මෙරට ජංගම දත්ත භාවිතය පසුගිය වසරට වඩා සියයට 31කින් ඉහළට
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ආර්ථික සහ ව්‍යාපාරික ක්ෂේත්‍ර නියෝජනය කරමින්, සිල්ලර වෙළෙඳාම, බැංකුකරණය, දුරකථන සන්නිවේදනය, ආගන්තුක සත්කාරක සහ රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික නායකයින් පිරිසක් එක් වූ විශේෂ ආරාධිත සමුළුවක් කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් නිල නිවෙස වන වෙස්ට්මිනිස්ටර් හවුස් හිදී සාර්ථකව පවත්වා තිබේ.
ඒ, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතාගේ සත්කාරකත්වයෙන් සහ එක්සත් රාජධානියේ ප්රමුඛ පෙළේ ඩිජිටල් නිෂ්පාදන උපදේශන ආයතනයක් වන Apadmi හි සහභාගීත්වයෙනි.
"Turning Digital Assets into Growth Engines" මැයෙන් නම් කරන ලද මෙම සමුළුව, 2025 වසරේදී කොළඹ තම කාර්යාලය පිහිටුවීමෙන් පසු Apadmi ආයතනය ශ්‍රී ලංකාවේදී පවත්වන ලද පළමු නිල උත්සවය ද වේ. එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර වාණිජ හා තාක්ෂණික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.
ඩිජිටල් පරිවර්තනය සහ සාර්ථකත්වයන්
මෙහිදී පැමිණ සිටි පිරිස බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා විසින් පිළිගනු ලැබූ අතර, ඉන් අනතුරුව කීල්ස් සුපර්මාර්කට්ස් හි ඔම්නි කොමර්ස්, ඩිජිටල් සහ ලෝයල්ටි අංශ ප්‍රධානී නිරේෂ් මුතුරාතනන්දන් මහතා විසින් විශේෂ දේශනයක් පවත්වන ලදී. ඔහු එහිදී Keells Nexus ඇප් එකේ දියත් කිරීම සහ සාමාජිකයින් මිලියන 2.9කට සේවය සපයන ලෝයල්ටි වැඩසටහන නවීකරණය කිරීම පිළිබඳව කරුණු අනාවරණය කළේය.
ඉන් අනතුරුව, Apadmi ආයතනයේ ප්‍රධාන වර්ධන නිලධාරී මාර්ක් කොලින් මහතාගේ මෙහෙයවීමෙන් සාකච්ඡා මණ්ඩපයක් පැවැත්විණි. ඊට සහභාගී වූවන් අතර, HSBC ශ්‍රී ලංකා සහ මාලදිවයින ආයතනයේ ප්‍රධාන තොරතුරු නිලධාරී මලික් ඉන්දුරුවන, PickMe ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර්, හැටන් නැෂනල් බැංකුවේ උත්පල පින්නදූවහේවා, Apadmi ආයතනයේ ප්‍රධාන උපායමාර්ගික නිලධාරී මාකස් හැඩ්ෆීල්ඩ් වූහ.
මොබයිල් දත්ත භාවිතයේ ඉහළ වර්ධනයක්
මෙම සාකච්ඡාව ප්‍රධාන වශයෙන්ම කේන්ද්‍රගත වූයේ ශ්‍රී ලංකාවේ වේගවත් ජංගම දුරකථන භාවිතය හරහා නිර්මාණය වී ඇති වාණිජමය අවස්ථා පිළිබඳවය. නවතම දත්තවලට අනුව, මෙරට ජංගම දත්ත භාවිතය 2026 වසරේ දෙවන කාර්තුවේදී ටෙරාබයිට් මිලියන 1.03ක් දක්වා ළඟා වී ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 31% ක වර්ධනයකි. මේ වන විට මෙරට ජංගම දුරකථන ග්රාහක සංඛ්‍යාව මිලියන 29.4 ක් වන අතර, ඉන් 78% ක උපකරණ ස්මාට්ෆෝන් හෝ ටැබ්ලට් පරිගණක වේ. මෙම වැඩෙන ඩිජිටල් සම්බන්ධතාවය හරහා ශ්‍රී ලංකේය ව්‍යාපාරවලට පාරිභෝගික පක්ෂපාතිත්වය, නව ආදායම් මාර්ග සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවා ගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී මූලිකව සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දැක් වූ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා, "වෙස්ට්මිනිස්ටර් හවුස් හිදී Apadmi ආයතනය සහ මෙවැනි ප්‍රබල ව්‍යාපාරික නායකයින් පිරිසක් පිළිගැනීමට ලැබීම සතුටට කරුණක්. එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන හවුල්කාරීත්වයක් පවතින අතර, ඩිජිටල් නවෝත්පාදනය යනු එම සබඳතාවයේ වඩ වඩාත් වැදගත් වන අංගයක් වෙනවා. Apadmi ආයතනය කොළඹ තම මූලස්ථානයක් පිහිටුවීමට ගත් තීරණය මඟින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය කෙරෙහි බ්‍රිතාන්‍ය සමාගම් තබා ඇති විශ්වාසය මනාව පෙන්නුම් කෙරෙන අතර, දෙරටේම ප්‍රයෝජනය උදෙසා මෙම හවුල්කාරීත්වය අඛණ්ඩව වර්ධනය වන ආකාරය බලාපොරොත්තු වෙනවා" යැයි පවසා සිටියේය.
