ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නව ව්‍යාපෘති 4ක් සඳහා ආයෝජන ගිවිසුම් අත්සන් තබා ඇති අතර, ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් චම්පිකා මලල්ගොඩ මහත්මිය විසින් ආයෝජන මණ්ඩලය වෙනුවෙන් එම ආයෝජන ව්‍යාපෘති නියෝජිතයන් සමග එකී ගිවිසුම් සඳහා අත්සන් තබන ලදී.
අරිහරා ලංකා ඩ්‍රීම් පුද්ගලික සමාගම දඹුල්ල ප්‍රදේශයේ කාමර 36කින් යුතු තරු පන්ති 4ක හෝටල් ව්‍යාපෘතියක් සඳහා ආයෝජන ගිවිසුමක් අත්සන් කර ඇති අතර, ජපන් ආයෝජන ව්‍යාපෘතියක් වන මෙහි මුළු ආයෝජන වටිනාකම ඇ.ඩො. මිලියන 3.85කි. එමෙන්ම, මෙමගින් සෘජු රැකියා අවස්ථා 80ක් පමණ ජනිතවනු ඇති බව කියයි.
අරිහරා ලංකා පුද්ගලික සමාගමේ සභාපති හා කළමනාකාර අධ්යක්ෂ හිරෝෂි අරිහරා මහතා පවසන පරිදි මෙම ආයෝජනය මාලදිවයිනේ සිදුකිරීමට මුලින්ම සැලසුම් කර සිටියත්, පසුව ශ්‍රී ලංකාවේ සිදුකරන ලද සංචාරයකින් පසුව මෙරට පවතින ස්වභාවික සුන්දරත්වය හේතුවෙන් එකී ව්‍යාපෘති දඹුල්ල ප්‍රදේශයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. දඹුල්ල වැව ආසන්නයේම පිහිටීම සහ සීගිරි බලකොටුව ඉතා අලංකාරව එම ස්ථානයට දර්ශනය වන නිසා එය සංචාරක ආකර්ශනය සඳහා සුවිශේෂී වනු ඇති බවද පෙන්වා දෙයි.
මේ සඳහා යුරෝපා සංගමයට අයත් රටවල්වල සංචාරකයන් ආකර්ශණය කරගැනීම ප්‍රධානම බලාපොරොත්තුව වන අතර, ජපන් ජාතිකයන් මෙන්ම අනෙකුත් රටවල සංචාරකයන් ආකර්ශණය කරගැනීම තම බලාපොරොත්තුව බව අරිහරා මහතා ප්‍රකාශ කරයි. තවද, ලොව සුපතල ජපන් හා ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම ප්‍රවර්ධනය කිරීම තුළින් සංචාරක ආකර්ශණය දිනාගැනීමට කටයුතු කරන බවත්, සංචාරකයන් සඳහා නිස්කලංක පරිසරයක ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතු සේවයක් ලබාදීම තමාගේ අරමුණ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මීට අමතරව, ඇ.ඩො.මිලියන 0.5ක වටිනාකමකින් යුතු ගුදම් සේවා සහ බාහිර සේවා සැපයීම වෙනුවෙන් පික් පැක් පාක් පුද්ගලික සමාගම නව ආයෝජන ව්‍යාපෘතියක් සඳහා ගිවිසුමක් අත්සන් කර තිබේ. මෙය ජා-ඇල වල්ගම්පිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට බලාපොරොත්තු වන අතර, මෙමගින් රැකියා අවස්ථා 10ක් පමණ ජනිත වනු ඇති බව කියයි.
එමෙන්ම, ෆැන්ටාසියා නැරෝ ෆැබ්රික්ස් පුද්ගලික සමාගම සෘජු සහ වක්‍ර අපනයනයන් මුල් කරගත් විවිධ වර්ගයේ රෙදි නිෂ්පාදනය සඳහා නව ආයෝජන ගිවිසුමක් අත්සන් කර ඇත. මෙමගින් සෘජු රැකියා අවස්ථා 501ක් පමණ ජනිත වනු ඇති බව විශ්වාස කෙරෙයි. මිල්ලනිය ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත මෙහි ආයෝජන වටිනාකම ඇ.ඩො.මිලියන 2ක් පමණ වේ.
ඉන්ට්ෆාම් පුද්ගලික සමාගම ඇ.ඩො.මිලියන 1.19ක් පමණ වටිනා ව්‍යාපෘතියක් සඳහා නව ආයෝජන ගිවිසුමක් අත්සන් තබා ඇත. අපනයනය මුල්කරගත් මෙම ව්‍යාපෘතිය මගින් විවිධ වර්ගයේ ඹෟෂධීය පැළෑටි වර්ග සහ සලාද කොළ වගා කිරීමට බලාපොරොත්තු වේ. මෙමගින් රැකියා අවස්ථා 52ක් පමණ ජනිතවනු ඇත.