චීනය දකුණු චීන මුහුදේ තමන්ගේ බලය පෙන්වීමට තීරණය කරන්නේ දකුණු චීන මුහුද සම්බන්ධයෙන් බටහිර රටවලට ඇති වී ඇති උනන්දුව සහ වේදනාව නිසාය. මහජන විමුක්ති හමුදාවේ නාවික අංශය ශක්තිමත් කර දකුණු චීන මුහුදේ චීන බලය වැඩි කළ යුතු යැයි ජනාධිපති ෂී ජින්පින් තීරණය කරන්නේ ඔහු චීනයේ ජනාධිපතිවරයා බවට පත්වූ අලුතය. මේ නිසාම 2012 වන විට චීන නාවික හමුදාවේ ශක්තිය මෙන් දෙගුණයක ශක්තියක් මේ වන විට ඔවුන්ට තිබේ. පසුගිය සතියේ බ්‍රහස්පතින්දා එනම්, අප්‍රේල් 12 වැනිදා ජනාධිපති ෂී චීන නාවික හමුදාවේ ශක්තිය දැකබලා ගත්තේය. 1949 දී මහජන චීන බිහිවීමෙන් පසු චීන නාවික හමුදාව තම ශක්තිය දැවැන්ත ලෙස ප්‍රදර්ශනය කළ පළමු අවස්ථාව මෙය වෙයි. මේ නිසාම චීන ජනතාවගේ පමණක් නොව මුළු ලෝකයේම අවධානය චීනය දෙසට යොමු විය.
ජනාධිපති ෂී තමන්ගේ නාවික ශක්තිය පෙන්වීමෙන් පසුව මෙතෙක් චීන නාවික ශක්තිය දෙස දෙගිඩියාවෙන් බැලූ බොහෝ රටවල් බියට පත්ව තිබෙන බව පැහැදිලි වෙයි. විශේෂයෙන් තායිවානය මේ සම්බන්ධයෙන් දැඩි නොසන්සුන්තාවකට පත්ව සිටියි. තම බලය පෙන්වූ නාවික සන්දර්ශනයෙන් පසුව දින දෙකක කාලයක් නාවික අභ්‍යාසවල යෙදුණු චීනය ඊයේ (18දා) තායිවාන මුහුදු සීමාව ආසන්නයේ පැය 16ක නාවික පුහුණු අභ්‍යාසයක නිරත විය. තායිවානය ඇමෙරිකාවෙන් යුදෝපකරණ සහ ගිනිඅවි ලබා ගැනීමට කටයුතු කළේ කාලයක සිටය. ඇමෙරිකාව පසුගිය සතියේ ප්‍රකාශ කළේ, තායිවානයට නවතම සබ්මැරීන් තාක්ෂණයද ලබාදෙන බවයි. ජනාධිපති ෂී විශ්වාස කරනුයේ තායිවානය චීනයට අයත් ප්‍රදේශයක් බවත්, එය චීනයෙන් වෙන්වීමට උත්සාහ නොකළ යුතු බවත්ය. චීනය ඊයේ මෙම නාවික අභ්‍යාසය සිදු කළේ එයට සංකේතාත්මකව විරෝධය පෑමක් ලෙස යැයි ජාත්‍යන්තර දේශාපාලන විශේලේෂකයන්ගේ අදහසයි. එහෙත් මෙය එවැන්නක් නොව තමන්ගේ අභ්‍යාසයක නිරත වීමක් පමණක් බව චීනයේ අදහසයි.
බ්‍රහස්පතින්දා පැවැති නාවික සන්දර්ශනයේදී ජනාධිපති ෂී පැවසුවේ, චීනයට ශක්තිමත් නාවික හමුදාවක් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍ය බවත්, එය වෙන කවරදාටත් වඩා අද දිනයේ අවශ්‍යතාවක් වී ඇති බවත්ය. මෙහි අදහස වන්නේ දකුණු චීන මුහුදට බලපෑම් කරන කණ්ඩායම්වලට තම ශක්තිය පෙන්වීමට තමන් සුදානම් බව ලොවට දැන්වීම බව පැහැදිලිය. නාවික හමුදා සාමාජිකයන් 10,000කට වැඩි පිරිසක්, නැව් සහ යාත්‍රා 48ක්, ගුවන් යානා ප්‍රවාහනය කරන නෞකාවක්, ගුවන් යානා 76ක් සහ නවීන සබ්මැරීන් රැසක් මෙම සන්දර්ශනයට එක්විය.
මෙහිදී නාවිකයන් ඇමතූ ජනාධිපති ෂී වැඩිදුරටත් කියා සිටියේ, චීනය සෑම අවස්ථාවකම ශක්තිමත් නාවික හමුදාවක් ගොඩනැගීමේ අභිලාෂයෙන් සිටි බවයි. එසේම වර්තමාන චීන නාවික හමුදාව නැගෙනහිර කලාපයේ ශක්තිමත්ව නැගී සිටින නවතම බලය බවට පත්ව සිටින බවද ජනාධිපතිවරයා පැවසීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් චීනයේ සුවිශේෂ සම්ප්‍රදායන් රැකගෙන නව ආකාරයක පෙරමුණක් නිර්මාණය කිරීම සහ වර්තමාන කාලයට ගැළපෙන නාවික ප්‍රහාරක ක්‍රමයක් නිර්මාණය කරගැනීම වැදගත් බවද ඔහු පවසා සිටියේය.
මේ අතර, පසුගියදා නිමාව දුටු Boao සමුළුවේදී චීන ජනාධිපතිවරයා පැවසුවේ, චීනය අවධානය යොමු කරනුයේ සාමකාමී සංවර්ධනයක් අත්පත් කර ගැනීමට බවයි. එසේම නව ආකාරයේ වෙළෙඳ ගනුදෙනු ගැන අවධානය යොමු කරන බවද චීන ජනාධිපතිවරයා පැවසීය. Boao සමුළුව ලෝක ආර්ථික සමුළුවට සමාන මට්ටමින් පැවැත්වෙන දැවැන්ත සමුළුවකි. මෙහිදී චීන ජනාධිපතිවරයා සිදුකළ කතාව චීන ජනතාවගේ දැඩි ප්‍රසාදයට හේතුව වී තිබේ. ඒ අනුව චීනය ආර්ථික වශයෙන් දැවැන්ත ප්‍රගතියක් කරා යන බවට විශ්වාසය චීන ජනතාවගේ සිත් තුළ ඇතිව තිබේ.
Boao සමුළුවේදී ඒ ආකාරයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා චීන නාවික හමුදා ශක්තියද පෙන්වීමට කටයුතු කිරීම බොහෝ රටවලට ලබාදුන් අනතුරු ඇඟවීමක් බව දේශපාලන විචාරකයන්ගේ මතයයි. චීනය තවදුරටත් ආර්ථික බලවතා වෙමින් ඉදිරියට යන අතර තමන්ට අභියෝග කරන ඕනෑම අයෙකුගේ අභියෝග පිළිගැනීමට සූදානම් බව මෙයින් පෙන්වූ බව පැහැදිලිය. එහෙත් චීනය යුද කිරීමට සූදානම් නැත. තවත් රටක් මර්දනය කිරීමට සූදානම් නැත. එහෙත් තමන් මර්දනය කිරීමට යමෙකු ඉදිරියට එන්නේ නම්, සතුරා මර්දනය කිරීමට තමන් සූදානම් බව චීනය ලොවට පෙන්වා දී තිබේ.