'තාඕවාදය. හෙවත් 'දාවෝවාදය' මේ වන විට බටහිර ලෝකය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ආසියාතික දර්ශනයකි. 'The Tao of Physics: An Exploration of the Parallels Between Modern Physics and Eastern Mysticism' නම් කෘතියක් ෆිට්ජොෆ් කප්රා නම් විද්‍යාඥයා විසින් 1970 දශකයේදී රචනා කිරීමෙන් පසු තාඕවාදය කෙරෙහි වඩවඩාත් ලෝක අවධානය යොමු වන්නට විය.
තාඕවාදය බිහිවන්නේ චීනය පාදක කරගෙනය. එම දර්ශනයේදී මූලික වශයෙන් ඉගැන්වෙන දෙයක් නම් ජීවිතය තේරුම් ගත හැක්කේ හැඟීම් ඔස්සේ (intuitive knowing) බවයි. සංකල්ප මගින් ජීවිතය පැහැදිලි කිරීමට නොහැකිය.
වර්තමාන විද්‍යාව යටතේ අප උත්සාහ ගනිමින් සිටිනුයේ ලෝකය සංකල්ප, සූත්‍ර ආදිය මගින් විස්තර කිරීමටය. තාඕ දර්ශනය අනුව එය අසාර්ථක උත්සාහයකි. කප්රා විසින් සිය කෘතියේදී පෙන්වා දීමට උත්සාහ ගන්නේද සංකල්ප මත පාදක වූ නිව්ටෝනියානු බටහිර විද්‍යාවේ ඇති අසාර්ථක ස්වභාවයයි. ඔහුගේ අදහස වන්නේ තාඕ දර්ශනය සමග පෑහීමට හැක්කේ ක්වොන්ටම් භෞතික විද්‍යාව බවයි.
තාඕවාදය ක්‍රිස්තු පූර්ව 04 වැනි සියවස දක්වා ඈත අතීතයට දිවයයි. 'ලාඕසි' හෙවත් 'ලාඕ-ත්සු' නම් ඉපැරණි චීන දාර්ශනිකයා විසින් තාඕවාදය බිහිකළේ යැයි විශ්වාසයක් පවතී. ඔහු විසින් රචිත තාඕ තේ චින්ග් නම් කෘතිය තාඕ දර්ශනයේ සියලු හරය අන්තර්ගත වූ අග්රකෘතිය වශයෙන් සලකනු ලැබේ.
කෙසේ වෙතත්, ලාඕ-ත්සු විසින් සංග්‍රහ කෙරුණේ ඔහුට පෙර පටන් චීනයේ පැවැති දාර්ශනික අදහස් බවටද විශ්වාසයක් පවතී. තාඕ දහමේ ප්‍රධාන සංකේතයක් වන්නේ යින් සහ යැන් සලකුණයි. කළු සහ සුදු අර්ධ දෙකකින් සමන්විත වෘත්තියකින් යුතු මෙම සලකුණ දකුණු කොරියානු කොඩියේද දැක ගන්නට ලැබේ.
ලෝකය උස්මිටි, කළුසුදු ආදී වූ විවිධ වූ ප්රතිපක්ෂයන් මත නිර්මාණය වී ඇති බවත්, සමස්තය පූර්ණත්වයකින් යුතු බවත් මෙහිදී ඉගැන්වේ. %යින් සහ යැන්^ යනු ලෝකය තුළ ඇති ද්විමය ප්රතිපක්ෂයන් සංකේතවත් කරන්නකි.
තාඕ දර්ශනයේදී සෑම විටම ඉගැන්වෙන කරුණක් නම් ස්වභාව ධර්මය සමග සමාවායක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවයි. සියලු දේ කෙරෙහි කරුණාව, මෛත්‍රිය පැතිර වීම තාඕ දර්ශනයේ මූලික අධ්‍යාශයයි. මිනිසා විසින් සිය ස්වභාවය අත්කර ගැනීම (primordial state) තාඕවාදයේ ප්‍රධාන ඉගැන්වීමය. එහිදී මිනිසාගේ ආත්මාර්ථයන්, කෑදරකම්, ලාලසාවන් විනිර්මුක්ත වන බව විශ්වාස කෙරේ.
විශ්වයේ සෑම දෙයක්ම චි (qi) ගුණයකින් යුක්ත වෙතැයි තාඕවාදීහු විශ්වාස කරති. එනම්, විශ්වය නැවත නැවතත් බිඳෙමින් ප්‍රතිනිර්මාණය වෙමින් පවතින්නකි. තායි චි නම් චීන සටන් කලාවට වැද ගෙන ඇත්තේ ද මෙම දර්ශනයයි. යින් යැන් වශයෙන් පෙර දී සඳහන් කළ ප්රතිපක්ෂයන්ද පවතින්නේ මෙම චි ගුණය යටතේය. එහිදී සෑම ප්රතිපක්ෂයක්ම අනෙක සමග පෑහෙමින් එය සමගම පවතී. සුදු සෑම විටම පවතින්නේ කළු නිසාය. උස සෑම විටම පවතින්නේ මිටි නිසාය.
මෙනයින්, සුදු හෝ කළු යන දෙදෙනාට එකිනෙකාගෙන් වෙන්ව තනිව සිටීමට නොහැකිය. තාඕ දර්ශනයේදී අවබෝධ කර ගැනෙන්නට උත්සාහ ගැනෙන්නේ විශ්වය පුරා ව්‍යාප්තව පවතින මෙම අනවරථ ප්‍රවාහය ගැනය.
දර්ශන අශෝක කුමාර