ඉන්දීය සාගරයේ පොදු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගීතාව අලුත් මට්ටමකට වර්ධනය කරමින් ඉන්දු-පැසිෆික් එන්ඩේවර් 2019 වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියානු ඒකාබද්ධ කණ්ඩායමක යුද, නාවික සහ ගුවන් හමුදා අංශ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.
මේ පිළිබඳ අදහස් දක්වමින් ඔස්ට්‍රේලියාවේ වැඩබලන මහ කොමසාරිස් ජෝන් පිලිප් සඳහන් කළේ, "ඔස්ට්‍රේලියාව සෑම කාලයකම ඉන්දීය සාගරයේ ජාතියක් වූ බවයි. කලාපය තුළ ඉහළ යන අන්තර්සම්භන්ධතාව සහ ගතිකයන් සමග අඛණ්ඩ වර්ධනයේ ප්රතිලාභ සියලු රටවලට හිමිවන ස්ථාවර ආරක්ෂිත නීතිය මත පදනව් වූ වැඩපිළිවෙළක් ඉන්දීය සාගරයේ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සමග සහයෝගීතාව ශක්තිමත් කරගැනීමට ඔස්ට්‍රේලියාව කැපවී සිටිනවා" යනුවෙනි.
ඒ අනුව, ඔස්ට්‍රේලියාවේ නෞකා 4කින් 1,000කට අඩධික පිරිසක් ලබන 23දා කොළඹ සහ ත්‍රිකුණාමලයට ළඟවීමට නියමිතය. ඔවුන් ලබන 30දා ඉන්දියාව බලා පිටත්ව යෑමට පෙර ආපදා සහයෝගීතා සැලසුම්, සහයෝගය වර්ධන කරන නාවික උපක්‍රම සහ හමුදා පුහුණු ක්‍රියාකාරකම්, හුරුපුරුදුකම්, අන්තර්ක්‍රියාකාරී හැකියාවන් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා හමුදාවන් එක්ව කටයුතු කරනු ඇති බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ඒ අනුව, IPE-19 යනු ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර එතෙක් මෙතෙක් සිදුකෙරෙන විශාලතම ආරක්ෂක ක්රියාකාරකමයි. ඒ යටතේ ඔස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවේ කැන්බරා සහ නිවුකාසල් නෞකා කොළඹ වරායේත්, පැරමැට්ටා සහ සක්සස් යන නෞකා ත්‍රිකුණාමලය වරායේත් නැංගුරම්ලෑමට නියමිතය. ඔස්ට්‍රේලියානු රජකීය ගුවන් හමුදා යානයක් මත්තල වෙත පියාසර කිරීමටද නියමිත බව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවෙන් පිටත්වීමෙන් අනතුරුව IPE-19 නෞකා සහ අනෙකුත් අංශ කලාපයේ සෙසු හවුල්කරුවන් වන ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය බලා පිටත්ව යෑමට නියමිතය.