ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරිකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය වෙමින් ඇති බවත්, ඊට හේතුව වී ඇත්තේ රජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ ඔවුන් තුළ ගොඩනැගී ඇති විශ්වාසය බවත් සංවර්ධන බැංකු හා ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කෘෂිකර්මාන්තය සහ ව්‍යාපාරික ප්‍රජාව මත පදනම් වූ ආර්ථිකයක් නිර්මාණය කිරීමේ රජයේ අපේක්ෂාව මේ ඔස්සේ මුදුන්පත් කර ගත හැකි වනු ඇති බවයි.
බදු ඉහළ නංවමින් රජය වෙත මුදල් රැස්කර ගැනීම වෙනුවට බදු සහන ලබාදෙමින් ජනතාව අතර මුදල් සංසරණය වීමට අවස්ථාව උදාකරලීමත්, ජනතාවට ව්‍යවසායකත්වය පිවිසීම සඳහා මංපෙත් විවර කරලීමත් රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා කියා සිටියේය. එම අපේක්ෂාවන් මුදුන් පත් කර ගැනීම සඳහා රජය පත්වූ වහාම ලබා දුන් බදු සහන මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ව්‍යාපාරික ප්‍රජාව තුළ විශ්වාසනීයත්වය ගොඩනැංවීමට එම තත්ත්වය ප්‍රබල ලෙස හේතුවී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ව්‍යාපාරිකයන් බදු බරින් මිරිකී, අයහපත් ආර්ථික කළමනාකරණයකට නතුව තිබූ ශ්‍රී ලංකාව කෙමෙන් ඉන් මිදෙමින් පවතින බවට මෙය කදිම නිදසුනක් බව ෂෙහාන් සේමසිංහ අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.