විචක්ෂණශීලී ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි - IMF
එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත කණ්ඩායමක් මෑතකාලීන සාර්ව ආර්ථික ප්රවණතා සහ විස්තීර්ණ ණය පහසුකම යටතේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය, සහ 2026 වසර සඳහා වන IVවන වගන්තිය යටතේ වන උපදේශනයට අදාළ ප්‍රතිපත්ති නිර්දේශ සාකච්ඡා කිරීම සඳහා 2026 වසරේ සැප්තැම්බර් මස 10 වන දින සිට 23 වන දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණි. සංචාරය අවසානයේ දී ජා.මූ. අරමුදල විසින් අද (23දා) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පවසා තිබුණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය නිමා කරයි
යම් රටක සංචාරයකින් පසු හඳුනා ගන්නා ලද මූලික කරුණු පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) කාර්ය මණ්ඩල කණ්ඩායම්වල ප්‍රකාශ එම දූත මෙහෙය අවසානයේ නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයන්හි ඇතුළත් වේ. මෙම ප්‍රකාශයේ අන්තර්ගත අදහස් ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩලයේ අදහස් වන අතර, එමගින් ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලයේ අදහස් අවශ්‍යයෙන්ම නියෝජනය නොවේ. මෙම දූත මෙහෙය ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩල සාකච්ඡාවට ලක් නොවේ.
- ජා.මූ. අරමුදලේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා බලධාරීන් ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන හත්වන සමාලෝචනය සහ 2026 IVවන වගන්තිය යටතේ වන උපදේශනයට අදාළව ඵලදායී සාකච්ඡා පැවැත්වූහ. හත්වන සමාලෝචනය අවසන් කිරීමට අවශ්‍ය පරාමිතීන් සහ ප්‍රතිපත්ති පිළිබඳ එකඟතාවකට පැමිණීම සඳහා නුදුරු කාලීනව තවදුරටත් සාකච්ඡා පැවැත්වෙනු ඇත.
- නිරන්තර කම්පන මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඛණ්ඩව ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කළ ද, ආර්ථිකය කෙරෙහි අහිතකර බලපෑම් ඇති වීමේ අවදානමක් පවතී. ශක්තිමත් මැදි කාලීන රාජ්‍ය ආදායම් උපාය මාර්ගයක් සහ පරිපාලනයක් ස්ථාපිත කිරීම, බල ශක්ති පිරිවැය ආවරණය පවත්වා ගැනීම සහ ප්‍රාග්ධන ආයෝජන ක්‍රියාත්මක කිරීම ප්රමුඛ අවශ්‍යතා ලෙස පවතී.
- සාර්ව ආර්ථික ස්ථායීතාව සුරක්ෂිත කිරීම සඳහා විචක්ෂණශීලී ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා අඛණ්ඩ කැපවීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත් වේ. ස්ථායීකරණයේ සිට ආර්ථික පරිවර්තනය දක්වා යොමුවීම සඳහා දරිද්‍රතාව අවම කිරීම සහ ශක්තිමත් මෙන්ම සියලු දෙනාට ම ප්රතිලාභ සැලසෙන වර්ධනයක් තුළින් ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ.
- උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා දැනට පවතින සියයට 5 උද්ධමන ඉලක්කය සහ වගවීම සඳහා වන උද්ධමන ඉලක්කයට අදාළව පවතින ආන්තිකය එලෙස ම පවත්වාගෙන යාම විචක්ෂණශීලී වනු ඇත.
එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජා.මූ. අරමුදලේ කණ්ඩායමක් 2026 වසරේ සැප්තැම්බර් 10 සිට 23 වන දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, (i) මෑතකාලීන සාර්ව ආර්ථික ප්රවණතා සහ විස්තීර්ණ ණය පහසුකම යටතේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය, සහ (ii) 2026 වසර සඳහා වන IVවන වගන්තිය යටතේ වන උපදේශනයට අදාළ ප්‍රතිපත්ති නිර්දේශ සාකච්ඡා කිරීම එම සංචාරයේ අරමුණ විය. සංචාරය අවසානයේ පපාජෝ(ර්)ජියෝ මහතා පහත ප්‍රකාශය නිකුත් කළේය.
