ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නාම සුවිශේෂී ඇගයීමකට ලක්කරන වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකෙන SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උලෙළ අද (21දා) BMICH හිදී පැවැත් වේ. 'Exhibit Your Masterpiece' යන තේමාව යටතේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උලෙළ සංවිධානය කරනු ලබයි. වෙළෙඳ පොළ තරගකාරීත්වය හමුවේ කිසියම් සන්නාමයක හැසිරීම තීරණය කරනු ලබන සන්නාමකරණ ක්රියාවලියෙහි වැදගත්කම මෙම සම්මාන උලෙළ හරහා මැනවින් පැහැදිලි වන බව සඳහන් වේ.
ඒ අනුව, මෙවර SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උලෙළ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා සම්මාන උලෙළෙහි සභාපතීත්වය උසුලන ඩ්‍රීම්රෝන් සමූහයේ ජාත්‍යන්තර වෙළෙඳ පොළ ප්‍රධානී මෙන්ම SLIM විධායක කමිටු සාමාජික නුවන් ගමගේ මහතා 'අද ව්‍යාපාරික පිටුව' වෙත කැඳවා ගැනීමට අපි කටයුතු කළෙමු.
'Exhibit Your Masterpiece' යන්න මේ වර්ෂයේ SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උලෙළෙහි තේමාවයි. මේ තේමාව මූලික කරගැනීමට විශේෂත්වයක් තිබෙනවාද?
සන්නාමයක් කියන්නේ ව්‍යාපාරයක් විසින් සිය පාරිභෝගික පිරිස වෙත ලබාදෙන පොරොන්දුවක් බව සරලවම කිව හැකියි. මීට වසර කිහිපයකට පෙර මේ සම්මාන උලෙළ අප විසින් ආරම්භ කළේ ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ආයතනයන්හි සන්නාමකරණ දක්ෂතාව ඇගයීම වෙනුවෙනුයි. සෑම ව්‍යාපාරික ආයතනයක්ම උත්සාහ කරන්නේ තම සන්නාමය බීතෝවන්ගේ සංගීත කණ්ඩයක් සහ පිකාසෝගේ චිත්‍රයක් තරමටම විශිෂ්ටත්වයට පත්කිරීමටයි. තම සන්නාම ඇගයීමට ලක්කිරීමට පමණක් නොවෙයි, ඉලක්කගත පාරිභෝගික පිරිසෙහි හදවත්වල ජීවමාන කිරීමට ඔවුන්ට අවශ්‍යයි. ඒ නිසා SLIM ආයතනය විසින් සන්නාම විශිෂ්ටතා සම්මාන උලෙළෙහිදී එවැනි සන්නාම විශිෂ්ටත්වයන් අගයමින් ඔවුන්ගේ විශිෂ්ට සන්නාම නිර්මාණයන් ප්‍රදර්ශනය කිරීමට අප අවස්ථාව සලසා දෙනවා.
මේ වර්ෂයේ සම්මාන උලෙළෙහි ඔබේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ කුමක්ද?
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සහ අන්තර්ජාල සන්නාම ඉදිරියට රැගෙන ඒම මගේ ප්‍රධානතම ඉලක්කයක් වෙනවා. අලෙවිකරණ විෂයය පිළිබඳ ජාතික ආයතනික ව්‍යුහය වශයෙන් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්රය මෙන්ම, අන්තර්ජාල සන්නාම ප්‍රවර්ධනය කිරීමට අප කටයුතු කරනවා. මේ වර්ෂයේදී සම්මාන උලෙළ සඳහා එම අංශයන්හි වැඩි සහභාගීත්වයක් දක්නට ලැබෙනවා. සම්මාන උලෙළ හරහා අප ලබාදෙන ශක්තිය මත පදනම් වෙමින් ඉදිරියේදී එම සහභාගීත්වය තවත් ඉහළ යනු ඇති බව අප අපේක්ෂා කරනවා.
මෙවර සම්මාන සඳහා අයැදුම්කරුවන්ගේ ප්‍රතිචාර කෙබඳුද?
අපට ලැබුණු ප්‍රතිචාර අනුව වැට් බදු සංශෝධන සහ නව නිපැයුම් සමග වෙළෙඳ පොළෙහි ඇති වන තරගකාරීත්වය නිසා බොහෝ සන්නාමයන්ගේ ආදායම් මට්ටමට අභියෝග එල්ල වී තිබෙනවා. එවැනි අභියෝගකාරී බාධා මධ්‍යයේ වුවත් අප අපේක්ෂා කළ ප්‍රමාණය ඉක්මවමින් අයැදුම්පත් ලැබී තිබෙනවා. වඩාත් සුවිශේෂී වන්නේ මෙවර අතිවිශාල වශයෙන් ප්‍රථම වරට අයැදුම් කරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබීමයි. පසුගිය වර්ෂ 15 තුළ අප ලබාගෙන ඇති පිළිගැනීම පෙන්නුම් කෙරෙන හොඳම අවස්ථාවක් ලෙසයි, අප එය සලකන්නේ.