Apadmi ආයතනයේ ප්‍රධාන වර්ධන නිලධාරී මාර්ක් කොලින් මහතා අදහස් දක්වමින්, "බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් සත්කාරකත්වය ලබා දීම සැබෑ වරප්‍රසාදයක් වූ අතර, එය ශ්‍රී ලංකාව කෙරෙහි අපගේ කැපවීමේ මීළඟ අදියර සනිටුහන් කිරීමට කදිම අවස්ථාවක් වුණා. කීල්ස්, HSBC, PickMe සහ හැටන් නැෂනල් බැංකුව යන ආයතනවල නායකයින් එකම ස්ථානයකට ගෙනඒම මෙහි පවතින අභිලාෂය මනාව කියාපානවා. ශ්‍රී ලංකාව සැබෑ හැරවුම් ලක්ෂයක පවතින බව අප විශ්වාස කරන බැවින් අපි අපගේ කොළඹ කාර්යාලය විවෘත කළා. මෙහි ඇති කුසලතා සුවිශේෂී වන අතර, දිගු කාලීන අපේක්ෂාවන් පෙරදැරිව මෙහි ගොඩනැඟීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා" යැයි සඳහන් කළේය.
Apadmi ආයතනය පිළිබඳව
Apadmi යනු ප්රමුඛ පෙළේ විශිෂ්ට ජංගම දුරකථන උපදේශන ආයතනයකි. ඔවුන් උපායමාර්ග, මෝස්තර නිර්මාණ (Design), ඉංජිනේරු විද්‍යාව, දත්ත සහ ප්‍රශස්තිකරණය ඒකාබද්ධ කරමින්, ආදායම වැඩි කරන, පාරිභෝගික පක්ෂපාතිත්වය ශක්තිමත් කරන සහ කල්පවත්නා තරඟකාරී වාසියක් ලබා දෙන ජංගම නිෂ්පාදන නිර්මාණය කිරීම සඳහා අභිලාෂකාමී සන්නාමයන්ට සහයෝගය සපයයි.
යුරෝපය සහ ආසියාව පුරා පැතිරුණු ජංගම විශේෂඥයින් 500 කට අධික කාර්ය මණ්ඩලයක් සමඟින්, Apadmi ආයතනය කීල්ස්, Domino's, NHS, Carlsberg, Spenn සහ BBC වැනි සංවිධාන සමඟ හවුල් වෙමින් පරිමාණයෙන් ඉහළ කාර්යසාධනයක් සහිත ජංගම නිෂ්පාදන ලබා දෙයි.
2026 වසරේ ජාත්‍යන්තර ලෝයල්ටි කණ්ඩායම (International Loyalty Team of the Year) ලෙස සම්මාන ලැබූ සහ අඛණ්ඩව වසර තුනක් පුරා 'The Times' හොඳම සේවා ස්ථාන (Best Places to Work) වලින් එකක් ලෙස පිළිගත් Apadmi ආයතනය, මනිනු ලබන ව්‍යාපාරික බලපෑමක් ඇති කිරීම සඳහා ගැඹුරු තාක්ෂණික විශේෂඥතාව වාණිජමය අවධානය සමඟ ඒකාබද්ධ කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

