දෙවැනි පිලිප් යනු මැසිඩෝනියාව පාලනය කළ රජෙකි. ඔහු %එකැස් පිලිප්^ ලෙසද ඉතිහාසයේ හැඳින්වේ. ඊට හේතුව නම් ඔහුගේ ඇසකට යුද්ධයේදී හානි වී තිබීමය. දෙවැනි පිලිප් යුද විශේෂඥයෙකි.
ඔහු කලක් ග්‍රීසියේ තීබ්ස් නගරයේ සිරකරුවෙකු ලෙස සිටි අයෙකි. ග්‍රීසිය ඒ වනවිට ශිෂ්ටාචාරයේ විශිෂ්ට අඩියකට පියමං කර තිබූ අතර, ප්රජාතන්ත්රවාදය සිය පාලන තන්ත්රය කරගෙන සිටියේය. ග්‍රීසියෙන් බැහැර වූ මැසිඩෝනියානුවන් සලකන ලද්දේ ම්ලේච්ඡයන් ලෙසිනි.
දෙවැනි පිලිප්ට පෙර මැසිඩෝනියාවේ රජ කළ පළමු ඇලෙක්සැන්ඩර් රජු (මහා ඇලෙක්සැන්ඩර් නොවේ) ඔලිම්පික් තරගයකට සහභාගි වීමට වරම් ඉල්ලූ අවස්ථාවේදී ග්‍රීකයන් කියා සිටියේ ම්ලේච්ඡයන් සමග තමන් දුවන්නට සූදානම් නැති බවයි. නමුත් දෙවැනි පිලිප් සමස්ත දේශපාලනයම උඩුයටිකුරු කළේය. පසුව ඔහුගේ පුත්‍රයා වූ මහා ඇලෙක්සැන්ඩර් දන්නා ලෝකයම (The Known World) පාලනය කළේය.
දෙවැනි පිලිප් සිය අධිරාජ්‍යය ගොඩනගන්නේ පූර්ණ ප්‍රතිසංවිධානයන් තුළිනි. අසම්ප්‍රදායික ප්‍රතිපත්ති මගිනි. ඔහු සිරකරුවෙකු ලෙස සිටියදී ග්‍රීසියෙන් ලත් දැනුමද උපයෝගී කර ගනිමින් මැසිඩෝනියානු හමුදාවේ උපක්‍රම, ඇඳුම් පැලඳුම්, අවි ආයුධ සියල්ල වෙනස් කළේය.
මෙහිදී වඩා වැදගත් වන්නේ ප්රජාතන්ත්රවාදී බලසම්පන්න රාජ්‍ය ක්‍රමයක් ලෙස පැවැති ග්‍රීසියට වඩා පිලිප් ජනප්‍රිය වූ ආකාරයයි. ග්‍රීසිය තුළ නිෂ්පාදනය වෙමින් තිබූ දැනුමට අලඟු තැබීමට හෝ මැසිඩෝනියාවට නොහැකි විය. එහෙත් මැසිඩෝනියානු ම්ලේච්ඡයන් හමුවේ ග්‍රීසියට පරාජය වන්නට සිදු විය.
ඊට ප්‍රධාන හේතුවක් වූයේ, දෙවැනි පිලිප් ක්‍රියාත්මක කළ ආර්ථික ප්රතිපත්තියයි. එය යුරෝපයේ බිහි වූ පළමු මධ්‍යගත ප්‍රතිපත්ති සහිත වූ ආණ්ඩු ක්‍රමයයි. ප්‍රතිපත්ති තීරණය කිරීම කේන්ද්‍රය මගින් සිදු වුවද, ආර්ථික ක්‍රියාවලිය සිදු වූයේ විමධ්යගතවය. මේ හෙයින්, දෙවැනි පිලිප්ගේ පාලනය යටතේ මිනිසුන්ගේ අතමිට සරුවිය. පිලිප් කිසිදු අවස්ථාවකදී තමන් අල්ලා ගත් ගම්දනව් කොල්ල කෑවේ නැත. ඒ වෙනුවට එම ප්‍රදේශවල නව නගර, නව වාරි ව්‍යාපෘති, වෙළෙඳ මධ්‍යස්ථාන ආදිය ඉදිකළේය. එම ප්‍රදේශ පාලනය කළේද, ඒ ඒ නගරවලින් බිහි වූ නායකයන් වන අතර, ඔවුහු පිලිප්හට ඍජුව වග වූහ.
ප්රජාතන්ත්රවාදය උපරිමයෙන් පැවැතියද, මෙම ආර්ථික සමෘද්ධිය ග්‍රීසියට අත්පත් කර ගැනීමට නොහැකි වීම නිසා ග්‍රීසිය අභ්‍යන්තරයේ ගැටලු බොහෝ විය. මේ නිසා දෙවැනි පිලිප්ගේ පාලනය ඇතැම් ග්‍රීකයන් රහසින් පැතූ බව ඉතිහාසඥයෝ පවසති. ඇතන්ස් වැසියෝ ප්රජාතන්ත්රවාදය යටතේම සුළු පිරිසකගේ බලය වර්ධනය වන ආකාරය (monopolies and oligarchies) දුටූහ.
මෙනයින්, පිලිප්ගේ සාර්ථකත්වයට මූලික හේතුව වූයේ තමන්ගේ ජනතාවගේ පමණක් නොව තමන් අතින් පාලනය වන විජිතයන්හි ජනතාවගේද අතමිට සරු කිරීමට කටයුතු කිරීමය. ඔහු බොහෝ රටවල් ජය ගෙන ඇත්තේද යුද කිරීමෙන් නොව උපායමාර්ගික ලෙස රජවරුන් සමග ඇතිකර ගත් එකඟතා මගිනි.
දෙවැනි පිලිප් රජුගේ පුත් මහා ඇලෙක්සැන්ඩර් රජු මැසිඩෝනියාව බාර ගන්නා විට එය දෙවැනි වූයේ ලොව ප්‍රබලම අධිරාජ්‍යය වූ පර්සියාවට පමණි.