ජනතාව බිය කළ උත්සව සමය
මේ ගෙවී යන්නේ උත්සව සමයකි. මුලින්ම උදා වූ නත්තල සෑම අයෙකුටම යහපත් වේවා යැයි ප්‍රාර්ථනා කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි. නත්තලේ අංක එක සාමයයි. මේ වනවිට ශ්‍රී ලංකාවාසීන්ට සාමයෙන් යුතුව නත්තල සැමරීමට අවස්ථාව හිමිව ඇත්තේ 2009 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පිළිලයක් බවට පත්ව තිබූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම හේතුවෙනි.
ඒ සඳහා නායකත්වය දුන් දේශපාලන අධිකාරිය මෙන්ම තම ජීවිත, ඇස්, ඉස්, මස්, ලේ දන්දෙමින් ලංකා මාතාව වෙනුවෙන් දිවි හිමියෙන් යුද කළ සියලු රණවිරුවන් අප අමතක නොකළ යුතුව ඇත.
මැතිවරණයක් ආසන්න හෙයින් නත්තල යැයි කියා නිවාඩුවක් නොමැත. කෙසේ වෙතත් දින කිහිපයක් තිස්සේ රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතාගේ සුවදුක් විමසා බැලීමට වේලාවක් වෙන් කරගත්තෙමි. මා සමග හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද මේ අවස්ථාවට එක්විය.
දේශපාලනික වශයෙන් අප අතර මතවාදී වෙනස්කම් තිබුණද, ඔහු හමුවේ වචන කිහිපයක් හුවමාරු කරගැනීමට අවස්ථාව ලැබීම හොඳ දෙයකි.
වෙනත් වසරවලදී උත්සව සමයකදී ජනතාව කටයුතු කරන්නේ උද්යෝගයකින් වුවද, මෙවර උත්සව සමයේදී එවැනි තත්ත්වයක් දැකිය නොහැකිය. ජනතාව කඩපිළට පිවිසියේ අල්ප වශයෙනි. ඒ සඳහා ප්‍රධාන හේතුව වී ඇත්තේ අහස උසට වැඩි වී ඇති බඩු මිලයි.
අපි කුරහන් සුවඳ තීරු ලිපි පෙළ හරහා බඩු මිල පාලනය කිරීමේදී රජය දක්වන අසමත්කම දිනෙන් දිනම පැහැදිලි කළෙමු. මේ වනවිට පොල් ගෙඩිය රුපියල් 100, හාල් කිලෝව රුපියල් 100, මිරිස් කිලෝව රුපියල් 800, රතුලූනු කිලෝව රුපියල් 520 ට අලෙවි වන තත්ත්වයට පැමිණ ඇත.
මේ බඩුමිල ඉහළ ගොස් ඇති ආකාරය ජනතාවට පෙන්වීම සඳහා යොදාගත් උදාහරණ කිහිපයක් පමණි. හාල් සඳහා පාලන මිලක් පැනවූ බව සඳහන් කළද ඒවා සතොසින් සහ සුපිරි වෙළෙඳ සැල් කිහිපයකින් පමණක් ලබාගැනීමට අවස්ථාව තිබේ. ශ්‍රී ලංකාවේ නගර ආශ්‍රිතව මෙම අලෙවි සැල් තිබුණද, ගම්බදව එවැනි වෙළෙඳ සැල් නොමැත. ඒ අනුව ජනතාවට පාලන මිල ගණන් යටතේ භාණ්ඩ මිලට ගැනීමට අවස්ථාවක් ලැබී නොමැත.
නව වසර තවත් දින කිහිපයක් උදාවෙයි. අලුත් ඇඳුමක්, නැවුම් කිරිබතක් පිසීම දැන් ජනතාවට සිහිනයක් බවට පත්ව ඇත. ජනතාව දැන් එදිනෙදා වේල බඩකට පුරවාගන්නේද ඉතාමත් අසීරුවෙනි. කීයෙන් කී දෙනෙකු කුසගින්නේ සිටින්නේදැයි ආණ්ඩුවට වගේ වගක් නොමැත. ඒ අනුව ලබන වසර නම් ජනතාවට තවත් සුබ වසරක් නොවනු ඇත.
මේ අතර නව පාසල් වාරයද ආරම්භ වීමට නියමිතය. ඒ සඳහා තම දරුවන් වෙනුවෙන් පාසල් පොත්පත් ඇතුළු පාසල් උපකරණ මිලදී ගැනීම වෙනුවෙන්ද ජනතාව දැඩි අරගලයක නිරත වෙමින් සිටියි.
මේ අතර ව්‍යාපාරිකයන් පවා පවසන්නේ වෙනත් උත්සව කාලවලදී මෙන් මෙම උත්සව සමයේදී ජනතාවද භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් වැඩි වැඩියෙන් වෙළෙඳ සැල් තුළට නොපැමිණි බවයි. සාපේක්ෂව මේ හරහා තම ආදායමද අඩු වී ඇති බව ඔවුහු පෙන්වා දෙති.
සමස්තයක් වශයෙන් මෙයින් පෙනෙන්නේ වෙනදා උත්සව සමයේදී සතුටින් සිටින ජනතාව මෙවර උත්සව සමයේදී බිය වී සිටින්නේ ඉහළ ගිය බඩු මිල නිසා බවයි. මැතිවරණය ක්‍රමයෙන් මැතිවරණ උණුසුමද වර්ධනය වෙමින් තිබේ.
මේ මැතිවරණය රටේ ආණ්ඩුව, නායකත්වය වෙනස් නොවන මැතිවරණයක් වුවද, ජනතා මතය තිබෙන්නේ කාටදැයි යන්න උරගා බැලෙන මැතිවරණයක් හෙයින් සෑම දෙනෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ ආණ්ඩුව ගෙන යන මෙම විනාශකාරී ප්‍රතිපත්තියට එරෙහිව සිය ඡන්දය භාවිත කරන ලෙසයි.
පවතින ආණ්ඩුව පිළිබඳ කලකිරී සිටින බොහෝ ජනතාව මේ වනවිට ඡන්ද පොළට නොයෑමට පවා තීරණය කර තිබේ. ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩුව ‘මට්ටු’ කිරීම සඳහා සිය ඡන්දය භාවිත කිරීමට ඡන්ද පොළට යන ලෙසය.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

