ඔබ භාවිත කරන ගෙවුම් කාඩ්පත විද්‍යුත් චිපයක් සහිත ආරක්ෂිත කාඩ්පතක් (EMV) නොවන්නේ නම්, EMV තාක්ෂණය සහිත කාඩ්පතක් නිකුත් කරන ලෙස අදාළ බැංකුවෙන් ඉල්ලා සිටිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දන්වා සිටියි.
වංචනික ලෙස ගෙවීම් කාඩ්පත් භාවිත කරමින් මුදල් ආපසු ලබාගැනීමේ සිද්ධි කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමින්, ගෙවීම් කාඩ්පත් ගනුදෙනුවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ නිවේදනය කර තිබේ.
ගෙවීම් කාඩ්පත් මගින් ගනුදෙනුකරුවන්ට ATM ජාලය හරහා මුදල් ආපසු ලබාගැනීමේ පහසුව සහ ලොව පුරා සිටින වෙළෙඳුන් හරහා ගනුදෙනු කිරීමේ අවස්ථාව සලසා දෙන බව පවසන මහ බැංකුව, එසේ වුවත්, ATM හා කාඩ්පත් කියවීමේ යන්ත්‍ර අවභාවිත කර ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලින් මුදල් සොරාගැනීම සඳහා අපරාධකරුවන්ට හැකියාව ඇති බව අවධාරණය කරයි. එබඳු සිදුවීම් අවම කිරීම පිණිස ජාත්‍යන්තර ගෙවීම් කාඩ්පත් සඳහා වන ආරක්ෂක ප්රමිතීන් හා පරිචයන්ට අනුකූලව ගෙවීම් කාඩ්පත් ජාලය තුළ විද්‍යුත් චිපයක් සහිත ආරක්ෂිත කාඩ්පත් (EMV) නිකුත් කිරීම සහ සියලුම ආකාරයේ විද්‍යුත් ගනුදෙනු කෙටි පණිවුඩ (SMS) මාර්ගයෙන් දැනුම්දීම් වැනි ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බවද මහ බැංකුව පවසයි.
වංචනික ක්‍රම පිටුදකිමින්, බැංකු ක්රමයේ සහ ගනුදෙනුකරුවන්ගේ මුදල්වල සුරක්ෂිතභාවය තහවුරු කරනු වස් දැනටමත් ගෙන ඇති ආරක්ෂිත ක්‍රියාමාර්ගවලට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකා ක්ලියර් (පෞද්.) සමාගම සහ බලපත්‍රලාභී බැංකු යන ආයතන මේ සඳහා වැඩිදුරටත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවද මහ බැංකුව සඳහන් කරයි.
ඕනෑම ගෙවීම් පද්ධතියක් ආරක්ෂා කරගැනීම සඳහා බැංකු, කාඩ්පත් නිකුත්කරුවන්, අත්පත්කරුවන් සහ නියාමකයන් දරන උත්සාහයන්ට ගනුදෙනුකරුවන්ගේ සහාය මෙන්ම ඇගයීමද අවශ්‍ය බව පවසන මහ බැංකුව, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ගනුදෙනුකරුවන් විසින් EMV තාක්ෂණය සහිත ගෙවීම් කාඩ්පත් භාවිත කිරීම අවශ්‍ය බවද අවධාරණය කරයි. එවැනි කාඩ්පත් හඳුනාගත හැකිවන්නේ ඒ මත මනාව දිස්වන ලෙස පිහිටා ඇති විද්‍යුත් චිපය මගින් බවත්, ගනුදෙනුකරුවෙකු විසින් භාවිත කරන කාඩ්පත මෙම තාක්ෂණයෙන් තොර නම්, එම ගනුදෙනුකරුවාට EMV තාක්ෂණය සහිත කාඩ්පතක් නිකුත් කරන මෙන් අදාළ බැංකුවෙන් ඉල්ලා සිටිය හැකි බවත් මහ බැංකුව පවසයි.
ඒ අනුව, ATM මගින් කරනු ලබන ගනුදෙනුවල සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා ගෙවීම් කාඩ්පත් සහ ATM යන්ත්‍ර භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු බවද මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව, හඳුනාගත නොහැකි හෝ අනවසර ගනුදෙනුවක් හෝ අහිමි වූ හෝ අස්ථානගතවූ කාඩ්පත් වේ නම්, එවැනි සිදුවීම් වහාම අදාල බැංකුව වෙත දැනුම්දිය යුතු බවද මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කරයි.