ශ්‍රී ලංකන් ගුවන් සේවය පානීය ජලය මිලදී ගැනීමට අදාල අසත්‍ය වාර්තාවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හවුමාරු වෙමින් පවතින බවත්, ඒවායෙහි සඳහන් ආකාරයට ඩුබායි සමාගමකින් පානීය ජලය මිලදී ගැනීමක් හෝ ජලය සඳහා අධික මිලක් ගෙවීම ගුවන් සේවය මේ වනවිට සිදුනොකරන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.
කෙටි ගමනාන්තවල යෙදෙන ගුවන් යානයක සිටින සියලුම මගීන්ට ජලය වීදුරුවලට වත්කර සංග්‍රහ කිරීමට ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් විසින් ගතකරන ලද දීර්ඝ කාලය හේතුවෙන් බොහෝ ගුවන් සමාගම් භාවිත කරනුයේ බෝතල් කළ ජලය හෝ පෙර ඇසුරුම් කරනලද ජල කෝප්පයකි.
එම ජල කෝප්පයේ විශාලත්වය නියම වී ඇත්තේ ගුවන් යානය තුළ භාවිත කරන ආහාර තැටියේ ප්‍රමාණය අනුව වන අතර, ප්‍රධාන වශයෙන් මැදපෙරදිග හා ඈතපෙරදිග ගමනාන්ත වෙත සේවය කරන ගුවන් සමාගමේ පටු බඳ සහිත ගුවන් යානා තුළ භාවිත වන ආහාර තැටියට අර්ධ ප්‍රමාණයේ කෝප්පයක් අවශ්‍ය වේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරන අතර, ඒ අනුව ගුවන් සේවය විසින් 2018 මාර්තු 6 සහ 7 යන දිනවල ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත්වල ඊට අදාල ටෙන්ඩර් දැන්වීමක් නිකුත් කරමින් නිශ්චිත අයිතමය සැපයීම සඳහා ශ්‍රී ලංකාවේ සහ විදේශීය සමාගම්වලින් ලංසු කැඳවීම සිදුකළ බවත් පවසයි. මෙම වෙළඳ දැන්වීම් සඳහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ජල කෝප්ප ලබාදීමට හැකි බවට කිසිදු යෝජනාවක් නොලැබුණු බවත්, ලංසු ඉදිරිපත් කරන ලද්දේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පදනම් කරගත් සමාගම්වලින් වන අතර, ඊට අමතරව මැලේසියාවෙන් ජලය සැපයීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාව පදනම් කරගත් සමාගමකින්ද ලංසු ඉදිරිපත් කෙරුණු බව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා සැපයුම්කරුවන්ට අනුග්‍රහය දැක්වීමට ඉතා කැමත්තෙන් සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුව ශ්‍රී ලංකාවේ තවත් ජල සැපයුම්කරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ කරගත් නමුත් ඒ කිසිවෙකු මේ සඳහා උනන්දුවක් නොදැක්වූ බවද පවසයි. බැවින්, වඩාත් තරඟකාරී ලංසුව ඉදිරිපත් කර තිබූ ලැයිස්තුව අතරින් UAE පදනම් කරගත් සැපයුම්කරුවෙකු අදාළ ප්‍රසම්පාදන අධිකාරිය විසින් අනුමත කරනලද බවත් පෙන්වා දෙයි. පෙර ඇසුරුම්කරන ලද ජලය කෝප්පයක් සඳහා පිරිවැය එකල අදාළ විනිමය අනුපාතයට අනුව එ.අ.එ ඩිරම් 0.16146 හෝ ශ්‍රී ලංකා රු.6.96 විය. මේ අනුව, ගුවන් සේවය ඇ.ඩො.7.80ක මිලකට පෙර ඇසුරුම් කළ ජල කෝප්පයක් මිලදී ගන්නා බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔවුහු පවසති.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමාජ වගකීම් ඉටුකරන ආයතනයක් වන අතර පරිසරයට සිදුවන හානිය අවම කිරීම සඳහා හරිත වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම එවැනි එක් පියවරක් බව කියයි. නමුත් මේ වනවිට පෙර ඇසුරුම් කළ ජලය අත්හිටුවීමට කළමනාකාරිත්වය විසින් තීරණයක් ගන්නා ලද නමුත් මීට පෙර ලබාගත් ජල කෝප්ප තොග ගුවන් සේවය සතුව පවතින බව ඔවුහු පවසති.