ශ්‍රී ලංකාවේ 1978 ව්‍යවස්ථාව අනුව මුළු රටම එක මැතිවරණ කොට්ඨාසයක් ලෙස සලකා මැතිවරණයකට යන්නේ නම් ඒ ජනාධිපතිවරණයකටය. එම ව්‍යවස්ථාව මගින් රටේ දේශපාලනය තුළ ජාතිවාදී නායකයෙකුට බලයට පත් වීම සම්පූර්ණයෙන් වැළැක්වීමට කටයුතු කොට තිබිණි. මන්ද රටේ ප්‍රධාන පක්ෂ දෙක සිංහල ඡන්ද පදනම හා අෙනකුත් ජාතීන් අතරද 50 - 50 ලබාගනිතියි පූර්ව නිගමනයක් අනුව 1978දී ජනාධිපති ධුරය බිහි කෙරිණි. 1978දී රටේ සිවිල් යුද්ධයක් නොතිබුණු අතර, ප්රභාකරන්ද දේශපාලනය තුළ නොසිටියේය. එවැනි තත්ත්වයක් තුළ ප්‍රධාන පක්ෂ දෙකට ළඟ ළඟ ප්‍රබල තරගයක් දී ආකර්ෂණීය නායකයා ජනාධිපතිවරණයක් දිනනු ඇත. 1982දීත්, 1989දීත්, ගාමිණී දිසානායක ජීවත්ව සිටියේ නම් 1994දීත් සිදු වන්නේ එයයි. නමුත් 1989 ජනාධිපතිවරණයෙන් පසු 2010 දක්වා සියලුම ජනාධිපති මැතිවරණවල ජයග්‍රාහකයා තීරණය කරන ලද්දේ ප්රභාකරන් විසිනි. එහිදී රනිල් ඉදිරිපත් වූ 2001 හා 2005 මැතිවරණවල තීරක බලය වූයේ ප්රභාකරන්ය. එනම් 2001 මැතිවරණයේදී වැරදුණු බෝම්බ ප්‍රහාරයක් නිසා චන්ද්‍රිකා මැතිනිය නිකම්ම දිනුවේය. එසේම 2005දී මහින්ද හා ප්රභාකරන් හවුල උතුරේ හා නැගෙනහිර දෙමළ ජනතාවට මැතිවරණ වර්ජනයකට බල කොට වැඩි ඡන්ද හතළිස් දහසකින් රනිල් පරාජය කළේය. ප්රභාකරන් නොසිටියේ නම් එම මැතිවරණ දෙකම ජය ගන්නේ රනිල් වික්රමසිංහයි.
ඉන්පසු එළඹි යුගය තුළ සිංහල ජාතිකවාදී පදනමකින් රාජපක්ෂවරුන් ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දකුණේ වැඩි බලයක් ගොඩනගාගත්තේය. සැබැවින්ම රටේ සියලුම සුළු ජාතීන්ට රනිල් වික්‍රමසිංහ හැර සියලුම ජාතික මට්ටමේ නායකයෝ කොකා පෙන්වමින් ඔවුන්ගේ දේපළ හා ජීවිත අනතුරේ හෙළති. ලංකාවේ ජනගහනයෙන් 31%ක් වන සිංහල නොවන ජන කොටස්වල විශ්වාසය 80%කටත් වඩා දිනාගත් නායකයා රනිල් වික්‍රමසිංහය. එසේම එක්සත් ජාතික පක්ෂයේ සිංහල ඡන්ද පදනම ඕනෑම තත්ත්වයක් යටතේ 35෴කි. මේ අනුව රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන අවස්ථාවක කිසිදු වෙනත් අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයක් ජයගත නොහැක්කේය. සැබැවින්ම 2015 ජනාධිපතිවරණයේදී ලංකාවේ දකුණේ සියලුම සිංහල ආසන ජනාධිපති සිරිසේන පරාජයට පත් වූ අතර, ඔහු ජයග්‍රහණය කරනු ලැබුවේ උතුරු නැගෙනහිර ඡන්දවලිනි. එම ඡන්ද සියල්ල ලැබුණේ රනිල් වික්‍රමසිංහට වන අතර, උතුරු නැගෙනහිර ජනතාවගෙන් 33%ක් සිරිසේනගේ නමවත් අසා නොතිබුණු බව එවකට සමීක්ෂණයකින් හෙළි විය. මා පෞද්ගලිකව කල්පනා කරනුයේ 2015 මැතිවරණයද රනිල් ඉදිරිපත් කොට එක්සත් ජාතික පක්ෂයට ජයගැනීමට හැකිව තිබිණි.
