අපි එකතු වෙන්නේ ඇයි?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වය එනම් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය හා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ශ්වය එකට එක්වීමට සාකච්ඡා පැවැත්වෙයි.
නමුත් අපට තිබෙන මූලික ගැටලුව වන්නේ 'ඇයි අපි එකතු වෙන්නේ' කියායි. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින විට අපිට එකතු විය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මූලිකවම අවධානය යොමු කළයුතු කරුණකි. මෙහිදී ඇති ප්‍රධාන ගැටලුව වන්නේ පක්ෂ දෙකේ ප්‍රතිපත්ති මූලිකවම බොහෝ වෙනසක් තිබීමය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් වචන 10ක් පැවසුවහොත් කටින් පිට වෙන්නේ අංක එක රට කියාය. කෙසේවෙතත් ක්‍රියාවෙන් නම් එය නොපෙනේ. ඒ සඳහා හොඳම උදාහරණ කිහිපයකි. එකක් බැඳුම්කර ගනුදෙනුවය. දෙවැන්න රාජ්‍ය සම්පත් විදේශයන්ට අලෙවි කිරීමය. මුලින්ම බැඳුම්කර ගනුදෙනුවේ වංචාවක් සිදු නොවුණ බවට ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයාට අවසානයේදී බැඳුම්කර කොමිසමට ගොස් ප්‍රකාශ ලබාදීමට සිදුවිය. ඔහු බැඳුම්කර කොමිසමෙන් පිටතට පිවිස පැවසුවේ වැරදි අඩුපාඩු සිදුවිය හැකි බවයි. ඒ අනුව දැන් ඔවුන්ද වරද පිළිගෙන තිබේ.
මේ වනවිට නායකයන් දෙදෙනා ප්‍රතිපත්ති දෙකක ගමන් කරන බව හොඳින්ම පෙනෙන්නට තිබේ. මෙය හරියට කසාද බැඳපු යුවළකට සිය කසාදය ඉදිරියට ගෙන යෑමටත් අවශ්‍ය අතරම වෙන් වෙන්ව ජීවත්වීමටත් අවශ්‍ය තත්ත්වයකි.
මේ වනවිට ලෝකයේ කිසිම රටක නොමැති අමුතුම දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ එකට එක්ව ආණ්ඩු කිරීමටත්, ඡන්දයකදී වෙන් වෙන්ව තරග කිරීමත්ය. මේ වන විට අපට බැලූ බැල්මට පෙනෙන තත්ත්වය නම් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයට ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමට දැඩි අවශ්‍යතාවක් පවතින බවයි.
මේ වන විට එක්සත් ජාතික පක්ෂය විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඝෘජු චෝදනා එල්ල කරමින් තිබේ. එහි ආසන්නතම අවස්ථාව වන්නේ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පසුගියදා පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී නැව් ගනුදෙනු හා දැන්වීම් ආයතන ගැන එළිපිට කතා කිරීමයි. එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් අල්ලස් හා දූෂණ චෝදනා පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා එල්ල කළේය.
මේ අතර ජනපතිවරයා දූෂණ හා චෝදනා පිළිබඳව එක්සත් ජාතික පක්ෂයට චෝදනා එල්ල කළේය. දෙන්නට දෙන්නා හොරා යැයි පවසමින් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන්නේ කෙසේදැයි යන්න ගැටලුවකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට අභූත ලෙස දූෂණ චෝදනා එල්ල කළ මෙම ආණ්ඩුවට වසර තුනක් ගතවීමට ආසන්නව තිබියදී බරපතළ ලෙස දූෂණ චෝදනා එල්ල වන්නේ දිට්ඨධම්මවේදනීය කර්මයක් පටිසන් දෙන ආකාරයටමය.
කඩින් කඩ මැතිවරණය පැවැත්වීම ජනතා මුදල් නිකරුණේ වියදම් කිරීමක් බව පවසමින් බලයට පැමිණි ආණ්ඩුව පළාත් පාලන ඡන්දය වසර දෙකක් පමණ කල් දමා ඇත. එසේම දැන් ඔවුන්ට සිදුව ඇත්තේ පළාත් පාලන ආයතන 93ක පමණක් මැතිවරණය පැවැත්වීමටය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා දැන් බාධාවක් වී ඇත්තේ සීමා නිර්ණයට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සමයි. මේ පෙත්සම පසුපස සිටින පාර්ශ්ව මේ වනවිට හෙළිදරව් වී තිබේ. පෙත්සම්කරුවන්ට සහාය දක්වා ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයයි. ඒ අනුව සත්‍ය ලෙසින්ම මැතිවරණය පැවැත්වීම කල් දමමින් තිබෙන්නේ ජනපතිවරයා නියෝජනය කරන පාර්ශ්වයයි.
