නව දේශීය ආදායම් පනත හරහා ඉහළ සිට පහළට සෑම දෙනෙකුගෙන්ම බදු අය කිරීමට රජය කටයුතු කර තිබේ. ඊට අමතරව අවුරුදු 18 ඉක්මවූ සෑම පුද්ගලයෙකු වෙනුවෙන්ම වෙනම බදු ලිපිගොනුවක් පවත්වාගෙන යෑමට රජය අවධානය යොමුකර ඇත්තේ තවත් පුද්ගලයන්ගෙන් බදු අය කිරීමේ අරමුණින් වනු ඇත. මේ ලිපිගොනුවට ඇතුළත් වන දත්ත අනුව ඔවුන්ගේ බදු ගෙවීමේ හෝ නොහැකි වීමේ හැකියාව තක්සේරු කිරීමෙන් අනතුරුව බදු පැනවීම සිදුකරනු ඇත.
ජනතාවගේ සාක්කුවෙන් මුදල් පික්පොකට් ගසන ආණ්ඩුව පසුගිය වසර තුනේදී ජනතාවගේ ඒකපුද්ගල ආදායම වැඩි කිරීමට කටයුතු කර ඇත්තේ ඩොලර් 100කින් පමණය. 2014 වසරේදී ඩොලර් 3900 තිබූ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ක් දක්වා මේ වනවිට වැඩිව තිබේ.
රජයක් පවත්වාගෙන යෑමට නම් ආදායම් අවශ්‍ය බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. මේ සඳහා ක්‍රම දෙකකින්. එකක් බදු ආදායම ය. අනෙක බදු නොවන ආදායමය. මේ අතරින් පහසුම මාර්ගය වන්නේ බදු හරහා ආදායම් උපයා ගැනීමය. වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හෝ වෙනත් ආයතනවල උපදෙස් ලබාගනිමින් කරන්නේ බදු ආදායම ඉහළ නංවාගැනීමට කටයුතු කිරීමය.
නමුත් ජනතාවගේ ආදායම් ඉහළ නැංවීමක් කෙරෙහි රජය අවධානය යොමුකර නොමැත. අනෙක් අතින් බදු නොවන ආදායම් වර්ධනය කර ගැනීමේ හැකියාවක්ද රජයට නොමැත. මන්දයත් නොහැකියාව වසා ගැනීම සඳහා, ආර්ථික වශයෙන් ඉතාමත්ම වැදගත් ස්ථාන බදුදීමට ආණ්ඩුව කටයුතු කරන හෙයිනි.
සෘජු බදු වේවා, වක්‍ර බදු වේවා මේවා ජනතාව විසින් ගෙවිය යුතුය. ආණ්ඩුවක් කටයුතු කළ යුතු වන්නේ බදු අය කිරීමට නොව ජනතාවගෙන් හැකිතාක් දුරකට බදු බර අඩු කිරීමටය. ඒ සඳහා පොලී අනුපාතිය අඩුකර ගැනීමට කටයුතු කරමින්, නිවැරදි ආර්ථික කළමනාකරණයක් යටතේ අනවශ්‍ය වියදම් කපා හැරීමට කටයුතු කළ යුතු වෙයි.
පවතින බදු ක්‍රමය සරල කිරීමට නව බදු පනතක් ගෙන එනවා යැයි කියූ ආණ්ඩුව අවසානයේදී ඉතාමත් සංකීර්ණ බදු පනතක් ගෙනැවිත් තිබේ. ඉදිරියේදී පත්වන අපගේ ආණ්ඩුවකින් ජනතාවට පහසුවෙන් බදු ගෙවිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමත්, බදු ආදායම පිළිබඳ සහ බදු නොවන ආදායම් පිළිබඳ අවධානය යොමු කරමින් එම මාර්ග හරහා ආදායම් උත්පාදනය කර ගැනීමටද කටයුතු කිරීමට සූදානම්ය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙනැවිත් තිබෙන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමේ අවස්ථාව ඒකාබද්ධ විපක්ෂයට තිබේ. මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය ඒ සඳහා වන සියලු කටයුතු සූදානම් කර අවසන්ය. දැන් ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය ගැනීමය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්නේ නම් එය ජයග්‍රහණය කිරීමේ අවස්ථාව තිබේ. ඒ අනුව තීරණය පවතින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතේය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී රත්නපුරයේ පැවැති ජන හමුවකදී එතුමා ප්‍රකාශ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ සියලු දෙනා තමන් සමග එකට සිට ගන්නේ නම් නිදහස් පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කරන බවයි.
