කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි දැවැන්ත කඩා වැටීමක් ඊයේ (08දා) වාර්තා විය. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 127.25කින් පහළ ගොස් ඒකක 5,898.84ක් ලෙසින් සටහන් වූ අතර, S&P ශ්රී ලංකා 20 දර්ශකය ඒකක 75.54 කින් පහළ ගොස් ඒකක 2,782.84ක් ලෙස වාර්තා විය.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය සහ S&P ශ්රී ලංකා 20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව පිළිවෙලින් 2.11% ක් සහ 2.64% ක් වශයෙන් දිනය තුළ පහළ යෑමක් පෙන්නුම් කර තිබුණු අතර, දිනය තුළ ගනුදෙනු පිරිවැටුම වාර්තා වූයේ රු.මිලියන 624.43ක් ලෙසිනි.
විශේෂයෙන්ම එක්සත් ජනපදය සහ ඉරානය අතර වර්ධනය වෙමින් පවතින යුදමය වාතාවරණය මෙම තත්ත්වයට බොහෝ සෙයින් බලපා ඇති අතර, මෙය සමස්තයක් ලෙස ලෝකයේ සියලු ප්රාග්ධන වෙළෙඳ පොළවල් වෙත සෘජුව හා වක්රව බලපෑම් කර තිබුණි.