අයැදුම්පත් ලැබීමේදී කිසියම් නව නැඹුරුතා දක්නට ලැබෙනවාද?
මෙවර නව්‍යකරණ සන්නාම අංශයෙහි විශාල අයැදුම්පත් සංඛ්‍යාවක් අප වෙත ලැබී තිබෙනවා. එය සැබැවින්ම ශ්‍රී ලංකාව වැනි රටකදී හොඳ තත්ත්වයක් ලෙසයි, අප දකින්නේ. බොහෝ සන්නාම සිය නිපැයුම් නව්‍යකරණ හරහා පාරිභෝගිකයන් වෙත ළඟාවීමට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම, ජාත්‍යන්තර සන්නාම කිහිපයක්ද මෙවර සම්මාන සඳහා අයැදුම් කර තිබීමෙන් SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උලෙළෙහි සුවිශේෂීත්වය තවත් ඉහළ ගොස් තිබෙනවා.
මෙවර සම්මාන උලෙළෙහි කටයුතු මේ දක්වා සිදුවූ ආකාරය සැකෙවින් පැහැදිලි කළොත්?
අප අවසන් වටයේ විනිශ්චයන් සිදුකර අවසානයි. නමුත් අවසාන ප්‍රතිඵල තවම තීරණය කර නැහැ. මේ වර්ෂයේදී අපගේ විනිශ්චය මණ්ඩලය ඉතාමත් පළපුරුදු සහ කීර්තිමත් විනිසුරු මඬුල්ලක් බව සඳහන් කළ යුතුයි. විශිෂ්ටතම සන්නාම හඳුනා ගනිමින් ඇගයීම සඳහා ඔවුන් සිය දායකත්වය උපරිමව ලබාදුන්නා.
මේ වර්ෂයේ සම්මාන උලෙළට වෙනසක් එක්කිරීම සඳහා සම්මාන උලෙළෙහි සභාපතිවරයා ලෙස ඔබ සිදුකරන නව්‍යකරණ මොනවාද?
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නාම ඇගයීම අනිවාර්යයෙන්ම විශිෂ්ට මට්ටමින් සිදුවිය යුතුයි. මෙවර සම්මාන උලෙළට ඒ සුවිශේෂී තත්ත්වය රැගෙන ඒම සඳහා මා උපරිමව කැපවෙනවා. අද (21දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) පැවැත්වෙන සම්මාන උලෙළට සහභාගී වෙමින් විශිෂ්ට සන්නාම ඇගයීමේ අවස්ථාව වර්ණවත් කරන ලෙස මා සෑම අලෙවිකරුවෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. ඊට අමතරව, මේ වර්ෂයේදී අපි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ නව්‍යකරණ සන්නාමයන්හි ඉදිරි ගමන සඳහා අනුබල ලබාදෙන කුසලතා සම්මාන දෙකක් හඳුන්වා දී තිබෙනවා.
එලැඹෙන වර්ෂයේ සම්මාන උලෙළ සඳහා දැනට ඇති සැලසුම් මෙන්ම, අයදුම්කරුවන් දැනුවත් කළ යුතු විශේෂ කරුණු දැනගැනීමට කැමතියි?
SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උලෙළ සඳහා අයැදුම් කිරීම ඔබේ සන්නාමයෙහි ඉදිරි ගමන් මගෙහි වැදගත්ම අවස්ථාවක් වෙනවා. ඒ නිසා මේ සම්මාන උලෙළට සහභාගි වී තමන්ගේ ඉදිරි ගමන තවත් වර්ණවත් කරගන්නා ලෙස මා නවක සන්නාමයන්ට ඇරයුම් කරන්න කැමතියි. මේ සම්මාන උලෙළ සැබැවින්ම සන්නාමකරණය පිළිබඳව විශිෂ්ට පාඩමක් කියාදෙන අවස්ථාවක් වගේම, පාරිභෝගිකයා සහ සන්නාමය අතර හැසිරීම අවබෝධ කරගැනීමට හැකියාව ලැබීමක් බවද පැවසීමට පුළුවන්. සම්මාන උලෙළට සහභාගී වීමෙන් ඔබේ සන්නාම ක්රමෝපායන් පිළිබඳව තක්සේරුවක් ඇතිකර ගැනීමට මෙන්ම, එහි අඩුලුහුඬුකම් නිවැරදි කරගනිමින් ඊළඟ වර්ෂයේ සම්මාන උලෙළට අයැදුම් කිරීමට හැකියාව ලැබෙනවා.