ශ්‍රී ලංකාව තුළ හා ජාත්‍යන්තර වශයෙන් අතථ්‍ය මුදල් (Virtual Currencies) පිළිබඳව තිබෙන උනන්දුව වැඩිවෙමින් පවතින බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව රට තුළ අතථ්‍ය මුදල් භාවිතය පිළිබඳ මහජනතාව දැනුම්වත් කරයි.
අතථ්‍ය මුදල් යන යෙදුම පොදුවේ භාවිත වන්නේ ඩිජිටල් තාක්ෂණය යොදා පෞද්ගලිකව නිකුත් කරනලද වටිනාකම් සහිත ඒකකයන් වන අතර, ඒවාට ආවේණික ගිණුම් ඒකකද ඇති බව මහ බැංකුව කියයි. අතථ්‍ය මුදල් සඳහා පොදු උදාහරණ වන්නේ බිට්කොයින් (Bitcoin), ලයිට්කොයින් (Litecoin) සහ එතීරියම් (Ethereum) වැනි අප්රකාශිත විද්‍යුත් මුදල් (Cryptocurrencies) බවත්, මෙම අතථ්‍ය මුදල් මහ බැංකුව විසින් නිකුත් කරන මුදල් නොවන බවත් පෙන්වා දෙයි.
අප්රකාශිත විද්‍යුත් මුදල් වැනි අතථ්‍ය මුදල්, ගනුදෙනු බලාත්මක කිරීම සඳහා පුද්ගලයන් සෘජුව සම්බන්ධ වී විමධ්‍යගත ලෙස සේවා සැපයිය හැකි වන අයුරින් ඩිජිටල් ජාල භාවිත කරන බවද මහ බැංකුව කියයි. එම මුදල්වල වටිනාකම පිළිබඳව සහතික කිරීමට සහ එම ගනුදෙනු නියාමනය කිරීමට මහ බැංකුව වැනි කේන්ද්‍රස්ථ අධිකාරියක් නොමැති වීම හේතුවෙන් ඒවා භාවිත කරන්නන් අතර හෝ ගනුදෙනු ආශ්රිත ගැටලු ඇතිවීමේ දී ඒ සඳහා මැදිහත් වන වගකිව යුතු පාර්ශ්වයක් නොමැති බවද මහ බැංකුව පෙන්වා දෙයි. අතථ්‍ය මුදල්වල වටිනාකම තීරණය වන්නේ සමපේක්ෂණ මත වන අතර, එයට පාදක වූ වත්කම් හෝ ඒ සඳහා බලපත්වන නියාමන රාමුවක් නොමැති බවද කියයි. මේ නිසා ඒවායේ වටිනාකම විශාල වශයෙන් උච්චාවචනය විය හැකි බවද මහ බැංකුව පවසයි. ඒ හා සමානව, නීතිවිරෝධී කටයුතු සඳහා අතථ්‍ය මුල් භාවිත කිරීමේ සම්භාවිතාවද ඉහළ යා හැකි බවත්, තවද අතථ්‍ය මුදල් භාවිතය මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට හා ත්රස්තවාදයට අරමුදල් සැපයීම මැඬපැවැත්වීමේ නීති උල්ලංඝනය වීමටද අවකාශ ඇති බවත් මහ බැංකුව කියයි.
එම නිසා වර්තමානයේදී අප්රකාශිත විද්‍යුත් මුදල් භාවිත කිරීමෙන් පාරිභෝගිකයන්ට මෙන්ම රටෙහි ආර්ථිකයටද මූල්‍යමය, මෙහෙයුම්, නීතිමය, පාරිභෝගික සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව යන අංශවලින් යුතු අවදානම්ක ඇති කරන බවද මහ බැංකුව පවසයි.
ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු ආයතනයකට හෝ සමාගමකට අප්රකාශිත විද්‍යුත් මුදල් ඇතුළු අතථ්‍ය මුදල් සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට බලපත්‍ර ලබාදී හෝ බලය පැවරීමක් කර නොමැති බව සහ කිසිදු ආයතනයකට මූලික කාසි අර්පණයන් (Initial Coin Offerings- ICOs) සඳහා බලය පැවරීමක් කර නොමැති බවද මහජනතාවට මෙයින් දැනුම් දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.