වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඔවුන් වෙනුවෙන් රු.50ක දීමනාවක් වසරක කාලයක් ලබාදීම සඳහා තීරණය කළ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
වතු කම්කරු වැටුප් ප්රශ්නය සම්බන්ධයෙන් දෙමළ ප්රජාතන්ත්රවාදී සන්ධානය ඇතුළු කණ්ඩායම් රැසක් සමග සිදුකළ සාකච්ඡාවෙන් පසුව මෙම තීරණයට පැමිණි බව අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ (13දා) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"වතු කම්කරුවන්ගේ වැටුප ප්රශ්නය සම්බන්ධයෙන් අපි දෙමළ ප්රජාතන්ත්රවාදී සන්ධානය ඇතුළු කණ්ඩායම් රැසක් එක්ක සාකච්ඡා කළා. ඒ අනුව අපි ඊට විසඳුමක් ලෙස වතු කම්කරුවන් වෙනුවෙන් රුපියල් 50ක දීමනාවක් වසරක කාලයක් සඳහා ලබාදෙන්න තීරණය කළා. මේ මුදලත් සමග ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 800ක් දක්වා ඉහළ යනවා. වතු ක්ෂේත්රය ප්රතිසන්ධානයකට ලක් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම වතු කම්කරුවන් වඩාත් නවීන පරිසරයක් තුළ ඔවුන්ගේ රැකියාව කරගෙන යා යුතුයි. එසේම, මේ කම්කරුවන් අදාළ වතුවල කොටස්කරුවන් බවට පත් කිරීමේ ආකාරය පිළිබඳ අපි සාකච්ඡා පවත්වාගෙන යනවා." යැයි පවසා සිටියේය.