IMF මූලස්ථානය වොෂිංටන් සිට බීජිං නුවරට මාරු වීමක්?
චීනය ඇතුළු අනෙකුත් නැගීඑන රාජ්‍යයන්ගේ ආර්ථික වර්ධන වේගය තවදුරටත් ඉහළ යමින් පවතින්නේ නම් ඉදිරි දශකය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානය ඇමෙරිකාවේ වොෂිංටන් නුවර සිට චීනයේ බීජිං නුවර වෙත මාරුවීමක් සිදුවිය හැකි බව එහි ප්‍රධානී ක්‍රිස්ටීන් ලැගාඩ් පවසයි.
විදෙස් වාර්තා පෙන්වාදෙන පරිදි ලැගාඩ් සඳහන් කර ඇත්තේ, ප්‍රබල වර්ධනීය ආර්ථිකයන්හි සිදුවන වෙනස්කම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අධ්යක්ෂ මණ්ඩල ඡන්ද සංයුතියෙන් පිළිබිඹු කෙරෙනු ඇති අතර, කලාපය තුළ එහි නියෝජනය සඳහා අරමුදල් සම්පාදනයද වැඩිකළ යුතුව ඇති බවයි.
"අපේ මේ කතාබහ ඉදිරි දශකයක කාලය තුළ තවදුරටත් වොෂිංටන් කාර්යාලය තුළ සිදු නොවිය හැකියි. එය අපි බීජිං නුවර මූලස්ථානයේ සිට සිදුකරනු ඇති" යනුවෙන් ලැගාඩ් සඳහන් කර තිබේ.
ලැගාඩ් පෙන්වා දෙන්නේ මේ වනවිට ලෝකයේ නැගීඑන ආර්ථිකයන් ඉතා බලවත් ලෙස වර්ධනය වන අතර, ඔවුන්ගේ බලපෑමද ප්‍රබල තත්ත්වයක පවතින බවයි.
එමෙන්ම, එහි ප්‍රධාන මූලස්ථානය අරමුදලේ විශාලතම ආර්ථිකය හිමි රාජ්‍ය තුළ ස්ථාපිත කිරීම සඳහා වූ අතුරු ව්‍යවස්ථාවක් ගෙනඒම සම්බන්ධයෙන් ඇය අදහස් දක්වා තිබේ.
මීට වසර 70කට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවීමේ සිට මේ දක්වා ඇමෙරිකා එක්සත් ජනපදය එහි මූලස්ථානය පිහිටි රාජ්‍යය විය. ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීරණ ගැනීමෙහි ප්‍රබල නිෂේධ බලයක් ඇමෙරිකාව සතුවූ අතර, එහි අධ්යක්ෂ මණ්ඩල ඡන්ද සංයුතියෙහි 16.5% ක කොටසක්ද ඔවුන් සතු විය.
චීනය මේ වනවිට පෙන්වා ඇති 6% කට වඩා වැඩි ආර්ථික වර්ධන පුරෝකථනය අනුව ඉදිරි වසර 10ක කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් ඇමෙරිකාව අභිභවා ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි රට බවට චීනය පත්වනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.
මේ අතර, ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් පෙන්වාදී ඇත්තේ චීනය මේ වනවිටත් ගෝලීය ආර්ථික වර්ධනය වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදෙන රාජ්‍ය ලෙස කටයුතු කරන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩල ඡන්ද සංයුතිය අවසන් වරට සීරුමාරු කරනු ලැබුවේ 2010 වසරේදීය. එහිදී, චීනයේ දායකත්වය කොටස දැක්වුණේ 6.41% ක් ලෙසිනි. කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරි වසර තුළද මෙම සංයුතියේ සීරුමාරු කිරීමක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