" අඛණ්ඩ කම්පන හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇත. අඛණ්ඩව කාර්තු එකොළහක ශක්තිමත් වර්ධනයක් වාර්තා කරමින්, ආර්ථික ක්‍රියාකාරකම් 2026 වසරේ දෙවන කාර්තුවේ දී සියයට 4.2කින් වර්ධනය විය. ගෝලීය තෙල් මිල ගණන් ආශ්රිත කම්පන හේතුවෙන් මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්යමය පදනම මත සියයට 8ක් දක්වා ඉහළ ගිය ද, උද්ධමන අපේක්ෂා බොහෝ දුරට ස්ථායීව පවතී. දළ නිල සංචිත ඉහළ ගොස්, 2026 වසරේ අගෝස්තු මස අවසානයේ දී එ.ජ. ඩොලර් බිලියන 6.9ක් දක්වා ළඟා වී ඇත. බැංකු අංශයේ ප්‍රමාණවත් ප්‍රාග්ධන මට්ටමක් සහ ලාභදායීත්වයක් පවතී. 2026 වසරේ පළමු භාගයේ දී රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය ශක්තිමත්ව පැවති අතර ණය ප්‍රතිව්‍යුහගත කරණය බොහෝ දුරට අවසන් වී ඇත.
කෙසේ වුවද, මැදපෙරදිග යුද්ධය පවතින කාල සීමාව හා එහි තීව්‍රතාවය, ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති සහ එල් නිනෝ සංසිද්ධියේ බලපෑම පිළිබඳව පවතින අවිනිශ්චිතතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අපේක්ෂා කරන මට්ටමට වඩා අහිතකර බලපෑම් ඇතිවීමේ අවදානමක් තවදුරටත් පවතී. නිරන්තරයෙන් කම්පන වලට නිරාවරණය වන පරිසරයක් තුළ සාර්ව ආර්ථික ස්ථායීතාව සුරක්ෂිත කර ගැනීම සඳහා, රාජ්‍ය මූල්‍ය හා විදේශ අංශයේ ස්වාරක්ෂක යළි ගොඩනැගීමට, මිල ස්ථායීතාව පවත්වා ගැනීමට සහ පාලනය දියුණු කිරීමේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමට විචක්ෂණශීලී ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා කැපවීමෙන් යුතුව කටයුතු කිරීම අවශ්‍ය වේ. එමෙන්ම, අවදානමට ලක්විය හැකි පිරිස් ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් කිරීම ද සිදු කළ යුතුය.
මේ සම්බන්ධයෙන්, බදු ක්රමයේ කාර්යක්ෂමතාව සහ සාධාරණත්වය වැඩිදියුණු කරන අතර ම අදායම් රැස් කිරීම ශක්තිමත් කිරීම සඳහා මැදිකාලීන රාජ්‍ය ආදායම් උපාය මාර්ගයක් සකස් කර, ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වනු ඇත. බදු පදනම පුළුල් කිරීමට සහ බදු නිදහස් කිරීම හා බදු සහන තාර්කික කිරීම් සඳහා අඛණ්ඩ ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ. රාජ්‍ය ආදායම් පරිපාලනය ශක්තිමත් කිරීම මගින් බදු අනුකූලතාව තවදුරටත් වැඩි දියුණු වනු ඇති අතර, තිරසර ආදායම් ලැබීම් සඳහා ද සහාය වනු ඇත. පිරිවැය ආවරණය කෙරෙන බල ශක්ති මිලකරණය අඛණ්ඩව පවත්වාගෙන යාම රජය සතු ව්‍යවසාය මගින් ඇති වන රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කර ගැනීමට උපකාරී වනු ඇත. දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිවලින් යථා තත්ත්වයට පත් කිරීම් සහ නැවත ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම ඇතුළුව, ප්‍රාග්ධන වියදම් ක්‍රියාත්මක කිරීමේ දී පවතින බාධක විසඳීම ද ඉතා වැදගත් වේ.