රටේ ආර්ථිකය පිළිබඳ දැක්මක් ඇති, ප්රජාතන්ත්රවාදය හා යහපාලනය වෙනුවෙන් ජීවිතයම කැපකළ, ජාත්‍යන්තරය දිනාගත්, රටේ සියලුම ජන කොටස් එක මිටකට ගොනු කළ හැකි පරිණත නායකයා රනිල් වික්‍රමසිංහය. ඔහු දේශපාලන භූමියෙන් අතුගාදැමීමට සතුරන් දශක ගණනාවක් තිස්සේ උත්සාහ කළද ඔහු නොදැවී දශක හතරක් දේශපාලන භූමියේ ප්‍රධාන භූමිකාව ඉටු කරයි. පසුගිය දශක හතර තුළ ඔහු රටේ ප්‍රධාන ධාරාවේ පත්තරවල, ගුවන්විදුලියේ, රූපවාහිනියේ හා අද සමාජ මාධ්‍යවල කතාබහට ලක්වන නායකයාය. දශක හතරක් අඛණ්ඩව දේශපාලනය තුළ මධ්‍යගත වීම ඉතා අසීරු කාරණයකි. පසුගිය දශක තුන තුළ ඔහුගේ නම මාධ්‍යවල නොකියවුණු දවසක් නොමැති තරම්ය. එවන් නායකයෙකු සතු එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලබන හා ලැබිය යුතු, ජයග්‍රහණ කළ හැකි නායකයා රනිල්ය.
එක්සත් ජාතික පක්ෂය වැනි දැවැන්ත පක්ෂයක් පවත්වාගෙන යෑම ඉතා අසීරු කාර්යයකි. එහි පූර්ණකාලීන සේවකයන් සිය ගණනකි. ඔවුන්ට පඩිනඩි ගෙවිය යුතුය. පැමිණෙන සෑම මැතිවරණයකටම මුදල් වියදම් කොට තරග කළ යුතුය. පක්ෂ සම්මේලන, මැයි දින පැවැත්විය යුතුය. මේවාට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් අවශ්‍ය අතර, එම මුදල් ලබාදෙන පාක්ෂිකයන් සිය ගණනක් සමග ළඟ සම්බන්ධයක් පවත්වාගත යුතුය. එවැනි භාරදූර තනතුරක් ආණ්ඩුවේ සල්ලිවලින් උදේට කෑමවේල ගන්නා, දාන මාන දෙන හිස් මිනිසුන්ට කළ නොහැකිය. එසේම ලක්ෂ 40ක් ඡන්දය දෙන පක්ෂයක දිනපතා දහසකුත් ප්‍රශ්න ඇති වේ. ඒවාට මුහුණදිය යුතුය. ආණ්ඩුවේ කටයුතු, පක්ෂයේ කටයුතු, සතුරු කරදර සමග කටයුතු කිරීමට ඉතා දියුණු දැක්මක් හා හැකියාවක් තිබිය යුතු අතර එය රනිල්ට හොඳින්ම තිබේ. මාධ්‍යවේදී ළමයෙකුගේ මයික් එකකට ප්‍රකාශයක් දුන් පළියට නායකයෙකු වී පක්ෂයක්, ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැක්කේය.
මේ මොහොතේ මේ රටේ හා ජාත්‍යන්තරයේ දේශපාලනය කළමනාකරණයට මෙන්ම, ආර්ථික, සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ හැකි, එමෙන්ම ඒවා විශ්වාස කරන නායකයා රනිල් වික්‍රමසිංහ වේ. එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු පෙනෙන තෙක් මානයක තවම නැත. නමුත් ආණ්ඩුව පවතින මොහොතේ නායකයන් බිහිවනු ඇත. එසේ බිහිවන නායකයන්ට පක්ෂයේ වගකීම් පවරා දෙමින් හතළිස් වසරක නොදැවුණු දේශපාලන ඉනිමක් ක්‍රීඩා කළ රනිල් නම් පරිණත නායකයාට මෙරටේ සුක්කානම ලබා දී හැකි උපරිම සේවය ලබාගත යුතුය.
කවුරුන් කෙසේ කීවද රටේ ආර්ථිකය 2014 තිබුණාට වඩා නිරෝගීය. එය නැවත බලාපොරොත්තු තබාගත හැකි මට්ටමට පත් වී තිබේ. එම ක්‍රියාවලිය සාර්ථක කිරීමට විභවාත්මක හැකියාවක් ඇති නායකයා රනිල්ය. මේ මොහොතේ පක්ෂයත්, ආණ්ඩුවත් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළනුයේ එහි සතුරෝය. එමෙන්ම මිතුරු වෙසින් සිටින සතුරෝය. එබැවින් පක්ෂයේ ශක්තිය රනිල්ට ලබාදිය යුතු වේ.
එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් බිහිකොට රටේ මුළු බලය ප්‍රතිසංස්කරණ සඳහා ඉල්ලා සිටිය යුතුය. එසේම ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු පක්ෂයේ තරුණ පිරිස් වෙත බලය ලබා දිය යුතුය.