කලාකරුවාටද, සාහිත්යධරයටද පුළුවන් ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න. අපේ කලාකරුවන්ට කොන්දක් තියෙනවාද? එහෙම එරෙහි වුණත් මිනිස්සු පිළිගන්නවාද? දේශපාලනය වගේම දැන් ඉන්න කලාකරුවොත් දේශපාලන ගොට්ටන් බවට පත්ව තිබෙනවා. පුස්සො අද නිස්සො වෙලා තියෙනවා. කලාවත් ව්‍යාපාරයක් බවට පත්වෙලා කලාවට තියෙන පිළිගැනීම නැති වෙලා .
කලාව, සාහිත්‍යය, ප්රශස්ත හා උසස් මට්ටම්වල ඇති ජනජීවිත ගැන සහ එහි දේශපාලඥයන් ගැන පොඩ්ඩක් හොයලා බලද්දි ඉරානය ගැන. ඉරානයේ තියෙන සිනමාව ඉතා උසස්. ඉරානයේ සාහිත්‍ය කලාව හින්දා ජනජීවිත තුළ හා දේශපාලඥයන් තුළ හික්මීමක් තියෙනවා. උදාහරණයක් විදියට හිටපු ජනාධිපති මොහොමඩ් අහමඩ්නෙජාඩ් තම ධුර කාලයෙන් පස්සේ පෙර වෘත්තිය වූ ගුරු වෘත්තියට නැවත ගියේ බස් රථයෙන්. ඔවුන්ට එහෙම කරන්න පුළුවන් වුණා ඔවුන් තුළ ඇති හික්මීම නිසා. අපේ ජනාධිපතිතුමාටවත් මේ වගේ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි.
ප්‍රංශයේ ජීවත් වූ jean paul marat (ශෝන් පෝල් මරාත්) ගැන ලුවි රජතුමා මෙන්න මෙහෙම කියලා තිබුණා. jean paul marat ප්‍රංශ විප්ලවයේ විශාල මෙහෙවරක් කළ අයෙක්. විශේෂයෙන්ම ලුවී රජතුමාට විරුද්ධව මාධ්‍ය වාර්තා ලිවුවේ, විවේචනය කළේ මේ ශෝන් පෝල්. එදා රජතුමා ළඟ හිටපු කේවට්ටයෝ, උපදේශකයෝ ලුවී රජතුමාට කිවුවේ ශෝන් පෝල් සිරගත කරන්න ආණ්ඩුව, රජතුමා නිර්දය ලෙස විවේචනය කරනවා කියලා.
ලුවී රජතුමාගේ පිළිතුර වුණේ 'මරාත් කියන්නේ ප්‍රංශය. කොහොමද මම ප්‍රංශය සිරගත කරන්නේ' කියාය. එදා ඒ කලාකරුවන්ට, සාහිත්‍යකරුවන්ට තිබුණු ගරුත්වය මනාව කියාපානවා.පසුගිය කාලය පුරාම කලාකරුවන්ට හා සාහිත්‍යධරයන්ට නිසි තැනක් හම්බ වුණාද? උත්තරය නැත. ආණ්ඩුවලට ගැතිකම් කරපු කලාකරුවන් පුම්බා පුස්සන්ට රජ කරන්න ඉඩ දුන්නු නිසා ඔවුන් ආණ්ඩුවට ගැතිකම් කර ඔවුන්ගේ ව්‍යාපෘතිවලින් ගොඩයන තත්ත්වයක් තුළ ජනතාවගේ සාහිත්‍යකරුවන් හා කලාකරුවන් අදක්ෂ වී ඇත.
තමන්ට ගොට්ට අල්ලන කලාකරුවන්, සාහිත්‍යකරුවන් ගොඩ දානවාට වඩා කළ යුත්තේ සැබෑ කලාකරුවන්ගේ උන්නතිය ‘උදෙසා මේ රජයන් වැඩ කිරීමය. ජෝකර්ලා දාගෙන කරන කලා කටයුතුවලට වඩා ප්රබුද්ධ හා සම්භාව්‍ය කලා කෘතීන් කෙරෙහි වැඩි තැනක් ලබාදීමය. ඒ වගේම අද අධ්‍යාපනය තුළින් සාහිත්‍ය කෙමෙන් කෙමෙන් ඈත්වෙමින් පවතී. සාහිත්‍ය පිළිබඳ දරුවන්ට මීට වඩා හොඳ අධ්‍යාපනයක් ලබාදීමය. තවද සාහිත්‍යකරුවන්ට හා කලාකරුවන්ට රජයෙන් උදවු උපකාර ලබාදීමය. මන්ද කලාව හා සාහිත්‍ය තුළින් බිහිවන්නේ විචාරවත්, රසඥතාෙවන් යුතු සංවර සමාජයක් නිසාවෙනි. සංහිඳියාව වැනි වත්මන් රජය පවා බර යොදා සිදුකරන ව්‍යාපෘතීන් ගොඩදැමීමට සාහිත්‍යට, කලාවට හැකියාව ඇත. සංහිඳියාව බලහත්කාරයෙන් ඇතිවිය යුත්තක් නොව එය බිහිවනුයේ සමාජය හික්මීමෙනි, විචාරවත් බව හා සංවර බවිනි.
- නිපුන් ඒකනායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