අනෙක් අතින් ජනතා විමුක්ති පෙරමුණටද දැන් රැවුලත් කැඳත් දෙකම නැති වී තිබේ. ඔවුන් පළාත් සභා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සමග එක්ව කටයුතු කළේය. දැන් පළාත් පාලන මැතිවරණය නොපවත්වන බවට චෝදනා එල්ල කරයි. පළාත් සභා එකවර පැවැත්වීමට පනතක් ගෙන ආ ආණ්ඩුවට දැන් පළාත් පාලන මැතිවරණය කඩින් කඩ පැවැත්වීමට සිදුව තිබේ.
කෙසේ වුවත් පළාත් පාලන ආයතනය 93ක හෝ ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා ගත් තීරණය අගය කළ යුතුය.
ලෝකයෙන්ම ත්‍රස්තවාදය තුරන් කළ එකම රට බවට පත්ව සිටි ශ්‍රී ලංකාවේ උතුරුකරයේ මේ වනවිට එළිපිටම මහවිරු දින සමරමින් ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ උපන්දිනය සමරන්නට කටයුතු කරමින් සිටියි. මේ සියල්ලම උතුරටය. නමුත් දකුණේ රණවිරුවන් සැමරීමත් ආණ්ඩුව දැන් නවත්වා දමා ඇත. යුද්ධය කළ රණවිරුවන් සිරගතව සිටිද්දී එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් දැන් එළිපිටම කටයුතු කරමින් සිටියි.
මේ අතර උතුරේ නොයෙක් ප්‍රදේශවලින් අවි ආයුධ මතුවෙමින් තිබේ. ආවා නම්න් වූ කල්ලියක්ද උතුරේ නිර්මාණය වී ඇත. මේ හරහා පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව නැවතත් ක්‍රමයෙන් ඇඳුරු යුගයක් කරා ගමන් කිරීමයි.
උතුරේ ජනතාවට පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ලබාදුන් සංවර්ධනය මේ වනවිට නවත්වා ඇත. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කොළඹ සිට යාපනයට දුම්රිය ධාවනය කළේය. යුද්ධයෙන් විනාශ වී ගිය මංමාවත් බොහෝසෙයින් සංවර්ධනය කළේය. ඔවුන්ට ඡන්ද අයිතිය ලබාදෙමින් මැතිවරණ පවා පැවැත්වීය. නමුත් යහපාලන ආණ්ඩුවට මේ කිසිවක් කිරීමට නොහැකි වී ඇත. එය උතුරු ජනතාවගේ නොසන්සුන්කාරී තත්ත්වය ඇතිකිරීමට හේතුවක් වන්නේය.
ත්රස්තවාදීන් හා සටන් කර ජාතික ආරක්ෂාව සුරැකීමට කටයුතු කරනවා නම් මානව හිමිකම් අමතක කළයුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය ප්‍රකාශ කරන්නීය. අද ලෝකයේ ප්‍රවණතාව එයයි. නමුත් ශ්‍රී ලංකා හමුදාව ලෝකයේ බිහිසුණුම ත්රස්තවාදීන් සමග කටයුතු කළේ මානව හිමිකම් මෙන්ම යුද නීතියද අකුරටම ක්‍රියාවට නංවමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස එකල ත්රස්තවාදීන් වූ බොහෝ පිරිසක් මේ වනවිට පුනරුත්ථාපනය වී සමාජගතව ඇත. එසේම පිරිසක් දේශපාලනයටද පිවිස ඇත. මෙවැනි තත්ත්වයක් තිබියදී ශ්‍රී ලංකා නායකයන් ලෝකෙ වටේ ගොස් ත්රස්තවාදීන් ආරක්ෂා කිරීමට කටයුතු කරයි.
මේ වනවිට වැල්ලවැටිතුරෙයි ප්රභාකරන්ගේ නිවස පිහිටි ස්ථානයේ ඔහුගේ උපන්දිනය කේක් කපා සැමරීමට හැකි වාතාවරණයක් නිර්මාණය වී තිබීම ගැන පාලකයන් ලැජ්ජාවට පත් විය යුතුය. එල්.ටී.ටී.ඊ.ය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළ රටවල් මෙවැනි සැමරුම් සඳහා අද වනවිට මුනිවත රකිමින් සිටියි. නායකයන් පුරසාරම් දොඩන ඔවුන් දිනාගත් ජාත්‍යන්තරය එයය.
අනෙක් අතින් අපට ඇසීමට ඇති ප්රශ්නය නම් බටහිර රටවල් සිය රට තුළ ඔසාමා බිල්ලාඩන් හෝ අල් බග්ඩාඩිගේ උපන් දිනයන් සැමරීමට අවස්ථාව දෙන්නේද යන්නයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

