‘CRJB Champion’ නාමය දිනූ ලොව ප්‍රථම බැංකුව කොමර්ෂල් බැංකුවයි
සිය ආයතනික සංස්කෘතිය තුළ සියලු දෙනාට සමාන අවස්ථා සහ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීමට දැක්වූ කැපවීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ව්‍යාපාර ක්ෂේත්රයේ ප්‍රජනන යුක්තිය සඳහා වූ සන්ධානය (CRJB) විසින් පිරිනමන ‘චැම්පියන්‘ (Champion) නාමය හිමිකරගත් ලොව ප්‍රථම බැංකුව බවට පත් වී ඇත.
මෙම ජාත්‍යන්තර ඇගයීම, සේවක සුබසාධනය, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සහ කාන්තා සෞඛ්‍යය බැංකු කටයුතු සමඟ ඒකාබද්ධ කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර තිරසාර ව්‍යාපාරික වර්ධනයක් කරා ගමන් කරන කොමර්ෂල් බැංකුවේ නායකත්වය ද ඉස්මතු කරයි.
ගෝලීය මට්ටමින් බැංකුව හිමි කරගත් මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, “එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ හි ‘CRJB චැම්පියන්’ නාමය හිමිකරගත් ලොව ප්‍රථම බැංකුව බවට පත්වීම ජීවිතයේ සෑම අවස්ථාවකදීම අපගේ සේවකයන් සවිබල ගැන්වෙන සේවා පරිසරයක් ගොඩනැගීමට අප දක්වන දැඩි කැපවීම පිළිබිඹු කරනවා. මෙම ඇගයීම අපට ගෞරවයක් මෙන්ම වගකීමක් ද වෙනවා. සේවක සුබසාධනය, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සහ කාන්තා සෞඛ්‍යය තිරසාර ව්‍යාපාරයක් සඳහා අත්‍යවශ්‍ය අංග බව අපි විශ්වාස කරන අතර එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වීම තුළින් අපගේ අභ්‍යන්තර ක්‍රියාපටිපාටි තවදුරටත් ශක්තිමත් කරමින් බැංකු ක්ෂේත්රයටද නව ආදර්ශයක් සපයනවා. මෙය අපගේ සේවකයන්ට, ගනුදෙනුකරුවන්ට සහ අප සේවය කරන ප්‍රජාවට දිගුකාලීන යහපතක් උදාකර දීමේ උත්සාහයක් බව පැවසිය යුතුයි” යනුවෙන් පවසා සිටියේය.
සේවක සුබසාධනය සහ ඉහළ සමාජ බලපෑමක් ඇති ආයතනික සමාජ වගකීම් (CSR) වැඩසටහන් අතර පවතින සාර්ථක සමතුලිතතාවය කොමර්ෂල් බැංකුවට ‘චැම්පියන්’ නාමය හිමිවීම සඳහා බලපෑ ප්‍රධාන සාධකයක් විය. බැංකුව සිය සේවකයින්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය ලබා දෙන අතර, ඔවුන්ගේ පෞද්ගලික සංවර්ධනය සහ ජීවන ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සේවක කේන්ද්‍රීය සංස්කෘතියක් පවත්වාගෙන යයි.
ඊට අමතරව, බැංකුව විසින් ප්‍රජා සෞඛ්‍යය නංවාලීම සඳහා කාන්තා සුළු ව්‍යවසායිකාවන් සඳහා විශේෂ වෛද්‍ය සායන සංවිධානය කිරීම, දිවයිනේ විවිධ ප්‍රදේශ සහ සේවා ස්ථාන ආවරණය කරමින් මහා පරිමාණයෙන් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ කාන්තා ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ සැසි පැවැත්වීම සිදු කර ඇති අතර විවිධ හවුල්කාරිත්වයන් සහ ජාතික මට්ටමේ ප්‍රචාරණ වැඩසටහන් ඔස්සේ රටේ සෞඛ්‍ය ප්‍රමුඛතා ඉටු කිරීමටද සක්‍රීයව දායක වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