ඒ අනුව ජනාධිපතිවරයාට සිය පොරොන්දුව ජනතාව වෙනුවෙන් ඉටුකිරීමට දැන් අවස්ථාව උදා වී තිබේ. විශ්වාසභංග යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහාය ප්‍රබල සාධකයක් වන හෙයින් මෙහිදී එතුමා ගන්නා තීරණය පිළිබඳවද ජනතාව වැඩි උනන්දුවක් පෙන්වා තිබේ. සටහන ලියන අවස්ථාව වනවිටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල තීරණය පැමිණ නොතිබිණි. නමුත් නිල නොලත් ආරංචි මාර්ගවලින් වාර්තා වූයේ බහුතරයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් විශ්වාසභංගයට සහාය දීමට තීරණය කර ඇති බවයි.
ආණ්ඩුවට පැමිණෙන එක පිට එක ප්‍රශ්න අවසන් කිරීම සඳහා එක් එක් පියවර ගනිමින් තිබේ. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන පියවර පිළිබඳ දැන් කතාවක් නොමැත. මැතිවරණ පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නිර්මාණය වූ අර්බුදය පිළිබඳ දැන් කතාවක් නොමැත. මහනුවර හා අම්පාර ඇති වූ ගැටුම් පිළිබඳ කතාවක් නොමැත. මේ අතර විශ්වාසභංග යෝජනාව හා ආණ්ඩුව විසින් හඳුන්වාදුන් නව දේශීය ආදායම් පනත ජනතාවගෙන් අමතක කිරීම සඳහා කටයුතු කළේ පුද්ගලයන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමය.
මෙහිදී වැලිකඩ සිදුවීමට සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ දක්ෂ නිලධාරියෙකු වූ පොලිස් පරීක්ෂක රංගජීව මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතරම බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන ළමාහේවා මහතාද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මීට අමතරව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමටද කටයුතු කළේය.
නමුත් මේ අත්අඩංගුවට ගැනීම් හරහා නව දේශීය ආදායම් පනත පිළිබඳ මාතෘකාව හෝ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ජනතා අවධානය වෙනස් කිරීමට ඒකාබද්ධ විපක්ෂය ඉඩ නොතබනු ඇත.
පොලිස් පරීක්ෂක රංගජීව මහතා අත්අඩංගුවට ගැනීම මත්කුඩු ජාවාරම්කරුවන්ට වාසිදායක ප්‍රවෘත්තියක් වනු ඇත. සෑම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය වූ අවස්ථාවකදීම පාතාලයේ හිස එසවීම හා මත්ද්‍රව්‍ය ජාවාරම් වර්ධනය වීම අතීතයෙන් ඉගෙනගත හැකි පාඩම්ය.
එක්සත් ජාතික පක්ෂයෙන් රටේ මුල්පුටුවලට ගිය පුද්ගලයන් හා පාතාල සාමාජිකයන්ගේ නම් එකට කියැවිණි. ඇතැම් නායකයන් සිය ආරක්ෂක කණ්ඩායම් සඳහා පාතාලයට සම්බන්ධ වූවන් සේවයේ යොදවාගෙන සිටි අවස්ථාද කියැවිණි. පොලිස් පරීක්ෂක රංගජීව මහතා පසුගිය කාලයේදී මත්ද්‍රව්‍ය විරෝධී සටනට සක්‍රීයව දායක වූ නිලධාරියෙකු වූ අතර, ඒ හේතුවෙන් වරක් ඔහු වෙඩි ප්‍රහාරයකට පවා ලක්විය. ආණ්ඩුව එම නිලධාරියාට වෙඩි තැබූ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට කළේ රංගජීව අත්අඩගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමකි. මෙය පාතාල නායකයන්ගේ වුවමනාවට ආණ්ඩුව කළ සැලසුමක්දැයි යන සැකය ඇතිව තිබේ. මේ අත්අඩංගුවට ගැනීමත් සමගින් පොලිස් නිලධාරීන් ඉදිරියේදී මත්කුඩු ජාවාරම් සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම්වලින් වැළකී සිටීමටද මෙවැනි සිදුවීම් හේතුවක් බවට පත්වනු ඇත.
ලබන සතියේදී යළිත් හමුවෙමු.
ඔබට සුබ අනාගතයක් !