වර්ෂ 2015න් පසු නිකුත් කරනලද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ශ්‍රී ලංකාව ගෙවන පොලිය, 2015ට පෙර නිකුත් කරනලද බැඳුම්කර සඳහා ගෙවූ පොලී අනුපාතවලට සාපේක්ෂව අතිශයින් වැඩිවීමෙන්, ශ්‍රී ලංකාවට විදේශ විනිමයෙන් ඇ.ඩො.මිලියන 834.6ක (රු.බිලියන 151.1ක) දැවැන්ත පාඩුවක් සිදුව ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
හිටපු අධිපතිවරයා පෙන්වා දෙන්නේ, මෙලෙස දරන්නට සිදුවී ඇති වැඩි පොලී පිරිවැය කොළඹ/කටුනායක අධිවේගී මාර්ගයක් (රු.බි. 48) සහ මෙගාවොට් 900ක නොරොච්චෝලේ තාප බලාගාරයක් (රු.බි. 103) ඉදිකිරීමට හැකි වන මුදල් ප්‍රමාණයක් බවයි.
ඔහු සඳහන් කරන පරිදි, 2007 ඔක්තෝබරයේ, එනම්, යුද සමයේදී ඇ.ඩො.මි. 500ක ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය නිකුත් කර ඇත. ඒ අනුව, 2007 සිට 2014 දක්වා වසර 8ක කාලය තුළ ඇ.ඩො.මි. 5,500ක බැඳුම්කර නිකුත් කළ බවත්, ඒ අවස්ථාවේදී මෙම බැඳුම්කර අනාගත රජයක් ගරු නොකරන බවට එවකට විපක්ෂ නායක හා වත්මන් අග්‍රාමාත්‍යවරයා ආයෝජකයන්ට අනතුරු ඇඟවීම් කර තිබූ බවත් හිටපු අධිපතිවරයා පවසයි.
2007 සිට 2014 දක්වා, වසර 5ක බැඳුම්කර 4ක් ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති අතර, ඒවා සඳහා කූපන් පොලී අනුපාතය වසරක් වසරක් පාසා ක්‍රමයෙන් අඩුවූ බව පෙන්වා දෙන හිටපු අධිපතිවරයා, 2007 සිට 2014 දක්වා, වසර 10ක බැදුම්කර 3 ක් නිකුත් කළ බවත්, ඒවා සඳහා කූපන් පොලී අනුපාතයද වසරක් පාසා ක්‍රමයෙන් අඩුවූ බවත් පවසයි.
කෙසේ වෙතත්, වත්මන් යහපාලන රජය 2015 සිට 2019 දක්වා, වසර 4ක් තුළ ඇ.ඩො.මි 10,050ක අගයකින් යුතු බැඳුම්කර 9ක් දැනටමත් නිකුත් කර ඇති බව සඳහන් කරන හිටපු අධිපතිවරයා, 2015 සිට 2019 දක්වා වසර 4ක කාලයකදී, 2015ට පෙර වසර 8කදී නිකුත් කරනලද බැඳුම්කරවලට වඩා 71%කින් වැඩි අගයකින් බැඳුම්කර නිකුත් කර ඇති බව පෙන්වා දෙයි. එමෙන්ම, 2015 සිට 2019 කාලය තුළදී, වසර 5ක බැඳුම්කර 3ක් නිකුත් කරන ලද අතර, ඒවායේ පොලී අනුපාත 2015ට පෙර තිබූ පොලී අනුපාතය වන 5.125%ට වඩා බෙහෙවින් වැඩි බවද සඳහන් කරන හිටපු අධිපතිවරයා, 2015 සිට 2019 කාලය තුළදී, වසර 10ක බැදුම්කර 6ක් නිකුත් කරන ලද අතර, ඒවායේ පොලී අනුපාතද 2015ට පෙර තිබූ පොලී අනුපාතය වන 5.875%ට වඩා බෙහෙවින් වැඩි බව අවධාරණය කරයි.
ආර්ථිකයේ අදක්ෂ පරිපාලනය නිසා හෝ වංචනික ලෙස පොලී අනුපාතය වැඩි කිරීම නිසා හෝ 2015 සිට දැවැන්ත වැඩිපුර පොලී පිරිවැයක් දැරීමට ශ්‍රී ලංකාවට සිදුවී ඇති බව පවසන අජිත් නිවාඩ් කබ්රාල් මහතා, තෝරාගත් රටවල් කිහිපයක වර්තමාන බැඳුම්කර පොලී අනුපාතය ශ්‍රී ලංකාව ගෙවන අනුපාතයට වඩා බෙහෙවින් අඩු අගයක් ගන්නා බව සඳහන් කරයි.
ඒ අනුව, තායිලන්තය වසර 10ක බැඳුම්කර සඳහා 2.510%ක, වියට්නාමය 4.783%ක, මැලේසියාව 3.874%ක, ග්‍රීසිය 3.841%ක සහ බොට්ස්වානාව 5.275%ක පොලී අනුපාතයක් ගෙවද්දී, ශ්‍රී ලංකාව වසර 10ක බැඳුම්කර සඳහා 7.850%ක ඉහළ පොලී අනුපාතයක් ගෙවන බව පෙන්වා දෙන හිටපු අධිපතිවරයා, ඉහත කී රටවල් ගෙවන පොලී අනුපාතය සමග ශ්‍රී ලංකාවේ පොලී අනුපාතය සන්සන්දනය කරද්දී, ශ්‍රී ලංකාව පිළිබදව ආයෝජකයන් ඉමහත් කනස්සල්ලකින් පසුවෙන බව හෝ වෙනත් නොදන්නා හේතුවක් නිසා ශ්‍රී ලංකා රජය පොලී අනුපාත වැඩිකොට ඇති බව පෙනී යන්නේ යැයි අවධාරණය කරයි.