නම්‍යශීලී උද්ධමන ඉලක්කරණ රාමුවට අනුකූලව, උද්ධමන පීඩන වලට මුහුණ දීමට සහ මැදිකාලීනව මිල ස්ථායීතාව තහවුරු කිරීමට මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතුය. කම්පන අවශෝෂණය කර ගැනීමට සහ සංචිත රැස්කිරීමට සහාය වීම සඳහා විනිමය අනුපාතිකය වැඩි නම්‍යශීලීතාවයකින් පැවතීම වැදගත් වේ. පළමු ව්‍යවස්ථාපිත සමාලෝචනයේ දී, දැනට පවතින සියයට 5 උද්ධමන ඉලක්කය සහ වගවීම සඳහා වන උද්ධමන ඉලක්කයට අදාළව පවතින ආන්තිකය එලෙස ම පවත්වාගෙන යාම විචක්ෂණශීලී වනු ඇත. ආහාර සහ බලශක්ති මිල ගණන්වල ඉහළ උච්චා වචනය මධ්‍යයේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වන නම්‍යශීලීභාවය පවත්වා ගැනීමට වර්තමාන ඉලක්කය ඉඩ සලසන අතර, උද්ධමනය අඩු සහ ස්ථාවර මට්ටමක ස්ථාපිත වූ පසු, මීළඟ සමාලෝචනයේ දී අඩු උද්ධමන ඉලක්කයක් කරා යොමු වීම සලකා බැලිය හැකිය.
මහජන විශ්වාසය ඉහළ නැංවීම සඳහා දූෂණ විරෝධී නෛතික රාමුවෙහි සුපිළිපන්බව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. මෑතක දී ඉදිරිපත් කරන ලද සංශෝධනවල ඇතැම් වගන්ති මගින් විනිවිදභාවය සහ වගවීම දුර්වල විය හැකිය.
ස්ථාවරත්වයේ සිට ආර්ථික පරිවතනය වෙත යොමු වීම සඳහා හිතකර ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීම සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීම පිණිස වෙළඳාම ලිහිල් කිරීම, ව්‍යාපාරික හා ශ්‍රම වෙළෙඳපොළ සම්බන්ධ නියාමනයන් නව්‍යකරණය කිරීම, මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය පුළුල් කිරීම සහ ඩිජිටල්කරණය ප්‍රර්වර්ධනය කිරීම ඇතුළු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ තිරසර ප්රයත්නයක් අවශ්‍ය වේ.
අවසාන වශයෙන්, ශක්තිමත් ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ කාර්ය සාධන වාර්තාවක් පවත්වා ගැනීම ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමටත්, විශ්වාසය තිරසර ලෙස යළි ගොඩ නැගීමටත්, ශක්තිමත් හා සර්ව සහභාගීත්වයකින් යුතු වර්ධනයක් තුළින් ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමටත් උපකාරී වනු ඇති බව අපගේ පර්යේෂණ වලින් පෙන්වා දී තිබේ.
ජා.මූ. අරමුදලේ කණ්ඩායම යාපනයේ සංචාරය කළ අතර, උතුරු පළාතේ ආර්ථික විභවයන් පිළිබඳව සෘජුව ම දැනුම්වත් විය. මාර්ග හා විදුලි සංදේශ සම්බන්ධතා, කුසලතා සංවර්ධනය සහ කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය හා පුර්නජනනීය බල ශක්තිය වැනි ක්ෂේත්රවල සිදු කරන ආයෝජන මගින් ආර්ථික වර්ධනය ශක්තිමත් කිරීමට සහ රැකියා උත්පාදනය කිරීමට පවතින අවස්ථා පිළිබඳව මෙන්ම, ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනයේ ප්රතිලාභ සමස්ත සමාජයට ම වඩාත් පුළුල් ලෙස බෙදී යෑම තහවුරු කිරීම සඳහා සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද පෞද්ගලික අංශය සහ සිවිල් සමාජය සමඟ පැවැත් වූ සාකච්ඡාවල දී අවධාරණය කරන ලදී.
ජා.මූ. අරමුදලේ කණ්ඩායම ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර ගරු නාගලිංගම් වේදනායහන් මහතා සහ අනෙකුත් රජයේ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීය. මෙම දූත කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පෞද්ගලික අංශයේ නියෝජිතයින්, සිවිල් සමාජ සංවිධාන සහ සංවර්ධන පාර්ශ්වකරුවන් ද හමු විය.
සංචාරය අතරතුර ලබාදුන් විශිෂ්ට සහයෝගීතාව සම්බන්ධයෙන් බලධාරීන්ට ස්තූතිවන්ත වෙමු. හත්වන සමාලෝචනය නියමිත කාලයේ දී අවසන් කිරීම සඳහා නුදුරු කාලීනව නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹීමේ අරමුණින් අඛණ්ඩව සාකච්ඡා සිදු වෙමින් පවතී. ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය වීමට අපගේ ඇති කැපවීම යළිත් තහවුරු කරමු.''
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

