හම්බන්තොට වරායේ වාහන ගින්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ වාහනයකට ඔක්තෝබර් 31 වැනිදා අකුණු සැර වැදීමෙන් ඇති වූ ගින්න කඩිනමින් නිවා දැමීමට වරායේ හදිසි ප්‍රතිචාර ඒකකය සමත් වූ බව වරාය පාලනාධිකාරිය පවසයි.
එම කණ්ඩායම වහා ක්‍රියාත්මක වීමෙන් ගින්න අවට නවතා තිබූ වාහනවලට විහිදීම වළක්වා තවදුරටත් සිදුවිය හැකි හානි අවම කරගැනීමට හැකි වී තිබේ.
විශාල වශයෙන් හානි සිදු වූ බවට පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන්පැහැදිලි කරමින් වරාය පාලනාධිකාරිය සඳහන් කළේ, අකුණු සැර වැදීමෙන් එක් වාහනයකට දැඩි හානි සහ තවත් වාහන තුනකට සුළු හානි සිදු වූ බවයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා සමාගමේ (HIPS) ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී, කපිතාන් මියුරු ගුණසේකර මහතා අදහස් දක්වමින්, “අපේ හදිසි ප්‍රතිචාර කණ්ඩායම වහාම ක්‍රියාත්මක වී අවට වාහනවලට පැතිරීමට පෙර ගින්න නිවා දැමුවා. වරාය තුළ භාණ්ඩ සහ දේපළ ආරක්ෂා කිරීමට ඉක්මනින් ක්‍රියාත්මක වීම සඳහා අපේ කණ්ඩායම සතු සූදානම මෙයින් පෙන්නුම් කරනවා” යැයි සඳහන් කළේය.
වරායේ හදිසි ප්‍රතිචාර ඒකකය මීට පෙර ද හම්බන්තොට නගරයේ, මිරිජ්ජවිල සහ අවට ප්‍රදේශවල ඇති වූ ගිනි නිවා දැමීමට දායක වී ඇත. හම්බන්තොට වෙළෙඳ සංකීර්ණයක, ලංවා කර්මාන්තශාලාවේ සහ හම්බන්තොට සුනාමි ගම්මානයේ නිවසක ඇති වූ ගිනි ඒ අතර වේ. සුනාමි ගම්මානයේ ගින්නට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමෙන් එය යාබද නිවාසවලට පැතිරීම වළක්වා ගැනීමට ද හැකි වී තිබේ.
වාහන ගින්න ඇති වී තිබුණේ හම්බන්තොට ප්‍රදේශයට ධාරානිපාත වැසි තිබියදීය. වරායේ වාහන අංගණයේ ජල මට්ටම ඉහළ ගියද, කාර්යක්ෂම ජලාපවහන පද්ධතිය ඔස්සේ ජල මට්ටම පාලනය කරගත් බව වරාය පාලනාධිකාරිය සඳහන් කරයි.
වාහන රඳවා තබන ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් කාලගුණ තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කිරීමට වරාය කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවද පාලනාධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

